පාස්කු ඉරිදා දින එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයේ දෝංකාරය තවමත් පහව ගොස් නැත. 2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන එල්ලවුණු එම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබුණු අවස්ථා ද බොහෝය.
එවකට රටේ පාලන තන්ත්‍රයේ වූ දුර්වලකම් මෙන්ම ආරක්ෂක බලධාරීන්ගේ නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙත් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමට මුල් වූ බව මුළු රටම දන්නා කරුණකි.
ඉන්දියානු බුද්ධි අංශයකින් මෙම ප්‍රහාරය ගැන මෙරටට අනතුරු හඟවමින් බුද්ධි තොරතුරක් පවා ලබා දෙන්නේ සති තුනකට පෙරය. ඒ ප්‍රහාරයට කුරුමානම් අල්ලමින් සිටින අන්තවාදීන්ගේ නම්, ගම් මෙන්ම ප්‍රහාරය එල්ල කරනු ඇතැයි විශ්වාස කරන ක්‍රමවේද සහිතවය.
ඒ වන විටත් අපේ රටේ තැන් තැන්වල අන්තවාදය වපුරමින් සිටි ඒ අය කවුරුන්දැයි ආරක්ෂක අංශවලට අමුතුවෙන් සොයන්නට ද දෙයක් නොවීය. ඒ ආරක්ෂක අංශ ඔවුන් කවුරුන්දැයි දැන සිටි බැවිනි.
දැවැන්ත බලපෑමක් මෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක්
ආරක්ෂක අංශවලට නිසි මගපෙන්වීමක් නොවූ බැවින් එදා එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුවත් මෙදා ආරක්ෂක අංශ මෙරට සංචාරක ආර්ථිකයට එල්ලවීමට ගිය දැවැන්ත බලපෑමක් මෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට සමත්වන්නේ නිසි කලට නිසි මඟපෙන්වීම ලැබීම හේතුවෙනි. ඒ ආරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල කිරීමට ගිය ප්‍රහාරයක් වළක්වාලමින් ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගෙනය.
මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණයත් සමඟ එහි බලපෑමක් මෙරටට එල්ලවනු ඇතැයි ආරක්ෂක අංශ සිටියේ පෙර සූදානමක් ඇතිවය. එබැවින් මෙරට සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය කාලය පුරාම කටයුතු කරනු ලැබුවේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෙන් අවාසනාවන්ත ප්‍රහාරයක් නැවත ඇති නොවීමට වගබලා ගනිමිනි.
මැද පෙරදිග කලාපයේ යුද උණුසුම වැඩිවත්ම පසුගිය 07 වැනිදා විදේශීය ඔත්තු සේවාවකින් මෙරටට බුද්ධි තොරතුරක් ලැබෙනුයේ මෙරට සංචාරය සඳහා පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් බහුල වශයෙන් ගැවසෙන ආරුගම්බේ ආශ්‍රිතව ඔවුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවය. විශ්වාසනීය බුද්ධි තොරතුරක් වූ එම බුද්ධි තොරතුර මගින් මෙම ප්‍රහාරය එල්ලවනු ඇතැයි සැකකරන දින වකවානු පවා සදහන් කර තිබී ඇත්තේ එම ප්‍රහාරය වෙඩි තැබීමක්, පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීමක්, තියුණු ආයුධ යොදා ගනිමින් හෝ ඊශ්‍රායල ජාතිකයන් බහුල වශයෙන් රැඳී සිටින ස්ථානයකට වාහනයක් පදවාගෙන ගොස් ඊට යටකිරීම මගින් එල්ල කළ හැකි බව පෙන්වා දෙමිනි.
බුද්ධි තොරතුරට වැඩි අවධානය
දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි 2019 වසරේ අප්‍රේල් 04 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී ඉන්දියාවෙන් මෙරටට ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එකල ආරක්ෂක කවුන්සලයේදී කතාබහ කර නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළත් මෙවර එසේ නොවීය. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සලයේදී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණේ මෙම තර්ජනය ජාතික ආරක්ෂාවට හානියක් නොවන ලෙස මැඬ පැවැත්වීමට අවශ්‍ය කරන ආරක්ෂක වැඩ පිළිවෙළක් පවා දියත් කිරීමට සැලසුම් සකස් කරමිනි.
ඊශ්‍රායල් ජාතිකයන් අපේ රටට පැමිණෙන වැදගත් සංචාරකයන් පිරිසකි. 2023 වසරේ දී මෙරටට පැමිණ ඇති ඊශ්‍රායල් සංචාරකයන් ප්‍රමාණය 19,517 දෙනෙකි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පමණක් ඊශ්‍රායල් ජාතිකයන් 3,142 දෙනෙක් මෙරටට පැමිණ තිබුණි. ඒ එන බොහෝ ඊශ්‍රායල් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන ස්ථානයක් බවට පත්ව ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් පොලිස් බලප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ මුහුදු තීරයයි. ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක්ම ඊශ්‍රායල් ජාතිකයන්ය. මේ ප්‍රදේශයේ කණ්ඩායම් වශයෙන් ඊශ්‍රායල් ජාතිකයන් නවාතැන් ගෙන සිටීම සුලබවය. ඔවුන් විසින් සිය ආගමික කටයුතු සඳහා භාවිත කරනු ලබන ගොඩනැගිල්ලක් පවා එහි ස්ථාපිතය. එය හඳුන්වනු ලබන්නේ චබාද් නිවස ලෙසිනි. මෙවන් ස්ථානයක් එහි ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයන් එම ප්‍රදේශයේ බහුල වශයෙන් රැදී සිටින බැවිනි.
ආරුගම්බේ චබාද් නිවස
ඊශ්‍රායල් ජාතිකයන්ගේ වැඩි ආකර්ෂණයකට ආරුගම්බේ පත්ව ඇත්තේ එහි වෙරළ සර්ෆින් ක්‍රීඩාවට උචිත එකක් වන බැවිනි. ඊශ්‍රායල් ජාතිකයන් පමණක් නොව, ලෝකය පුරා සිටින සර්ෆින් ක්‍රීඩකයන්ගේ ආකර්ෂණය දිනා ඇති ස්ථානයක් ලෙස ආරුගම්බේ හැදින්විය හැකිය. මුහුදු රළ සර්ෆින් ක්‍රීඩාවට උචිත කාලයට ආරුගම්බේ වෙරළ තීරය පිරී ඉතිරී යන්නේ සර්ෆින් ක්‍රීඩාවට එන විදෙස් සංචාරකයන්ගෙනි. එකී සංචාරකයන් අතර සිටින ඊශ්‍රායල් ජාතිකයන් ප්‍රහාරයක ඉලක්කය බව විදෙස් බුද්ධි අංශයක් විසින් දැනුම් දීමත් සමඟ ආරක්ෂක කවුන්සලයේ ගත් තීන්දුවකට අනුව මුලින්ම එකී විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නේ ඒ ගැන ඔවුන්ටත් නොදැනෙන්නටය. ඒ ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු සංචාරකයන් වැඩිපුර ගැවසෙන හා නවාතැන් ගන්නා ස්ථාන ආශ්‍රිතව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම බුද්ධි අංශ යොදවාය. මෙහිදී විශේෂයෙන් ඊශ්‍රායල් ජාතිකයන් බහුලව රැස්වූ ආරුගම්බේ චබාද් නිෙවසේ ආරක්ෂාව ගැන වඩාත් කල්පනාකරී වූයේ බොහෝ විට ඉලක්කයක් බවට පත්විය හැක්කේ එවන් ස්ථානයක් බවට වූ පූර්ව සැකය මුල්කරගෙනය.
මේ අතර බුද්ධි අංශ මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පුළුල් මෙහෙයුමක් දියක් කරන්නට වූයේ ඒ වනවිටත් ලැබී තිබුණු බුද්ධි තොරතුරුවල සඳහන් වූ පුද්ගලයන් හඳුනා ගන්නටය. ඒ අතරින් තිදෙනෙක් මේ වනවිටත් සිටින්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ අත්අඩංගුවේය. ඒ බුද්ධි තොරතුර ලැබී සති දෙකක් ඉක්ම යන්නට මත්තෙනි. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාලදිවයින් සම්භවයක් ඇති වයස අවුරුදු 30ක් පමණ තරුණයෙක් ද සිටියි. බිලාල් නමැති එම තරුණයාගේ පියා මාලදිවයින් ජාතිකයකි. මව ශ්‍රීලංකේය කාන්තාවකි. ඇය බොහෝ කාලයක් තිස්සේ පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්තේය. දැන් ඇය සිටින්නේ කවුඩානේය. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගන්නේ කවුඩානේ පිහිටි නිෙවසේදීය.
සැකකරුවන් අත්අඩංගුවට
දෙවැන්නා යාපනයේ චුන්නාකම් වැසියෙකි. ස්ටාර් නමින් හඳුන්වනු ලබන ඔහු වසර 15ක පමණ කාලයක් සිට ඇත්තේ බන්ධනාගාරගතවය. ඒ 2006 වසරේදී එකල පකිස්තානු මහ කොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට කොල්ලුපිටියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙසිනි. ඔහු සමඟ තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබූවත් කොළඹ මහාධිකරණය පසුගිය වසරේදී ඔවුන් තිදෙනා නිදහස් කරනු ලබන්නේ සාධාරණ සැකයෙන් තොරව ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙනි.
තුන්වැන්නා පිළිබද මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වන්නේ නැත. දැනට අනාවරණය වී සිටින දෙදෙනා එකිනෙකා දැන හදුනාගෙන ඇතැයි පැවසෙන්නේ බන්ධනාගාරයේදීය. එසේම යම් පුද්ගලයෙක් විසින් ආරුගම්බේ ප්‍රහාරයට ඔවුන්ව පොළඹවා ඇතැයි පැවසෙන්නේ අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදෙන බව සඳහන් කරමිනි. ඒ ගැන මෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තත්ත්වය තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. බුද්ධි අංශ විසින් හෙළිකරන්නා වූ මේ සෑම තොරතුරක් ගැන මෙන්ම මොවුන්ට මුදල් දී ප්‍රහාරයක් එල්ල කිරීමට පොළඹවන ලද අය හඳුනා ගැනීම් තවදුරටත් සිදුවෙමින් ඇත්තේ ඒ සෑම අයෙක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමේ අපේක්ෂාව ඇතිවය. ඊට ජාත්‍යන්තර බුද්ධි අංශවල මෙන්ම ජාත්‍යන්තර පොලිස් විමර්ශකයන්ගේ ද සහය මේ වන විටත් ලැබී හමාරය.
වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන කිසිදු ගැටලුවක් නැති බවය. රටේ ආරක්ෂාව මෙන්ම මෙරට සංචාරයේ නිරත විදේශිකයන්ගේ ආරක්ෂාව පැහැදිලිවම තහවුරු කර ඇති බවය. අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක්ම පසුගිය 22 වෙනිදා සිය රට වැසියන්ට ආරුගම්බේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදන නිකුත් කරන්නට වූයේ ද විදේශීකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කරමින් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අවදානම පහව යාමෙන් අනතුරුව වීම විශේෂිතය.
ගයාන් කුමාර වීරසිංහ