Home » සල්මාන්ගේ හෙට දවස කුමක් වෙයිද

සල්මාන්ගේ හෙට දවස කුමක් වෙයිද

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

– ජීවිත තර්ජන නැවතත් ඉහළ යාම නිසා සල්මාන් ඛාන් අලුත් වෙඩි නොවදින රථයක් මිල දී ගනී
– සල්මාන් ඛාන් රූගත කිරීම්වලට සහභාගි වන ස්ථානවලට දැඩි ආරක්‍ෂාව

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් අලුත් වෙඩි නොවදින රථයක් මිල දී ගැනීමේ සිද්ධියක් පසුගිය දිනවල මාධ්‍ය තුළ ලොකු අවධානයක් දිනා ගෙන තිබුණා. ඔහු මේ ආකාරයෙන් වෙඩි නොවදින රථයක් මිල දී ගෙන ඇත්තේ ඔහුට ඇති ජීවිත තර්ජන නැවතත් ඉහළ යාම නිසා බවයි සඳහන් වන්නේ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව මෙය ඔහුගේ දෙවැනි වෙඩි නොවදින රථය යි. මෙම අලුත් රථය ආනයනය කර ඇත්තේ ඩුබායිවලින් බවත් පැවසෙනවා.

දැන් කාලයක සිටම ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයකුගේ කල්ලියකින් සල්මාන්ට මරණ තර්ජන එල්ල වෙමින් ඇති බව රහසක් නොවෙයි. මේ වසරේ අප්‍රේල් මාසයේත් සල්මාන්ගේ මුම්බායි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් එම සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වුණේ නැහැ.

ලෝරන්ස් බිෂ්නෝයි සල්මාන් සමඟ වෛරයෙන් පසුවන්නේ මෙයට වසර කිහිපයකට පෙර සිදු වූ සිද්ධියක් නිසා බවයි පැවසෙන්නේ. 1998 වසරේ සල්මාන් ජෝද්පූර් නැමැති ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිය දී බ්ලැක්බක් වර්ගයට අයත් සතුන් දෙදෙනකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වුණා. බ්ලැක්බක් වර්ගයේ සතුන් මෙම ප්‍රදේශයේ ජීවත්වන බිෂ්නෝයි නැමැති ජන කොට්ඨාශය මහත් පූජනීයත්වයෙන් සලකන සතුන් විශේෂයක්. ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය සල්මාන් සමඟ වෛර බැඳගෙන සිටින්නේ මෙම දඩයම් සිද්ධිය නිසා බව විශ්වාස කෙරෙනවා.

සල්මාන් ගේ ආරක්‍ෂාව පිළිබඳ කාරණය මෙයට ටික දිනකට පෙර නැවතත් කරළියට පැමිණියේ ඔහුගේ සමීප මිතුරෙකු වූ බාබා සිද්දික් නැමැති දේශපාලනඥයා වෙඩි තබා ඝාතනය කරනු ලැබීමත් සමඟයි. ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රාන්ත සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. පසුගිය 12 වැනි දින රාත්‍රි 9.30 ට පමණ තුවක්කුකරුවන් තිදෙනකු විසින් ඔහු ඝාතනය කරන ලද්දේ මුම්බායිහි දී යි. මෙම ඝාතනය පිළිබඳ වගකීම බිෂ්නෝයි කල්ලිය බාර ගෙන තිබෙනවා.

සිද්දික් ඝාතනය කළේ ඔහු සල්මාන් සමඟ පැවැත් වූ ඉතා සමීප මිත්‍රත්වය නිසා ද යන සැකයකුත් පසුගිය දිනවල මතු වී තිබුණා.

සිද්දික් ඝාතනය කිරීමෙන් පසුවත් සල්මාන්ට නැවතත් මරණ තර්ජනයක් එල්ල වී තිබූ බව සඳහන්. බිෂ්නෝයි සල්මාන් වෙත දක්වන විරසකභාවය අවසන් කිරීමට නම් ඉන්දියානු රුපියල් කෝටි 5 ක මුදලක් ගෙවිය යුතු බවට යම් පාර්ශ්වයක් තර්ජනය කර තිබූ බවක් පැවසුණා.

“සල්මාන්ට පණ පිටින් ඉන්න අවශ්‍ය නම් සහ බිෂ්නෝයි ගේ උදහසින් නිදහස් වෙන්න අවශ්‍ය නම් මෙය කිසිසේත් සුළුවෙන් සලකන්න එපා. මෙම මුදල නොගෙව්වොත් සල්මාන්ට අත්වන ඉරණම සිද්දික්ට අත් වූ ඉරණමට වඩා භයානක වේවි” තර්ජනය කළ පුද්ගලයා එසේ පවසා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම තර්ජනය ලැබී තිබුණේ මුම්බායි හි පොලිසියේ වට්ස්ඇප් අංකයකට වීමත් අපූරු කාරණයක්. ඊට දින කිහිපයකට පසු ඔහු නැවතත් පණිවුඩයක් එවමින් කලින් එවූ පණිවුඩය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබුණාලු ! එවර එම පුද්ගලයා පවසා තිබුණේ කලින් එවූ පණිවුඩය වැරදීමකින් එවූවක් බව යි.

කෙසේ නමුත් මෙම පසුබිම තුළ සල්මාන් තම ආරක්‍ෂාව ගැන වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. ඉහත කී වෙඩි නොවදින වාහනය මිල දී ගෙන ඇත්තේත් ඒ අනුව යි.

ඉතා නවීන තාක්‍ෂණයෙන් යුතු මෙම වාහනයේ මිල ඉන්දියානු රුපියල් කෝටි 2 ක් පමණ වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. එය ලංකා රුපියල් කෝටි 7 කට ආසන්න මුදලක්.

ඉතා ආසන්නයේ සිට වෙඩි තැබුවත් රිය තුළ සිටින අයට කිසිදු අනතුරක් සිදු නොවන ආකාරයට මෙය නිපදවා ඇති අතර විවිධ සංවේදක (Sensors) වලින් ද මෙය සමන්විත බව පැවසෙනවා. රථයට කිසිවෙකු බෝම්බයක් සවි කර තිබුණහොත් ඒ ගැන දැනගත හැකි සංවේදක ද ඒ අතර වන බව සඳහන් වෙනවා.

මේ අතර සල්මාන් රූගත කිරීම්වලට සහභාගි වන ස්ථානවල ද ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. එම ස්ථාන අවට වෙනදාට වඩා ආරක්‍ෂක නිලධාරීන් යොදවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division