Home » කුඩු දෝණිගේ ‘මත්’ බෙදන කඹුරුගමුවේ අඹුසැමියෝ

කුඩු දෝණිගේ ‘මත්’ බෙදන කඹුරුගමුවේ අඹුසැමියෝ

by thanushika
November 2, 2024 12:30 am 0 comment

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ජාවාරම්කරුවන් රැසක් මේ වන විට ඩුබායි සහ වෙනත් රට රාජ්‍යයන්වලට පලාගොස් එම රටවල සැඟවී සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරවන බව රහසක් නොවේ.

එම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙරට සිටින ගෝලබාලයන් ගණනාවක් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් ‘වැඩ කරන’ ජාවාරම්කරුවන් ගැන තොරතුරු පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබීමද සුවිශේෂීය.

මෙලෙස මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත ජාවාරම්කරුවන් ඩුබායි ඇතුළු රට රාජ්‍යවලට පලාගොස් එම රටවල සිට සිය ජාවාරම් නිරුපද්‍රිතව මෙරටදී සිදුකරගෙන යෑමට සිය විශ්වාසවන්ත ගෝලබාලයන් යොදා ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් විශාල මුදලක් තමන්ගේ බැංකු ගිණුම්වලට රහසිගතව ලැබෙන නිසාය. මෙරට සිටින ගෝලබාලයන් තමන්ගේ හාම්පුතුන්ගේ නියෝගද අකුරටම පිළිපදිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නේ ඒ සඳහා පිටරටවල සිට තමන්ට මුදල් ලැබෙන බැවිනි.

ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදු කරවන ලාංකික කල්ලි කණ්ඩායම්වල සාමාජිකාවක වන ‘සෙව්වන්දි’ හෙවත් ‘කුඩු දෝණි’ ද නමගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකි. ඇගේ ගම් ප්‍රදේශය මාතර, කොටවිලයි.

නීතියෙන් ගැලවීම සඳහා ඩුබායි රාජ්‍යයට පලා ගියත් ‘කුඩු දෝණි’ එහි නිකම් සිටියේද නැත. මෙරට දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මාතර දිසාවේ සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය බෙදාහැරීමට ඇය කටයුතු කරන්නේ ඉන් තමාට ලැබෙන විශාල මුදල ගැන නිසාය.

‘කුඩු දෝණි’ ඩුබායිහි සිට සිදු කරන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙරට ඇගේ ගෝලබාලයෝද පෙළ ගැසී සිටින්නේ ඇගෙන් තමන්ට ලැබෙන මිල මුදල් නිසාය.

කුඩු දෝණිගේ මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දිගින් දිගටම විමර්ශන සිදු කරන අතරේ මාතර, කොටවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති සැරයන් (19910) අනුර හේවාපතිරණ ඇතුළු කණ්ඩායමක් තොරතුරු හෙළිකර ගන්නේ කුඩු දෝණිගේ මත්ද්‍රව්‍ය කොටවිල සහ ඒ අවට ප්‍රදේශවල ජාවාරම් කරන ‘අඹුසැමියන්’ පිළිබඳවය.

මේ තොරතුර ගැන ඉතා රහසිගතව සොයා බැලු සැරයන් අනුර හේවාපතිරණ ඇතුළු කණ්ඩායම හෙළිකර ගන්නේ මේ අඹුසැමියන් කුඩු දෝණිගේ මත්ද්‍රව්‍ය ජාලයට නියත වශයෙන්ම සම්බන්ධව සිටින බවකි.

මෙහෙයුම සූදානම් කැරෙන්නේ ඉන් අනතුරුවය. කඹුරුගමුව, විජය මාවත, දූන්වත්ත ප්‍රදේශයේ නිවෙසක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරන්නේ ඒ අනුවය. අදාළ නිවසේ ආරක්ෂිත කැමරා පවා සවිකර තිබුණු අතර පොලිසිය එහි සිටි පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී කුඩු දෝණිගේ මත්ද්‍රව්‍ය ජාලය ගැන තොරතුරු හෙළි විය.

සැකකරු සහ බිරිය අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. මේ දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහදාස් දෙසිය පනහක්, මුදලින් රුපියල් ලක්ෂ 20ක්, බැංකු පාස්පොත් 6ක්, බැංකු ටෙලර් කාඩ්පත් 7ක් සබරගමුව පළාතේ ලියාපදිංචි ඩියෝ වර්ගයේ මෝටර් බයිසිකලයක්, ඩිමෝ බට්ටා ලොරියක් සහ මෝටර් බයිසිකලයක් සඟවා තිබූ මුදලින් රුපියල් දසදහස් පන්සියක් මෙලෙස සොයාගෙන තිබේ.

සැකකරු එම බැංකු පොත් භාවිත කර රුපියල් කෝටි තුනහමාරක් වරින්වර ලබාගෙන ඇත. ලද තොරතුරු මත කුරුණෑගල මාස්පොත පදිංචි කාන්තවක්ද පසුව අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍යවලින් මිලිග්‍රෑම් 2500ක් ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ සැකකරුගේ බිරිය සන්තකයේ තිබියදීය. සොයාගත් බැංකු පාස්පොත් 6න් 1ක් මේ කාන්තාවට අයත් බව හෙළි වූ අතර එම පාස්පොත පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ ඊට දිනකට කීප වතාවක් විශාල මුදල් ප්‍රමාණයක් එක් වී ඇති බවය.

මේ වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂීම සිදුවීම වූයේ වැටලීම සිදු කරන අවස්ථාවේදී ඩුබායිහි සිටින කුඩු දෝණිගේ අනියම් සැමියාගෙන් ජාවාරම්කාර යුවළට දුරකතන ඇමතුමක් ලැබීමයි. එම ඇමතුමෙන් කියැවුණේ සැකකරුට මත්ද්‍රව්‍ය පාර්සලයක් එවා ඇති අතර එය ලබා ගන්නා ලෙසයි.

සැකකරු පොලිසියට කියා ඇත්තේ එලෙස තමාට ඩුබායිහි සිට කතා කළ පුද්ගලයා සමඟ තමා මුදල් ගනුදෙනු සිදු කරන බවයි. මේ සැකකරු මෙලෙස දුරකතනයෙන් කතා කළ පුද්ගලයාට මාස හතකදී එක් වතාවකට රුපියල් ලක්ෂ 50 බැගින් මුදල් බැරකර ඇති බවද හෙළිකර ඇත.

පොලිසිය විසින් සොයා ගන්නා ලද බැංකු පාස් පොත් ගිණුම් හිමියන් දෙදෙනෙකුට අයත් ඒවා බව හෙළි විය. එම බැංකු ගිණුම්වලට අදාළ ටෙලර් කාඩ්පත් 7ක් ද සොයා ගැනිණි. සැකකරුවෝ මේ ජාවාරම සිදුකර ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයට අදාළ බැංකු ගිණුම්වලට මුදල් ගෙන්වා ගනිමිනි.

කොටවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ එවකට වැඩ බලන ස්ථානාධිපති සැරයන් (19910) අනුර හේවාපතිරණ, උප පරීක්ෂක එම්. ජයරත්න, සැරයන් (28922) එල්. ජී. සමරතුංග, කාන්තා කොස්තාපල් (12314) අනුෂා යන නිලධාරීන් වැටලීම සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division