– මෝටර් බයිසිකලයකින් යද්දී කාරයකින් ඇවිත් හප්පා පහරදී පැහැරගෙන
– මීට පෙර සංගීත සංදර්ශනයකදී සිදු වූ ආරවුලක් ගැනත් තොරතුරු
‘අලෙවි ප්‍රවර්ධන නිලධාරියකු’ ලෙස කටයුතු කරන තුසිත තවමත් විසි දෙහැවිරිදි වියෙහි පසුවන තරුණයෙකි. ඔහු පදිංචිව සිටියේ හොරණ, තිබ්බොටුගොඩ, ලෙනවර ප්‍රදේශයේය.
ඔහු කිසියම් කටයුත්තකට මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටියේ මේ මාර්ගයේ තනිවමය. ලෙනවර සිසිලවත්තේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු වන ‘සනුල්’ ඔහුට හමුවන්නේ අතරමඟදීය. රාත්‍රී 8.10 පමණ වී තිබුණු මොහොතේ තනිවම ගමන් කරන ‘සනුල් මල්ලී’ පිළිබඳව ඔහුට ඇති වූයේ අනුකම්පාවකි.
“මල්ලි කොහාටද යන්නේ…?“ ඔහු විමසා සිටියේ එබැවිනි.
“කොමියුනිකේෂන් එකට අයියේ. ඉස්කෝලේ වැඩකට ෆෝන් එකේ තියෙන පාඩම් වගයක් ෆොටෝ කොපි ගන්න…“
“යං මාත් එක්ක…“
දන්නා හඳුනන සිසුවාද පිටුපසින් වාඩිකර ගත් ඔහු ඉදිරියට ඇදුණේ උදේ හවස යන මාර්ගයේ කිසිම අපහසුතාවක් නොමැතිවය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට ඉඩ ලැබුණේ නැත. පිටුපසින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියේ හප්පා අනතුරට පත් කළේ අනපේක්ෂිත අයුරිනි. පිටුපස සිටි සිසුවා විසි වී වෙලට වැටුණ අතර මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් විසින් බිම වැටී සිටි තුසිත අල්ලාගෙන පහර දෙන්නට වූයේ කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොතබමිනි.
“අපි ‘යුනිට්’ එකෙන්. කුඩු හංගලා තියෙනවා නේද උඹ… පෙන්නපන් අපිට ඒවා…“
ඔවුන් තර්ජනය කරන්නට වූයේ තුසිතට පහර දෙන අතරමය.
විසි වී ගොස් වෙලට වැටුණු සනුල් දඩිබිඩි ගා නැඟිට බලන විට දුටුවේ පිරිසක් වට කරගෙන තුසිතට කඩුවකින් පහර දෙන බවය. එය දැක බියට පත්වූ ළමයා වෙල දිගේ උඩහට දුව ගොස් අසල නිවෙසක් ළඟ නතර වූයේ හති දමමිනි. ඔහුට කිසිම තුවාලයක් සිදුවී නොතිබිණි.
“මාත් එක්ක ආව අයියට කට්ටියක් ගහනවා. මං ටිකක් මෙතන ඉන්නද…?“ ළමයා පැවසුවේ ගොත ගසමිනි.
එම නිවැසියන් සනුල්ගේ අත තිබූ දුරකතනයෙන් ඔහුගේ පියාට මේ බව පවසා සිටියේ ඉක්මනින් ගෙන්වා ගැනීමටය. පියා ආවේ වැඩිමහල් සහෝදරයාද සමඟය. සනුල් මෙවැනි ගමනක් පැමිණි බව ඔවුන් ඒ මොහොත වනතුරු දැන සිටියේ නැත. සහෝදරයා විසින් පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංකයට මේ පිළිබඳව දැනුම් දුන්නේ ඉන් පසුවය.
වහා ක්‍රියාත්මක වූ හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරින් විනාඩි 20ක් වැනි සුළු කාලයක් ඇතුළත එම ස්ථානයට ගියේ ඒ අනුවය.
තිබ්බටුගොඩ සිට ලෙනවර දෙසට වැටී ඇති මාර්ගයේ පාළු ස්ථානයක මේ සිද්ධිය වී තිබුණු අතර පොලිස් නිලධාරින් එහි යන විටත් වෙල අයිනේ පෙරළි තිබූ යතුරුපැදියේ සිග්නල් ලයිට් තිබුණේ දැල්වෙමිනි.
එහෙත් ඒ වන විට කල්ලිය ‘ඇල්ටො’ වර්ගයේ අළු පැහැ කාර් රථයේ දමාගෙන තුසිතව රැගෙන ගොස් තිබූ අතර ඔවුන් කවුදැයි කිසිවෙක් දැන සිටියේ නැත. පොලිස් නිලධාරීන් මුලින්ම ගියේ හොරණ දිස්ත්‍රික් මහ රෝහලටය. එවිට වෛද්‍යවරුන් සිටියේ තුසිතට ප්‍රතිකාර ලබා දෙමිනි. ඔහුගෙන් කිසිවක් විමසීමට එම අවස්ථාවේ හැකියාවක් නොතිබුණි.
තුසිතව මෝටර් රථයට දමාගත් මැර පිරිස ඔහු රැගෙන ගියේ වට රවුම් පාරකය. බැල්ලපිටිය මාහේන පාරෙන් වැව පාරට පැමිණ බැල්ලපිටිය ඉන්ධන පිරවුම්හල අසලින් බැල්ලපිටිය ඇඟලුම් කම්හල පසුකර අක්කර 35 ප්‍රදේශය මැදින් බුලත්සිංහල මාර්ගයට පැමිණ කඳන හන්දියෙන් ඉලිඹ පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගොස් හමුවන කටු පොල් වගා ඉඩම මොවුන්ගේ ගමනාන්තය වී තිබිණි.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20ක් පමණ දුරට කටුපොල් ඉඩමේ ළඳු කැලෑව ඇතුළට තුසිත රැගෙන යන මැර පිරිස ඔහුට හොඳහැටි පහර දෙන්නේ කඩුවක පිට පැත්තෙන්, මන්නයකින්, පොලුවලිනි. පසුව එම ස්ථානයේ ඔහු දමා පිරිස පලා ගියහ. එම ස්ථානයෙන් අමාරුවෙන් ඒ අසල නිවෙසකට යන තුසිත ඔවුන්ට මේ බව දන්වා සිටියේ උදවු ඉල්ලමිනි.
එම නිවැසියන් 1990 ගිලන් රථයට මෙම සිද්ධිය දන්වා සිටියේ හැකි ඉක්මනිනි.
මේ අතර පොලිසියට දුරකතන අංකයකින් ඇමතුමක් ලැබෙන්නේ හොරණ, වවුලගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙනි. ඔහු පවසා සිටියේ වවුලගල නිවෙසක් අසල ඇල්ටො වර්ගයේ මෝටර් රථයක් දමා ගොස් ඇති අතර මේ පිළිබඳ සැකයක් පවතින බවත්ය.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන්නේ එදින අලුයම හතරට පමණය. අදාළ නිවෙස අසල නතර කර තිබුණේ සිද්ධියට සම්බන්ධ ඇල්ටෝ වර්ගයේ අළු පැහැති මෝටර් රථය බවට හඳුනා ගැනීමට පොලිසියට අපහසු වූයේ නැත.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී මෝටර් රථයේ රියැදුරා වන වවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සොයා ගැනීමට හැකි වූයේ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව හේතුවෙනි.
රියදුරෙකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා මෙම මෝටර් රථය ලබාගෙන තිබුණේ එදින උදෑසන නවයට පමණ හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වාහන කුලියට ලබා දෙන ආයතනයකිනි. ඒ දිනකට රුපියල් හාරදාහක මුදලකටය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් සමඟ පැමිණි තවත් පුද්ගලයකු හොරණ, මීමනපලාන, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ සිටියදී සොයා ගැනීමට හැකි වූ අතර ඔවුන් පවසා සිටියේ මීට මාස දෙකකට පමණ
පෙර සංගීත සංදර්ශනයකදී තුසිත විසින් ඔවුන්ට පහර දීමක් සිදුකර ඇති බැවින් එයට පළිගැනීමක් ලෙස මෙම පැහැර ගැනීම සිදුකළ බවය. එහෙත් පොලිස් නිලධාරීන් සැක කරන්නේ මෙය කිසිවකු විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ පැහැර ගැනීමක් විය හැකි බවය.
කෙසේ වුවත් අනෙක් සැකකරුවන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටී. ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම මේ පිළිබඳ තවදුරටත් දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව පොලිසිය පවසයි.
එම කටු පොල් කැලෑවේ තිබී තුසිතට පහර දුන් කඩුවද පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර හැකි ඉක්මනින් මෙම සිද්ධියේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වන බව විශ්වාසය.
හොරණ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ අධීක්ෂණය මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවලගේ මෙහෙයවීමෙන් සැරයන් 30787 නෙළුම් බණ්ඩාර, සැරයන් 41050 ගීකියනගේ, කොස්තාපල් රියැදුරු 15447 ප්‍රියන්ත යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
(මෙහි සඳහන් තුසිත හා සනුල් නම් මනඃකල්පිත නම් වේ)
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ