කාර්යාලයේ පුටුවට බර දුන් මේනකා වම් වැලමිට මේසය මත තබා නවාගත් අතෙහි මහපටඟිල්ල හා දබරඟිල්ල නළලේ දෙපස තබා පිරිමදින්නට වූවාය. හිස පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනුණෙන් ඇය ඇඟිලි තව තවත් තද කරමින් නළල දෙපසට පිරිමදින්නට වූවාය. ඇයගේ මුහුණින් දක්නට ලැබුණේ දැඩි වේදනාත්මක බවකි. මඳ වේලාවක් නළල පිරිමැද්ද මේනකා අත්ලෙහි ඇඟිලි මිටි මොළවා නිකටට තබා ගනිමින් දිගු කල්පනාවකට වැටුණාය. හිතේ හටගත් වේදනාත්මක හැඟීම් එකපිට එක මතුවෙමින් තිබියදී ඇයට හිස ගිනි ගන්නාක් මෙන් දැනුණි. ගත වූයේ නිමේෂයකි. දෑස් අගින් ගලා ආ කඳුළු කැට කොපුල් හරහා ගලා විත් මේසය මතට වැටුණේ ඇයටත් නොදැනීය.
“ඒයි, මොකද මේ අදත් ලොක්කා පාට් එකක්වත් දැම්මද?”
ලිපිගොනු කිහිපයක් අතින් ගෙන මේනකාගේ මේසය අසලට පැමිණි මාලතී විමසුවාය. එතෙක් කල්පනාවක සිටි මේනකා ඉකි බිඳින්නට වූයේ මාලතී ද කලබලයට පත් කරමිනි.
“අනේ, ඒ පාර අඬන්න පටන් ගත්තද? ඒයි නවත්තපන් ඕක. අර කේලම් මල්ල එළියේ හිටියා. දැන් ඇතුළට ඒවි. උඹ අඬනවා දැක්කොත් එක දෙක කරල තවත් පටලැවිල්ලක් හදාවි.”
මාලතීගේ ඒ කතාවත් සමඟ අමාරුවෙන් තම ඉකිබිඳුම පාලනය කරගත් මේනකා සිය ලේන්සුව අතට ගෙන දෑස් පිසදාගත්තේ කලබලයෙනි.
“අන්න එහෙම හොඳ කෙල්ල වගේ ඉඳපන්. මේ ප්‍රශ්නෙට මුහුණ දුන් එකම කෙනා උඹ විතරක් නෙවෙයිනේ. අපි ඔක්කොම එකතු වෙලා මේකට මුහුණ දෙමු.”
මාලතීගේ උපදෙස් දැනුමැති උපදේශිකාවකගේ මෙන් විය.
දෑස් විවර කර මාලතීගේ මුහුණ දෙස අහිංසක බැල්මක් පෑ මේනකා මාලතීගේ අත තදින් අල්ලා ගත්තාය.
“අනේ මාලතී අක්කේ, අපි මේ ඔෆිස් එකේ කොයිතරම් සතුටින්ද හිටියේ. එක පවුලක් වගේනේ අපි හිටියේ.”
මාලතීගේ අත තව තවත් තදින් අල්ලා ගනිමින් මේනකා පැවසුවේ හිතේ තිබූ ලොකු බරක් මඳකට සැහැල්ලු කරගන්නාක් මෙනි.
තම සුරතේ තිබූ ලිපිගොනු ටික මේනකාගේ මේසේ මත තැබූ මාලතී මේනකාගේ හිස පිරිමදින්නට වූවාය.
“අනේ නංගි, මේ අලුතින් ආපු දෙතුන් දෙනා කොහේ ඉඳන් ආවද මන්දා? එවුන්ට ඕන කාට හරි ගිනි ගෙඩියක් දීලා තමන්ගේ තැන හදාගන්න එක.”
“ඔව් අක්කේ. ඒ අය හරිම පුදුම අය. හිතන්නෙ තමන් ගැනම විතරයි.”
“සමහරුන්ට ඕවා එන්නෙ ජානවලින්මයි. අපි තව ටිකක් ඉවසගෙන ඉඳිමු. කොයි මොහොතක හරි ලොක්කට මේකේ ඇත්ත නැත්ත තේරුම් යාවි.”
මාලතී පැවසුවේ මේනකාගේ සිත තව තවත් හදාගන්නට සහාය වෙමිනි.
“අනේ අපි මේවා ඉවසගෙන තව කොහොම ඉන්න ද අක්කේ?”
එලෙස පැවසූ මේනකා දිගු සුසුමක් හෙළුවාය.
“නංගි, අපි ටිකක් ඉවසමු. මේ ලෝකේ පාලනය කරන පිරිසකුත් ඉන්නවනේ. එයාල මේවා ඔක්කොම බලාගෙන ඉන්නේ. ඒ අය වෙලාවට මේ අවනඩුව විසඳලා දේවි”
මාලතී මේනකාගේ හිස පිරිමදිමින් ම පැවසුවාය.
කලකට පෙර තම කාර්යාලය ප්‍රදේශයේ අනෙකුත් කාර්යාලවල කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය කාර්යාලයක් බවට පත්ව තිබුණා නොවේදැයි මේනකාට සිතුණි. එසේ වූයේ එදා එහි තිබූ ක්‍රමවත් බව හා සියලුදෙනාගේ කැපවීම තුළ ගොඩනැඟුණු කාර්යක්ෂම පරිපාලනය නිසා ය. බොහෝ පිරිසක් මෙම කාර්යාලයට ස්ථාන මාරු ලැබ එන්නට උත්සාහ ගත්තේ ද මෙම සුවිශේෂී තත්ත්වය නිසා නොවේදැයි මේනකාට සිතුණේ එදා කාර්යාල පරිශ්‍රයේ තිබූ සුන්දර බව චිත්‍රපටයක රූප රාමු පෙළක් සේ මතකයට නංවමිනි.
එදා හිටපු අයත් එක්ක අපි කළේ සේවයක්. ඒත් අලුතින් ආපු අය කරන්නේ රස්සාවක්. එදා සහ අද ඉන්න අය අතර ඇත්තේ පුදුම වෙනසක්. මිනිස්සු මෙහෙම වෙනස් වෙන්නෙ කොහොමද දෙවියනේ. මේනකාගේ යටි සිතේ ඇතිවෙන්නේ ප්‍රශ්න මාලාවකි.
දවසේ වැඩ කිසිත් කිරීමට මේනකාට කිසිදු ඕනෑකමක් නැත. සිත කිසි දෙයකට ඉඩ නොදෙයි. පසුගිය දිනවල සිදුවූ සිදුවීම් සියල්ල සේම අද දිනයේ සිදු වූ දේ ද මේනකාගේ සිතට වදයක් වී ඇත. එදා සතුටින් ගත කළ කාර්යාලය පිළිබඳ දැඩි ආදරයක් ඇතත් දැන් දැන් සිදුවෙන සිදුවීම් හේතුවෙන් කාර්යාලය පිළිබඳ ඇයගේ සිත තුළ ඇත්තේ දැඩි කලකිරීමකි. විටෙක වෙනත් කාර්යාලයකට ස්ථාන මාරු ලැබ යන්නට ද මේනකාගේ යටි සිත බල කරයි.
“ඒයි නංගි, උඹ තාමත් කල්පනාවෙද? බලාපන් දැන් වෙලාව කීයද කියලා?” යකෝ, එකටත් කිට්ටුයි”
මේනකාගේ මේසය අසලට පැමිණෙන ගමන් මාලතී පැවසුවාය.
“දෙවියනේ එකට දහයයි. වෙලාව ගියා දැනුණෙම නෑ.”
කාර්යාල බිත්තියේ රඳවා තිබූ රවුම් මුහුණතක් සහිත ඔරලෝසුව දෙස බැලූ මේනකාට ඉබේටම කියවුණාය.
“අර ගෝතයෝ දෙන්නා කෑම කාලා ගියා. අපිත් ඉක්මනට ගිහින් කෑම කාලා එමු”
මාලතීගේ ඉල්ලීමට මේනකා වෙනදා මෙන් කාර්යක්ෂම ප්‍රතිචාරයක් නොදැක්වූයෙන් මාලතී යළි යළිත් මේනකා උනන්දු කරන්නට වූයේ කෑම පැයෙන් පසු කෑම ගැනීමද තම ප්‍රධානියාට තවත් කේලමක් නිර්මාණය කරදෙන්නට කේලාම්කරුවන්ට මඟ පෑදෙන බව පවසමිනි.
“නංගි, උඹ දන්නවනේ දැන් කාර්යාලේ තත්ත්වේ. ඒක නිසා අර ගොයියො දෙන්නට තවත් කේලමක් කියන්න පොටක් පාදල දෙන්නේ නැතුව ඉක්මනට නැඟිටපං කෑම කන්න යන්න”
කෑම කාමරයට ගිය මේනකා හා මාලතී බත් මුල් විවර කර ආහාර ගැනීම ආරම්භ කළ ද කෑම පිළිබඳ මේනකාගේ සිතේ කිසිදු ප්‍රියතාවක් නොතිබුණා ය. මාලතී විවිධ කතා කියමින් විටෙක සිනහසෙමින් ද විටක නිහඬව සිටිමින් ද රිසිසේ ආහාර ගත්තද එක බත් පිඬක් බොහෝ වේලාවක් අනමින් සිටි මේනකා කෑම කන බවක් නෙපෙනිණි.
“මොකද බං උඹට වෙලා තියෙන්නේ. තාම එක බත් කටක්වත් කාල නෑනේ”
මාලතී පැවසූයේ මඳ කේන්තියකින් යුත් ස්වරයෙනි. ඒ සමඟින් මාලතීගේ මුව දෙස නෙතු යොමාගත් මේනකාගේ දිගු සුසුමක් හෙළුවාය. මේනකාගේ දෑස් රත් පැහැ ගැන්වෙමින් ගලා ආ කඳුළු කැට දෙකොපුල් හරහා රූරා වැටෙද්දී මාලතී ආහාර ගැනීම නවතා මේනකා දෙස බලා සිටියේ මහත් දුකින් යුතුවය.
“අනේ නංගි, මම කියන දේ පොඩ්ඩක් අහන්න. අද උදේ ඔයාට ඇතිවුණ ප්‍රශ්නය කලින් දවස්වලත් කිහිප දෙනකුට වුණානේ. ඇයි ඔයා විතරක් මෙච්චර දුකින්”
“අනේ අක්කේ, මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයිනේ උනේ. නොකරපු වරදකට ඇයි මට පිරිසක් ඉදිරියේ එහෙම බැන්නේ”
මේනකා අත්පිස්නාව අතට ගෙන කඳුළු පිසින ගමන් පැවසූයේ මාලතී දෙසට නෙතු යොමා සිටිමිනි.
“හරි නංගි, අපි ඒක දන්නවා. හොඳ නංගි වගේ බත් කටවල් දෙක තුනක් හරි කාපන්.”
කිසිදු රුචියක් නොතිබුණ ද මාලතීගේ පෙරත්තය නිසාම බත් කටවල් කිහිපයක් ආයාසයෙන් ගිල දැමූ මේනකා අසල තිබූ බෝතලයෙන් වතුර කටට හලාගත්තේ තමා කෑම කා අවසන් බව මාලතීට දැනෙන පරිදිය.
අසුනෙන් නැඟිට ගත් මේනකා ගුළි කරන ලද කෑම පාර්සලය කසළ බඳුනට දමා අසල තිබූ කරාමයෙන් අත සෝදාගෙන නැවත ගොස් තම පුටුවේ අසුන් ගත්තේ මේසය මත තිබූ ලිපිගොනුවක් තමන් දෙසට ඇදගන්නා ගමන් ය.
හෙට දිනයේ ප්‍රධාන කාර්යාලයට යැවිය යුතු තොරතුරු ගොනුවත් අතට ගත් මේනකා එහි අඩුපාඩු සකස් කරන්නට වූවාය.
ප්‍රධානියාගේ කාර්යාලයේ සිට පැමිණෙමින් සිටි අංශ ප්‍රධාන ලියනගේ මහත්මිය සෙමින් සෙමින් මේනකාගේ මේසය වෙත ළං වූයේ කට කොනට නංවා ගත් මඳ සිනහවක් ද සහිතවය.
“ඔයා අර හෙඩ් ඔෆිස් එකට යවන ලිපිය හැදුවද?”
“ඔව් මිස්, මම මේ දැන් හදන්නේ ඒ ලිපිය තමයි”
මේනකා ක්ෂණිකව පිළිතුරු දුන්නාය.
කාර්යාලයේ දෙපසට දෑස් යොමු කරමින් මේනකා දෙසට තව තවත් ළංවූ ලියනගේ මහත්මිය මේසය මත දෑත තබා රහසක් මුමුණන්නා සේ මේනකා දෙසට ළං වූ ලියනගේ මහත්මිය යමක් කියන්නට සැරසෙමින් යළිත් දෙපස දෑස් යොමු කරමින් බැලුවේ තම කතාබහට තවත් කිසිවකු කන් යොමා සිටින්නේදැයි විපරම් කරන්නාක් මෙනි.
“මම ලොක්කගෙ කාමරේ ඉද්දි කෝල් එකක් ආවා. ඒකට උත්තර දෙන්න ගත්ත විතරයි මිනිහගේ මුහුණ වෙනස් වුණා. මේල් එකක් ගැන මොනවා හරි කිව්වා. ඒ කතාවට ඉඩ දීලා මං හිමින් එළියට ආවා. මට දැනුණා මොනාවාහරි අවුලක් වගෙයි”
වැඩි වේලාවක් ලියනගේ මහත්මියට මේනකා හා කතාබහේ යෙදෙන්නට අවස්ථාව ලැබුණේ නැත. පියල් හා සුනෙත් කාර්යාලය තුළට ඇතුළු වෙනු දුටු ලියනගේ මහත්මිය, “ඔන්න අර කේලංකාරයෝ දෙන්න එනවා. මම යනවා”
එලෙස පැවසූ ලියනගේ මහත්මිය ඉක්මනින් මේනකා අසලින් ඉවත්ව තම මේසය දෙසට යන්නට වූයේ මේනකා උනන්දුවට පත් කරමිනි.
“මේනකා මිස් ඔය ලියුම ඉක්මන් කරන්න. හෙට උදේම හෙඩ් ඔෆිස් එකට ඕක යවන්න ඕන. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න”
එලෙස පැවසූ ලියනගේ මහත්මිය තම අසුනට ගොස් ඉඳගත්තාය.
කාර්යාලය තුළට පැමිණි පියල් හා සුනෙත් මේනකා හා ලියනගේ මහත්මිය දෙස බලමින් සෙමින් ගොස් තම අසුන්වල ඉඳගත්තේ සිදුවෙන දේවල් පිළිබඳ හොඳ විමසීමකින් යුතුවය.
සඳුදා දින කාර්යාලයට යාම සඳහා ප්‍රධාන මාර්ගය දෙසට පැමිණෙමින් සිටි මේනකාට සති අන්තය ඉතා ඉක්මනින් ගෙවී ගියා නොවේදැයි සිතුණාය. වෙනදා ඇයට සති අන්තෙ ඉතා දිගු එකකි. ඇය කාර්යාල කටයුතු සඳහා යාමට එතරම් ප්‍රිය කළාය. එහෙත් මෙවර සති අන්තය ඇයට ඉතා කෙටි එකක් සේ දැනී තිබුණේ පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් හේතුවෙන් සිතට දැනී තිබූ කලකිරීම් සහගත බව නිසා ය.
සිතෙහි කෙතරම් වේදනාත්මක හැඟීම් ක්‍රියාත්මක වුවද මේනකා වෙනදා මෙන්ම උදෑසනින්ම කාර්යාලයට පැමිණිය ද ඇය තුළ පෙනෙන්නට වූයේ උදාසීන බවකි. දෛනික පැමිණීම සටහන් කරන තාක්ෂණික මෙවලමට ඇඟිල්ල තැබූ මේනකා ඒ අසල වූ මේසේ මත තිබූ අත්සන් පොතෙහි සුපුරුදු පරිදි තම අත්සන යොදා කාර්යාලයට ඇතුළු වද්දී කාර්යාලය තුළ වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් ගෙන තිබුණේ තැන තැන කුඩා කණ්ඩායම් එක්ව කතාබහක යෙදෙමින් සිටීම නිසාය. කාර්යාලය තුළට පැමිණි මේනකාට එය මහත් ප්‍රශ්නයක් ව තිබුණි. මේනකා එනු දුටු මාලතී ඇය දෙසට පැමිණියේ ඉතා වේගයෙනි.
“ඒයි, ලොක්කට කෙළවිලා. එයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ පූල් එකට දාලලු. හෙට අනිද්ද විගණන පරීක්ෂණයකුත් කරනවා කියන්නේ”
මාලතී කියාගෙන කියාගෙන ගියාය. සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මේනකා තුෂ්ණිම්භූතව සිටියා හැර යමක් කියන්නට ගියේ නැත. මාලතී යළිත් හඬ විවර කළාය.
“සිකුරාදා හවස තමයි වැඩේ පත්තු වෙලා තියෙන්නෙ. අපි දැනගත්තේ දැන්. ලොක්කා අදම යනවලු. ලියනගේ මිස් කිව්වා ලොක්කා මාර අවුලෙන්ලු ඉන්නේ”
මාලතී හා මේනකාගේ කතාබහ අතර එතනට ලියනගේ මහත්මිය පැමිණියේ පණිවුඩයක්ද රැගෙනය.
“අන්න ලොක්කා ඔක්කොටම කොම්පරන්ස් හෝල් එකට එන්න කිව්වා පොඩි මීටින් එකක් තියෙනවා කියලා. කට්ටියම එතනට යමු”
ලියනගේ මහත්මියගේ දැනුම් දීමෙන් සියලු වැඩ අතහැර සියල්ලෝම දේශන ශාලාව වෙත එක්රැස් වූහ. මඳ වේලාවකින් එහි පැමිණි ආයතන ප්‍රධානියා එක්ව සිටි පිරිස අමතන්නට වූ අතර මුහුණේ රැඳී තිබුණේ කලකිරීම් සහගත බවකි.
“මම මේ ඔයාලට කතා කරන අන්තිම දවස. මට වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශයට යන්න වෙලා. සිකුරාද හවස තමයි මැසේජ් එක ආවෙ. කේලාම් නිසා ඔයාලා වගේම මමත් අමාරුවේ වැටුණා. මට විරුද්ධවත් ඉහළට කේලමක් කියලා. විගණන පරීක්ෂණයකුත් යාවි. ඒකට කමක් නෑ. හෙට ඉඳලා එන ප්‍රධානියත් එක්ක ඔයාලා හොඳින් වැඩ කරන්න. හැබැයි කේලාම්කාරයන්ගෙන් හැමෝම පරිස්සම් වෙන්න. මගෙන් වරදක් උනා නම් සමාවෙන්න. උදව් කළාට හැමෝටම ස්තුතියි! ආයුබෝවන්!”
ආයතන ප්‍රධානියාගේ කතාව අතර වැඩි දෙනාගේ නෙත් විටින් විට යොමුව තිබුණේ පියල් හා සුනෙත් දෙසය. ප්‍රධානියාගේ කතාව නිම වනවාත් සමඟ පියල් හා සුනෙත් කාමරයෙන් පිටව ගියේ භූමිතෙල් වැදුණ ගැරඬින් දෙදෙනකු සේය.
ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ