අප බහුතරයකගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වෙමින් ඇත්තේ සොබාදහමින් හුදෙකලා කළ දැවැන්ත ගොඩනැඟිලි පරිශ්‍ර තුළය. පාසල්, කන්තෝරු කාමර, කම්හල්, බැංකු පද්ධති, මහල් නිවාස ආදියෙහි පරිසරයේ වායු තත්ත්වය සම්බන්ධයෙන් අපට බරපතළ ලෙස දැනුණු, මෑතකාලීන ප්‍රධානම අවස්ථාව වූයේ කොවිඩ් වසංගත සමය ය. ඒ කාලයේදී ගෘහස්ථ වායුවල ගුණාත්මක බව වැඩි දියුණු කරන අයුරු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ වැදගත්කම අන් කවරදාටවත් වඩා වැඩියෙන් දැනුණි.
ඒ තත්ත්වය තුළ ප්රගතිශීලි ව්‍යාපෘතියක් දියත් කරමින් ඒ පිළිබඳ පර්යේෂණය කරන්නී, ආචාර්ය නිලංකා වීරසිංහ ය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අපනයන කෘෂිකර්මය පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත් හදාරන ඇය පරිසර හිතකාමී ක්‍රමවේදයක් භාවිතයෙන් ගෘහස්ථ වාතයේ ගුණාත්මක බව වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳ සිදු කළ මෙම ව්‍යාපෘතියේ පර්යේෂණ කටයුතු සිදු වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ප්රොගීන් (Progreen) පර්යේෂණාගාරය තුළය. ඒ, මහාචාර්ය රංගික හල්වතුරගේ අධීක්ෂණය යටතේය. මෙම පර්යේෂණ කණ්ඩායම පරිසර හිතකාමී ක්‍රමවේදයක් ලෙස ශාක භාවිතයෙන් ගෘහස්ථ වායු තත්ත්වය ඉහළ ගුණාත්මක අගයකින් යුතුව කළමනාකරණය කර ගැනීම පිළිබඳ පර්යේෂණ කළහ. ආචාර්ය නිලංකා වීරසිංහ සිය පර්යේෂණය පිළිබඳ මෙසේ පැහැදිලි කළාය.
“අප මෙහිදී ප්‍රායෝගික කරන්න උත්සාහ කළේ Hybrid Air Purification for Indoors යන සංකල්පය. ඒ කියන්නේ ගෘහස්ථ පරිසරවලදී ඉහළ වායුගෝලීය ගුණාත්මක අගයක් ලබා ගැනීම සඳහා දෙමුහුන් වායු පිරිසිදු කිරීම පිළිබඳ අදහස. ඒ සඳහා පරිසරයේ ස්වාභාවික ශාක සහ එම ජීවි ශාක ප්රශස්ත තත්ත්වයෙන් පාලනය කිරීමට නූතන තාක්ෂණය එකම අගයකින් ලබා ගෙන මේ ඒකකය නිර්මාණය කරමින් එම ඒකකය අපි ‘හැපී යුනිට්‘ (HAPI Unit) ලෙස නම් කළා. ඒ වෙනුවෙන් අප භාවිත කළේ පාලිත තත්ත්ව යටතේ ගෘහ අභ්‍යන්තරයේ සිදු කරන තිරස් වගා ක්‍රමවේදයක්. සරලව කිව්වොත් හැපී යුනිට් එකෙන් සිද්ධ වෙන්නේ ගෘහස්ථ වායුගෝලීය තත්ත්වය මොහොතින් මොහොත නිරීක්ෂණය කරමින් සෑම මොහොතකම එම වායු තත්ත්ව යහපත්ව පවත්වා ගැනීමට අවශ්‍ය සාධක කළමනාකරණය කිරීමයි. මෙහි විශේෂම දේ තමයි මිනිසකුගේ දායකත්වයෙන් තොරව ස්වයංක්‍රියව වායු පිරිසිදු කිරීම සඳහා ශාක පද්ධතිය ක්‍රියාත්මක වීම. එනම්, පරිසරය තුළ වායු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පරිසර සාධක පැළෑටියට හඳුනාගෙන එම ශාක පද්ධතිය වෙත ආලෝකය, ජලය ඇතුළු අනෙකුත් සියලුම සාධක ස්වයංක්‍රීයව මුදා හැරීමයි. මේ ක්‍රියාවලිය සඳහා අප භාවිත කළේ IOT යන තාක්ෂණයයි. (IOT – The Internet of Thinking යනු අන්තර්ජාලය හෝ වෙනත් සන්නිවේදන ජාල හරහා වෙනත් උපාංග සහ ක්ලවුඩ් සමඟ දත්ත සම්බන්ධ කරන සහ හුවමාරු කරන උපාංග ජාලයකි) ‘MagicBits Pvt Ltd‘ ආයතනයේ Electronic ඉංජිනේරුවරයකු වන මිගාර අමිතෝදනගේ සහායෙන් එම තාක්ෂණය යොදා ගැනීමට අපට හැකි වුණා.
වායුසමනය කළ බැංකු, මහල් නිවාස සංකීර්ණ හා කාර්යාල පරිසරවලදී අයහපත් වායු තත්ත්ව ඉතාම වැඩි බව නිරීක්ෂණය වුණා. මේ නිසා හිසරදය, නිදිමත, ක්‍රියාශීලි මදිකම, එක දිගට වැඩවල නිරත වෙලා ඉන්න බැරිකම ඇති වෙනවා. අහිතකර වායු පිරුණු එවැනි ගොඩනැඟිලිවලට අප කියන්නේ ලෙඩ ගොඩනැඟිලි (Sick Building) කියලා. එවැනි ගොඩනැඟිල්ලක් තුළ සිටීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු හඳුන් වන්නේ “Sick Building Syndrome” කියලා. වායුසමීකරණය කළ පරිසරයක මිනිස්සු දෙතුන් දෙනෙක් ජීවත් වෙනවා නම් එම පරිසරයේ කාබන්ඩයොක්සයිඩ් තත්ත්වය 1000 ppm (parts per million) ට වඩා වැඩි වී තිබෙනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙන්නේ එය ‘Sick Building Syndrome ‘ තත්ත්වයක් ඇති විය හැකි නුසුදුසු පරිසරයක් ලෙසයි.
දැනට එවැනි ගොඩනැඟිලි සඳහා කෙරන්නේ තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් වායු පෙරණ ස්ථාපනය, වායු පිරිසිදු කාරක තාක්ෂණික ක්‍රමවේද වුවත් මේ විසඳුම් ඉතාම මිලයි, පරිසර හිතකාමී නෑ. අප උත්සාහ කළේ පරිසර හිතකාමී විසඳුමකට ගමන් කරන්න. ඒ වෙනුවෙන් තමයි වායු පිරිසිදු කිරීමට ශාකවල තිබෙන හැකියාව සොයමින් මිනිසුන් පරිසරය හා බද්ධ කරන ක්‍රමයකින් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට අප යොමු වුණේ.“
එහෙත් අපේ පැරැන්නෝ නිවෙස් තුළ ජීවී ශාක තැන්පත් කිරීම නොකළ යුත්තක් බව කීය. මේ ක්‍රමවේදය තුළ දිවා රාත්‍රී කාලය පුරාම ශාක පද්ධතියක් ගෘහස්ථ පරිසරයක් තුළ පැවතීම පිළිබඳ ඇයගෙන් විමසීමි.
“මිනිස්සු වගේම ගසුත් හුස්ම ගන්නවා. ශාක දහවල් කාලයේදී කාබන්ඩයොක්සයිඩ් අරන් ඔක්සිජන් පිට කරනවා වගේම රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ නිසා තමයි නිවෙස් තුළ ශාක තබාගැනීම නුසුදුසුයි කියන්නේ. එහෙම අහිතකර තත්ත්ව ඇති වෙන්නේ නිවෙසේ වාතාශ්‍රය නැතිනම්, වාතය ඇතුළු නොවන සේ මුද්‍රා තබා ඇති නම් සහ පැළ විශාල සංඛ්‍යාවක් තිබෙනවා නම් පමණයි.
HAPI Unit එකේදී සිදු වෙන්නේ කාමරයක් තුළ දිවා රාත්‍රි භේදයකින් තොරව ආලෝක වර්ණය හා තත්ත්වය ස්වයංක්‍රීයව ලබාදෙමින් අවශ්‍ය විදිහට ශාක පද්ධතිය ක්‍රියාත්මක කරගැනීමයි. මේ සඳහා තෝරාගන්නා ශාක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සිදු කළ පර්යේෂණයේදී මම මුලින්ම කළේ දේශීය පැළ සහිතව විශාල පැළෑටි ලැයිස්තුවක් හදලා විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ ශාක තෝරාගෙන එම ශාක ක්‍රියා කරන විධි පරීක්ෂා කිරීමයි. එහිදී නිරීක්ෂණය වුණා ‘තිප්පිලි‘ පැළය සියලු ශාක අබිබවා ඉතා කාර්යක්ෂමව කාබන්ඩයොක්සයිඩ් උරා ගන්නා බව. එම සුවිශේෂි සොයාගැනීමත් සමඟ අපේ ප්‍රතිඵල සාර්ථක වුණා. පරීක්ෂණ පත්‍රිකාවකට පමණක් සීමා නොකර මේ ‘HAPI Unit‘ එක වාණිජව නිෂ්පාදනය කරන තැනට ගේන්න අපට හැකි වුණා. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සංචාරක හෝටල් දෙකක HAPI Unit ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය සහ සංවර්ධනාත්මක අදහස් අපව නව පර්යේෂණ ක්ෂේත්රවලට උනන්දු කරවන තරම් ප්‍රබලයි. වැදගත්ම දේ තමයි මිනිස්සු පරිසරයෙන් ඈත් වෙද්දි යළි ඔවුන් ඒ පරිසරය හා බද්ධ කරවන්න මෙවැනි පද්ධතියක් සමත් වීම. සමාජයේ මානසික සුවය වෙනුවෙන් එයත් ඉතාම වැදගත් වේවි.” ආචාර්ය නිලංකා පවසන්නීය.
ටානියා මෝසස්