Home » සූකර උණ පාලනයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

සූකර උණ පාලනයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

කලින් කලට විවිධ රෝග පැතිර යෑම අමුතු දෙයක් නොවේ. මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද සූකර උණ රෝගය පිළිබඳ අවදානමක් මතුව තිබේ. වයිරසයක් මඟින් ඌරන්ට බෝ වන අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever/ (AFS) මෙරටට පැමිණ ඇති බව හෙළි වූයේ පසුගිය දිනවල දිස්ත්‍රීක්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල පරීක්ෂාවේදීය.

අවදානමට රටම සූදානම් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි අබේරත්න විසින් ඉකුත් 25 වැනිදා ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ඔක්තෝබර් 25 වැනිදා සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත.

එම ගැසට් නිවේදනයට අනුව සූකර උණ අවදානම සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යෑම හෝ පලවා හැරීම, ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය කිරීම හා තරග පැවැත්වීම, ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස්වලින් නිෂ්පාදන සකස් කිරීම, අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූ හෝ ආසාදිත වූ බවට සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යයක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම, අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වූ හෝ ආසාදිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම තහනම් කර ඇත.

ආවේ කොහෙන්ද?

අප්‍රිකානු සූකර උණ රෝගය (African swine fever) මෙරටට ඇතුළු වී ඇත්තේ අවිධිමත් ලෙස ආනයනය කළ ඌරු මස්වලින් හෝ ගුවන්තොටුපොළ හා වරාය මඟින් ඉවතලන ආහාරවලින් බවට අනුමාන කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ප්‍රකාශ කළ අතර, ඒ බව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා වසංගත විද්‍යාත්මක විමර්ශනයක් සිදු කරමින් තිබෙන බව ද පැවැසීය.

මෙරටට අවශ්‍ය ඌරු මස්වලින් කුඩා ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරන බවත් එහිදී ආනයනික බලපත්‍ර ලබා දෙන්නේ සූකර උණ රෝගය නොමැති රටවලින් මස් ආනයනය කිරීමට පමණක් බවත් ඇය විසින් ප්‍රකාශ කළේ ඉකුත් දා ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මේ දවස්වල ඌරු මස් කන්න හොඳ නැද්ද?

සූකර උණ රෝගය ඌරන්ගෙන් ඌරන්ට පමණක් බෝවන රෝගයක් වන අතර, මිනිසුන්ට සහ වෙනත් සතුන්ට බෝ නොවේ. එහෙත් රෝගී තත්ත්වයට පත් වූ ඕනෑම සත්ත්වයකුගේ මාංස අනුභවයට ගැනීම අනතුරුදායක බැවින් මේ දිනවල මෙරට ඌරන්ට බෝ වී තිබෙන අප්‍රිකානු සූකර උණ රෝගය නිසා ඌරු මස් අලෙවිය තහනම් කරමින් රජයේ ආයතන මඟින් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

සූකර උණ හේතුවෙන් මේ වන විට ඌරු මස් අලෙවිය තහනම් කර ඇති බැවින් කිසියම් ස්ථානයක මේ දිනවල ඌරු මස් අලෙවි කරන්නේ නම් ඒ බව වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ පසුගියදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සූකර උණ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති තහනම් නියෝග කඩ නොකිරීම සෑම පුරවැසියකුගේම යුතුකම වන්නේය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division