මගෙ ආදරණීය දුවේ පුතේ,
අද මං ඔයාලට කියන්න හදන්නේ වෙනස්ම කතාවක්. මීට කාලෙකට ඉස්සර අපේ ගෙවල්වල පුංචි අපේ දවස ගෙවුණේ හරි අපූරු ආකාරයට.
අද වගේ රූපවාහිනියවත්, පරිගණක යන්ත්‍රවත්, ජංගම දුරකතනවත් නොතිබුණ ඒ අපේ ළමා කාලයේ දවස ගත කරන්න බොහෝම හොඳ නිදහසක් තිබුණා. පුංචි අපිට අම්මා තාත්තා පවුලේ වැඩිහිටියෝ එක්ක සෙල්ලම් කරන්න ඕන තරම් කාලය තිබුණා.
අපේ සෙල්ලම වුණත් හරිම සරලයි. ඒ සරල සෙල්ලම්වලින් අපට අපේ ගහ කොළ පරිසරය හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. වැඩිහිටියන්ට තිබුණේ ඈතින් ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නත්, වරදින විට පාර පෙන්නන්නත් විතරයි. ගෑනූ ළමයි පිරිමි ළමයි බේදයක් නැතිව සෙල්ලම් ගෙවල් දැම්මා. මේ හැම සෙල්ලම් ගෙදරකම පුංචි මුට්ටියක බතක් ඉදුණා. එළවළුවක් පිසුණා.
අද වන විට පොඩිත්තෝ ඉන්න ගෙවල්වල මෙහෙම සේලලම් ගෙවල් දානවද කියලවත් දැන ගන්න නැහැ.
කාලය වෙනස් වෙනවත් එක්කම පොඩිත්තන් කාර්යබහුල වුණා. හැම අම්මා තාත්තා කෙනෙකුටම එදත් අදත් ඕන වුණේ තමන්ගෙ දරුවට යහපත් කාලයක් උදාවෙනවා දකින්න. ඒක එහෙම වුණත් එදාට වඩා අද කාලය වෙනස්. මේ වෙනස් යුගයේ පොඩිත්තන්ගේ ජීවිතත් වෙනස් වෙලා. එහෙම ජීවිත වෙනස් කර ගත්තේ අපේ දරුවෝ නොවෙයි. අපේ වැඩිහිටියන්මයි; දරුවන්ගෙ ලෝකය වෙනස් කරන්නේ. පුංචි ඔබේ හෙට දවස ගැන දුක හිතෙනවා. ලෝකය වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම වෙන්න ඕන ආවාට ගියාට නෙමෙයි; නිවැරදි දැක්මක් ඇතිව.
ඉස්සර වගේ නොවෙයි. අද අපි හැමෝම ලෝකය සමඟින් වෙනස් වෙමින් ඉන්නේ. එහෙම වෙනස් වෙමින් ඉන්දැද්දිත් මෙවැනි දේ වෙනවා නම් අපේ අනාගතයට අනාගත පරම්පරාවට කුමකින් කුමක් සිදු වේද?
දිනය ඉකුත් අඟහරුවාදා.වේලාව රාත්‍රී අට පහු වෙලා. සේවය නිමවී යන මා පිළියන්දලින් බසයට නැඟුණේ එවලේ. බස් රියේ වම්පස අසුනක වාඩිවී සිටි මා අසලින්ම මවක් ඉඳ ගත්තා. ඇය සමඟ පාසලේ පළමු ශේණියේ යැයි සිතිය හැකි දරුවකු ද වුණා. මවගේ අවධානය යොමුව තිබුණේ දරුවාටත් වඩා අත රැඳි ජංගම දුරකතනයට. ආසනයේ අසුන් ගත්ත ද ඒ ගැන දෙදෙනාටම අවධානයක් නැත. දෙදෙනාගෙම ඇස් ඇස්තේ ජංගම දුරකතනයේ තිරය මත. ඇය යුටියුබ් ඔස්සේ ගීත නරඹයි. ඒ ගීත කාගේ දැයි කියන්නට බැරිය. ඇසෙන්නේ නෑ.. බෑ කියන හඬ පමණි.
ඒ අසල සිටින මගේ කණට මෙය ඇත්තටම වදයක්. අවුරුදු නවයක් පමණ වයසැති දරුවාගේ ඇස් ඇත්තේත් ජංගම දුරකතනයේ. ඒ අවර ගණයේ ගීතත් රූප ජවනිකාත් දරුවා බලන්නේ හුස්ම නොගෙන. බසය දැන් සෙනඟින් පිරි ගොස්. දරුවන්ට දිය යුත්තේ අසන්නට හොඳ ගීත. එවන් වයසක සිටින දරුවකුට පෙම් ජවනිකා හෝ ප්‍රේම ගී වලින් ඇති ඵලය කුමක්ද?
මෙවන් අම්මලා නිසා දරුවන්ගේ හෙට දවස බැබළේද…? වැළලේද?
බසය දැන් සෙමෙන් ඉදිරියට ඇදෙයි… එහෙත් අම්මාත් පුතාත් දෙදෙනාගේම දෑස් ජංගම දුරකතන තිරය මතය… ඒ දරුවාට දොස් කීමෙන් පලක් නැත … හැදිය යුත්තේ අම්මාගේ ඔළුවය..
අනේ අපේ හෙට පරම්පරාවට කුමක් වේද? කොතැනින් නතර වේද?
පුංචි දුවේ පුතේ ජංගම දුරකතනය භාවිතා නොකරන්න යැයි මම ඔබට නොකියමි. එහෙත් අපි ඕනෑම දෙයක් පාවිච්චි කළ යුත්තේ සීමා ඇතිවය. එය අපට ආලෝකයක් මිස අවැඩක් කර ගත යුතු නැත.
ඉසවි