පසුගිය සතියේ අඟහරුවාදා එනම් ඔක්තෝබර් 29 තුර්කි ජනරජයේ 101 වන සංවත්සරය රට පුරා සමරනු ලැබුවා. මේ රටේ අවුරුද්දටම තිබෙන්නේ ප්‍රසිද්ධ නිවාඩු කිහිපයක් විතරයි. ජනරජ දිනය ඒවයෙන් එකක්. 1923 ඔක්තෝබර් 29 දින තුර්කිය නිල වශයෙන් නිදහස් ලෙස නම් කිරීමෙන් පසු එහි සියවන සංවත්සරය සැමරූ 2023 ඔක්තෝබර් 29 දවසේ මම ඉස්තාන්බුල් නුවර සිටියා. රජයේ ප්‍රධාන නිල උත්සවය තිබුණේ අන්කාරා අග නගරයේ. ඉස්තාන්බුල් නුවර. මේ ආකාරයේ සැමරුම් තිබෙන්නේ තක්ශිම් චතුරශ්‍රයේ. එය හරියට අපේ නිදහස් චතුරශ්‍රය වගේ තැනක්. තුර්කි ජාතික ධජය අතින් දරාගත් ළමා, තරුණ මහලු පුරවැසියන් දස දහස් ගණනක් ජනරජ ගීතය ගයමින් තක්ෂිම් චත්‍රරශ්‍රය දෙසට ඇදෙන ආකාරය හරිම දැකුම්කලු හැඟීම් දනවන දර්ශනයක්. වැදගත්ම දේ ඔවුන් මේ ගමන යන්නේ සිය කැමැත්තෙන් වීමයි. කිසිම දේශපාලන පක්ෂයක් විසින් බල කිරීම නිසා නම් නෙවෙයි. ඉස්තාන්බූල් වැසියන් සිය නිදහසේ ශත සංවත්සරය සැමරූ හැටි ගිය අවුරුද්දෙ නම් මම කබාටාස් තොටුපළ අසලට වී බලා සිටියා. සියලු ගොඩනැගිලි, කන්තෝරු හා වීදි තුර්කි ධජයෙන් හා තුර්කි ජනරජයේ නිර්මාතෘ මුස්ටෆා කෙමාල් අටාටුර්ක් ගේ රුව රැගත් විසල් පින්තූරවලින් පිරී ගොස් තිබුණා.
මෙවර ඔක්තෝබර් 29 මම හිටියේ ඉස්තාන්බූල් නගරයෙන් තරමක් ඈත මාර්මුරා මුහුද අද්දර පිහිටි බුර්සා නගරයේ. බුර්සා පළාත තුර්කියේ ඉතාම සශ්‍රික කලාපයක්. එම නගරය ඉතා ක්‍රමවත්ව නිර්මාණය කළ නවීන පහසුකම් සියල්ල සපිරි නගරයක්. ඔටෝමාන් අධිරාජ්‍යය සිය පළමු අගනුවර හැටියට තෝරාගෙන තිබ්බෙත් බුර්සා නගරයයි.
ඉතින් මට වැටහුණු දේ නම් ඉස්තාන්බූල් හා අන්කාරා මෙන්ම මේ නගරයේ ජනතාවත් ඉතාම උද්යෝගයෙන් නිදහස් දින සමරනු ලබන බව. ජාතික කොඩි අතින් ගත් ළමයින් හා තරුණයන් නගරය පුරා ප්‍රීතියෙන් ඇවිදිනවා. බුර්සා කෞතුකාගාරයට යාබඳව පිහිටි අටාර්ටුර්ක් ප්‍රතිමාව අසලට රැස් වී ජනරජ ගීතය ගයන විශාල පිරිසක් හිටියා. ප්‍රතිමාව අසල මල් කලඹවලින් හා තුර්කි ධජයෙන් වර්ණවත් වී තිබුණි.
1299 ඉඳන් 1922 වෙනකම් තුර්කියේ අනටෝලියා කලාපය කේන්ද්‍ර කරගෙන බිහි වී විකාශනය වූ ඔටෝමාන් අධිරාජ්‍යය 1453 දී කොන්තන්තිනෝපල් නගරයත් අල්ලා ගැනීමෙන් පසු වඩාත් බලවත් වුණා. ඒත් පළමු ලෝක යුද්ධයෙන් පසු ඔටෝමාන් අධිරාජ්‍යය බලයෙන් හා දැක්මෙන් දුර්වල වෙමින් තිබු නිසා තුර්කි ජනතාවට ඔවුන්ගෙන් නිදහස් වීමට සිද්ධ වුණා. මේ අවශ්‍යතාව හා තව තවත් බාහිර බලපෑම් හමුවේ තුර්කියේ ජනතාව එක්සේසත් කර නවීන රාජ්‍යයක් කරා එය මෙහෙයවීමේ වගකීම භාර ගත් මුස්තාපා කෙමාල්ට තුර්කියේ පියා යන අරුතැති අටාර්ටුර්ක් යන ගෞරව නාමය පිරිනැමුණා. පසුගිය සටහනේ මතක් කළා වගේ ටර්කික් කලාපයට අදාළ පොදු බසක් තිබෙනවා. ‘අටා’ මේ කලාපයේ සෑම රටකම පාහේ පියාට කියන නමක්.
මේ ආකාරයෙන්ම ටර්කික් කලාපයට තරමක පොදු අක්ෂර හෝඩියේ ආභාසය ගත් පරණ තුර්කි හෝඩිය වෙනස්කොට ඔටෝමාන් පාලකයන් විසින් අරාබි හෝඩිය හඳුන්වා දෙනු ලැබුවා. එමෙන්ම අරාබි හා පර්සියන් වචන රැසක් තුර්කි බසට එකතු වුණා. වෙනස් ව්‍යාකරණ හා උච්ඡාරණ ප්‍රවේශයක් සහිත බසකට ඒ හා සමපාත නොවූ බසක අක්ෂර හෝඩියක් හා වචන හඳුන්වාදීම තරමක් කරදරකාරී දෙයක් වුණා.
තුර්කියට නිදහස ලබා ගන්නට වුවමනා වුණේ තමන්ට දේශ සීමා පිඩනයක් ගෙන දෙන අසල්වැසි රටවලින්වත්, ලෝක බලවතුන්ගෙන්වත්, සාම්ප්‍රදායික ඔටෝමාන් පාලනයෙන්වත් විතරක් නෙවෙයි. නවීනත්වයට මඟ අහුරන ස්වකීය පුරුදු හා සම්ප්‍රදායන්වලින් පවා ඔවුන්ට නිදහස් වීමට වුවමනාව තිබුණා. තුර්කියේ නව රජය 1923 දී අඳුනා ගත් එක් එවැනි බාධකයක් වුණේ එවකට භාවිත වුණු අක්ෂර හෝඩිය හා භාෂාව.
එසේ වූ අක්ෂර හෝඩිය මුළුමනින්ම වෙනස් කොට අරාබි අකුරු වෙනුවට ඉංග්‍රීසි භාෂාවේ භාවිත වෙන ලතින් අක්ෂර හෝඩිය භාවිත කිරීමට ඔවුන් තීරණය කළා. ඉන්පසු ක්‍රමානුකුලව මුළු භාෂාවම නවීකරණය සඳහා සැලසුම් කරනවා. ශතවර්ෂ ගණනාවක් රටක භාවිත වුණු අක්ෂර පද්ධතියක් හා බසක් වෙනස් කරනවා කියන්නේ බරපතළ කාරණාවක්.
මෙන්න මේ අභියෝගය භාර ගැනීමට අටාර්ටුර්ක්ගේ නව රජයට හැකි වෙනවා. එය එතෙක් මෙතෙක් ලෝකයේ මොනම රටක හෝ සිදුකරන ලද ප්‍රබලම භාෂා විප්ලවයක්. 1928 දී පටන්ගෙන මුලින්ම ඔවුන් ඉතා කෙටි කලක් තුළ අක්ෂර හෝඩිය මාරු කර ගන්නවා. ඉන්පසු දිග කාලීන වැඩපිළිවෙළකින් භාෂාවේ තිබූ අරාබි හා පර්සියානු වචන බොහෝමයකට සුදුසු නව වචන හඳුන්වා දෙනවා. මේ භාෂා විප්ලවය නිසා රටේ සාක්ෂරතාව වේගයෙන් ඉහළ යනවා. නවීන ලෝකයත් සමග ගනුදෙනු කිරීම පහසු වෙනවා. නව තාක්ෂණ දැනුම රට තුළට ගලා එනවා. ඒ වගේම රටේ දැනුම ලෝකයට නිරාවරණය වෙනවා.
සියවස් ගණනාවක් තිස්සේ සාහිත්‍යධරයන්, අධ්‍යාපනවේදීන්, රාජ්‍ය පරිපාලකයන් භාවිත කළ අකුරු හෝඩියක් වෙනස් කිරීම වුණත් මොන තරම් දුෂ්කර ප්‍රතිසංස්කරණයක්ද? මේ සඳහා දේශීය හා ලෝ පුරා සිටි භාෂා විශාරදයන්ගේ සහාය ලබා ගන්නවා. 1926 සිට 1928 දක්වා අවුරුදු ගණනක් සැලසුම් කරනවා. මුලින්ම රජයේ තෝරාගත් කාර්යාලවල අත්හදා බලනවා. ඉන්පසු ලතින් අකුරුවලින් පිරිමැසිය නොහැකි තුර්කි භාෂාව යම් යම් ශබ්ද නැඟීම වෙනුවට තරමක් වෙනස් අක්ෂර කිහිපයක් හඳුන්වා දෙනවා. අලුත් තාක්ෂණ වචන වෙනත් භාෂාවලින් ලබා ගන්නවා.
මේ වෙනසට විරෝධතා මතු නොවුණා නොවේ. මේ අලුත් වෙනස නිසා පාසල්වල ඉගැන්වීම කරන්නට බැරි වෙයි කියා ගුරුවරුන් හිතනවා. පුරුදු බසින් පත පොත කියවන්නට බැරිව ජනයා අවියත් හෝ අධාර්මික වෙයි කියා සමහරුන් සැක කරනවා. සිය රාජකාරි වැඩ දෙගුණ තෙගුණ වේයැයි කියා රජයේ සේවකයන් බය වෙනවා.
ඒත් කළ යුත්ත කළ යුතුයි කියා රජය ගත් තීරණය සමඟ විශාල ප්රගතිශීලි ජන කොටසක් එකතු වෙනවා. මේ කාරියේදී රටේ නායකයා අටාටුර්ක් මූලිකත්වය ගන්නවා. ඔහු තමන්ම ප්‍රධාන ගුරුවරයා ලෙස භූමිකාව භාරගන්නවා. නගරවලට ගොස් පෞද්ගලිකව භාෂා පන්ති පවත්වනවා. නව නීති රීති ගෙන එනවා. තරුණ වැඩිහිටි සියලු දෙනාට විශේෂ භාෂා සැසි සංවිධානය කරනවා. සියලුම මාධ්‍යවල භාෂා ඉගැන්වීමේ වෙනම අවකාශ වෙන් කරනවා. රාත්‍රි පන්ති පවත්වනවා. නගරවල භාෂා ලිවීමේ හා ඉගැන්වීමේ දැන්වීම් පුවරු ඉදි කෙරෙනවා.
මේ මුළු රටක් සහභාගී වූ භාෂා ශ්‍රමදානයක්. නවීකරණය වීම සඳහා අවශ්‍ය කාරණයකදී රජයක් හා ජනතාවක් එකම ඉලක්කයක් කරා මෙහෙයවන්නේ කෙසේද කියන එකට හොඳ උදාහරණයක්.
මුදල් නෝට්ටුවක ඇති සටහනක, පාරක තොටක තිබෙන දැන්වීම් පුවරුවක පටන්, සියලු අධ්‍යාපන විෂය කරුණු හා පරිපාලන කටයුතුවලට අවශ්‍ය බසක අකුරු අද තිබෙන ආකාරයෙන් ලතින් ඉංග්‍රීසි අකුරුවලින් තිබෙන්නේ ඒ නිසයි. නවීන පරිගණක මෙහෙයුම් හා යතුරු පුවරු භාවිතයේදී මේ නිසා විශාල පහසුවක් වීම අනිවාර්ය දෙයක් වන්නට ඇති. 1930 දශකයේදී මූලික වැඩ කොටස නිමා වුනත් මේ භාෂා ප්‍රතිසංස්කරණය 1970 පමණ වනතුරු නොකඩවා ඉදිරියට ගිය බව සඳහන් වෙනවා. තුර්කිය 1923 දී පටන් නවීකරණය වීම සඳහා තැබූ යෝද පියවරවල් රාශියක් අතරින් එක් කුඩා පියවරක් තමයි මේ භාෂා ප්‍රතිසංස්කරණය.