බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික පීඩා අතර කාන්තා හිංසනය පවතින්නේ දිනපතා පුවත් මවන සිදුවීමක් ලෙසිනි.
කාන්තා හිංසන දිනෙන් දින ඉහළ යෑමට හේතුව ඒ සඳහා නීතියේ පිළිසරණ ලබන්නට කාන්තාව මැළි වීම ද නැත්නම් නීතියේ ඇති අඩුලුහුඬුකම් ද යන්න ගැටලුවකි. කාන්තා හා ළමා නීතිය පිළිබඳ ප්‍රවීණ නීති උපදේශිකා නීතිඥ සජීවනී අබේකෝන් ඒ පිළිබඳ මෙසේ පැවැසුවාය.
“හිංසනයක් සිදු විට පැමිණිලි කරන්නේ කාට ද? කොහෙට ද? ඒ පිළිබඳ ක්‍රියා කිරීමට ඇති නීති මොනවාද යන්න ගැන හැම ගැහැනු දරුවෙක්ම, කාන්තාවක්ම දැනුම්වත් වී සිටීම එවැනි හිංසන වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. කාන්තා හිංසනය යන්න සරලව පැහැදිලි කරනවා නම් ගෘහය, කාර්යාලය, පොදු ප්‍රවාහන සේවය සහ පොදු ස්ථාන ආදී ඕනෑම තැනකදී කාන්තාවක් මුහුණ දෙන ශාරීරික, මානසික හා ලිංගික හිරිහැරයි. රටක් කාන්තා හිංසනයෙන් තොරවීම කොයිතරම් වැදගත් ද කියනවා නම්, එක්සත් ජාතීන් විසින් රටක සංවර්ධනය මැනීමේ නවතම මිණුම් දණ්ඩක් ලෙස කාන්තා හිංසනයෙන් තොරවීම සලකා බලනවා. ඒ කියන්නේ යම් රටක් සංවර්ධිත රටක් ලෙස සැලකීමට නම් රටේ භෞතික සංවර්ධනය හැරුණු විට ඒ රටේ කාන්තාවන්ට සහ ළමුන්ට හිංසනයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතුයි. ”
කාන්තා හිංසනයට එරෙහි විය යුතු යැයි කී විට ඇතැමුන් එය කාන්තාවන්ට පමණක් අදාළ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැරැදි අදහසක් බව ද නීතිඥ සජීවනී අබේකෝන් පවසන්නීය.
“කාන්තාවක් තම නිවෙස, කාර්යාලය, පොදු ප්‍රවාහන සේවය සහ පොදු ස්ථානවලදී හිංසාවට ලක්වීම පවුලට, සමාජයට සහ රටේම සංවර්ධනයට, අභිවෘද්ධියට අහිතකර ලෙස බලපානවා. කාන්තාවක් නිවසේදී කායික, මානසික හෝ ලිංගික හිංසනයකට ලක්වනවා නම් සමහර විට ඇය ඒ පීඩනය මුදා හරින්නේ දරුවන්ට විය හැකියි. එයින් දරුවන් ද මානසික පීඩාවට ලක්වනවා. කාන්තාවක් පොදු ප්‍රවාහන සේවයේදී හිංසාවට ලක්වනවා නම් ඇය රැකියා ස්ථානයට එන්නේ සතුටින් නෙවෙයි. ඒ වගේම රැකියා ස්ථානයේදීත් ඇය හිංසනයට ලක්වෙනවා නම් එය රැකියාවේ ඵලදායීතාවට අහිතකර ලෙස බලපානවා. එය රටේ සංවර්ධනයටත් බාධාවක්. එම නිසා කාන්තා හිංසනය වැළැක්වීම සුභදායක වන්නේ කාන්තාවන්ට පමණක් නොවෙයි. එහි අවසාන ප්‍රතිඵලය රටේම සංවර්ධනයට සහ ඵලදායීතාවට බලපාන බව සෑම පුරවැසියෙක්ම අවබෝධ කරගත යුතුයි.”
කාන්තාවක් ලක්වන හිංසා අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මුල් තැනක තිබේ. ඒ ගැන අප නීතිඥ සජීවනී අබේකෝන් විමසිමු.
“කාන්තාවක් තම නීත්‍යනුකූල ස්වාමි පුරුෂයාගේ හිංසනයට ලක් වීම විවාහ ජීවිතයේම දිගුවක්, සාමාන්‍ය සිදුවීමක් ලෙස කවුරු හෝ සිතනවා නම් එය ඉතාම වැරැදි අදහසක්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට විරුද්ධව මුලින්ම නීති ගෙන ආවේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතෙන්. නමුත් මේ පනත ගෙනාවේ කාන්තාවට විරුද්ධව සිදු වන හිංසන වැළැක්වීමට පමණක්ම නොවෙයි. නීති පොතේ ඒ සම්බන්ධයෙන් සඳහන් වන්නේ ‘තැනැත්තා’ කියලයි. ඒ නිසා ගෘහස්ථ හිංසනයට ලක්වන පිරිමියකුටත් මේ පනත යටතේ නඩු පවරා සාධාරණය ඉටුකරගත හැකියි. ඒ වගේම යම් කාන්තාවකට ඇයගේ පෙර විවාහයේ සැමියාගෙන් හෝ නීත්‍යනුකූල විවාහයක් සිදු නොකර නොගෙන එකට ජීවත්වන පිරිමියාගෙන් හිංසනයක් වෙනවා නම් මේ පනත යටතේ එයටත් නීතිමය රැකවරණය ලබාගත හැකියි. ඒ වගේම හිංසනය සිදුවී අවසන් අවස්ථාවකදී වගේම හිංසනය වෙමින් පවතින අවස්ථාවකදීත් ඉදිරියේදී හිංසන සිදුවීමට අනතුරුදායී තත්ත්වයක් පෙනී යන අවස්ථාවකදී පවා මේ පනත යටතේ නඩු පැවරිය හැකියි. ඊට අමතරව ස්වාමිපුරුෂයාගේ මව්පියන් ඇතුළු ඥාතීන්ගෙන් බිරියට එල්ල වන පීඩන සම්බන්ධයෙන් ආරක්ෂිත නියෝගයක් ලබා ගැනීමටත් අවස්ථාව තිබෙනවා.”
ලිංගික හිංසනවලට විරුද්ධව නීතියේ පිළිසරණ පැතීමට නම් ලිංගික හිංසන යටතට ගැනෙන අවස්ථා ගැන කාන්තාවන් සහ විශේෂයෙන් යොවුන් ගැහැනු දැරියන් දැනුම්වත් වීම ඉතා වැදගත්ය.
ලිංගික හිංසන සඳහා දඬුවම්
“බස් රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහනයේදී පිරිමියෙක් අනවශ්‍ය විදිහට කාන්තාවකගේ සිරුර ස්පර්ශ කරනවා නම්, අවයව මිරිකනවා නම්, කොතින්තනවා නම්, අනවශ්‍ය ලෙස සිරුරට හේත්තු වෙනවා නම් එය ලිංගික අතවරයක්. ඒ වගේම රැකියා ස්ථානයේදී, කාර්යාලයේදී ලිංගික ක්‍රියා හැඟවෙන වදන් පැවසීම, ඉඟිබිඟි පෑම, ලිංගික කාර්යයන් පිළිබඳ අසභ්‍ය වදන් කීම, අතපය හැසිරවීම්ලින් ඒ බව හැඟවීම, අසභ්‍ය වදන් සහිත දුරකතන ඇමතුම්, අසභ්‍ය වදන් සහ ඡායාරූප සහිත කෙටි පණිවිඩ, ඊමේල් පණිවිඩ යැවීම, යම් කාන්තාවකගේ සිරුරේ යම් ස්ථානයක් පෙනෙන පරිදි ඡායාරූප ගත කිරීම සහ ඒවා බෙදා හැරීම සහ ළඟ තබා ගැනීමත් ලිංගික අතවර ලෙස සැලකෙනවා. කවුරු හෝ හිතාගෙන ඉන්නවා නම් ලිංගික අතවරයක් කියන්නේ ක්‍රියාවකින් සිදු කරන දෙයක් පමණක් කියලා එය වැරැදි අදහසක්. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව ඉහත කී සියල්ල ලිංගික අතවර ලෙස සැලකෙනවා.”
ලිංගික අතවර සම්බන්ධයෙන් ඇති නීතිමය පිළිසරණය පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත් වන්නේ සමාජයේ ඕනෑම තැනකදී ඕනෑම අවස්ථාවක එවැනි අතවරයකට ලක්වීමේ අවදානමක් තිබිය හැකි නිසාය.
“ස්ත්‍රී දූෂණය කියන්නේ කාන්තාවකට සිදු විය හැකි බරපතළම ලිංගික හිංසනයයි. දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 සංශෝධිත පනත අනුව කාන්තාවකගේ අකමැත්තෙන් ලිංගික ප්‍රවේශයක් සිදු කිරීමේ වරද පවා දඬුවම් ලැබීමට ප්‍රමාණවත්. වයස අවුරු 16ට අඩු ගැහැනු දරුවකු සමඟ ඇයගේ කැමැත්තෙන් එවැනි ලිංගික කාර්යයක් සිදු කළත් එහි වරද පැටවෙන්නේ පිරිමියාටයි. ඒ සම්බන්ධයෙන් පිරිමියාට අවුරුදු 7-20ත් කාලයකට සිර දඬුවම් පැමිණවිය හැකියි. එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා. වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයකුගේ භාරකාරත්වයය මව්පියන්ට පැවරී ඇති නිසා එවැනි දැරියක් තමාගේ කැමැත්තෙන් පිරිමියකු සමඟ පලා ගියත්, ලිංගික කාර්යයක නිරත වුවත් ළමා අපහරණය සම්බන්ධයෙන් ඒ පිරිමියාට අවුරුදු 7 දක්වා සිරදඬුවමකටත් යටත් වීමට සිදුවෙනවා.”
නීතිඥ සජීවනී අබේකෝන් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මීට වසර කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකින් මෙරට කාන්තාවන්ගෙන් සියයට 80ක් පමණ ජීවිතයේ එක් වරක් පමණක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයන්ට ලක් වී ඇති බව හෙළි වී ඇති බවය. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව බස්රිය, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවයේදී සිදු වන ලිංගික හිංසනවලට වරදකරුවකු වුවහොත් වසර 5 දක්වා සිරදඬුවම් ලබා දිය හැකි බවත් ඇය පැවැසුවාය. ඊට අමතරව රැකියා ස්ථාන තුළ සිදුවෙන ලිංගික අල්ලස් ගැනීම්වලට එරෙහිව ඇති නීතියේ පිළිසරණ ගැන ද ඇය මෙසේ කීවාය.
“කුමන ආකාරයකින් හෝ සිදු කරන අනවශ්‍ය ලිංගික යෝජනා ද ලිංගික හිංසන ලෙස සැලකෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේදී උසස් වීමක්, වැටුප් වර්ධකයක්, ස්ථාන මාරුවීමක් ලබා දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික වශයෙන් යම් දෙයක් ඉල්ලා සිටිනවා නම් එය අල්ලස් නීතිය යටතට වැටෙන වරදක්. අල්ලස් කොමිෂන් සභාවේ 1954 අංකයට මේ ගැන පැමිණිලි කළ හැකියි. ඊට අමතරව රැකියා ස්ථානය තුළ කාන්තාවකට කායික, මානසික පීඩාවකට මුහුණ දීමට සිදු වනවා නම් ඒ පැය 24 පුරා ක්‍රියාත්මක 1938 කාන්තා උපකාරක සේවයට කතා කර උපදෙස් සහ උපදේශනය නොමිලේ ලබාගත හැකියි. ”
සයිබර් අවකාශය තුළ යොවුන් ගැහැනු දරුවන් සහ කාන්තාවන්ට සිදුවන අපරාධ පිළිබඳ ද නිරන්තරයෙන් වාර්තා වේ. විශේෂයෙන් පිටස්තර පුද්ගලයන් විසින් මෙන්ම පෙම්වතුන් විසින් ද නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමෙන් සමාජයට මුහුණ දිය නොහැකිව සිය දිවි නසාගත් දැරියන් සහ කාන්තාවන් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් ද ඒ අතර වේ. එවැනි අපරාධ වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක්ව කටයුතු කරයි. එමඟින් එවැනි ඡායාරූප සංසරණය වීම වැළැක්වීමට සහ අපාරධකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ. දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය අනුව අවුරුදු 18ට අඩු ගැහැනු ළමයකු හෝ පිරිමි ළමයකු අපහසුතාවට පත්වන ආකාරයේ ඔහුගේ හෝ ඇයගේ ඡායාරූපයක් ළඟ තබාගැනීම, බෙදා හැරීම වසර 2-10ත් අතර කාලයක් සිරදඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බව නීතිඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන් සහ ළමුන් ලිංගික හිංසනයට, අතවරයට ලක්වීමේ සිදුවීම් වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද විශේෂ සැලකිල්ලකින් කටයුතු කරයි. 2023 වසරේදී පොදු ප්‍රවාහන සේවය තුළදී ලිංගික අතවර පිළිබඳ සිදුවීම් 317ක් වාර්තා වී ඇති අතර, 2024 වසරේ ජනවාරි පළමු වැනිදා සිට ජුනි 30 දක්වා පමණක් දිවයින පුරා පොලිස් කොට්ඨාස 46කට ඒ සම්බන්ධ පැමිණිලි 249ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා අපයෝජන විමර්ශන හා නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවැසුවාය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් පොදු ප්‍රවාහන සේවය තුළදී සිදුවෙන ඕනෑම හිංසනයක් පිළිබඳව වීඩියෝ/ඡායාරූප දර්ශන ද සමඟ දැනුම් දීමට වට්ස්ඇප් පහසුකම සහිත 071-8595443 දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ එවැනි අතවර වළක්වා ගැනීමේ අරමුණිනි. ඊට අමතරව ළමුන්ට හා කාන්තාවන්ට සිදු වන සියලු ආකාරයේ හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 109 කෙටි දුරකතන අංකය ද පැය 24 පුරා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා අපයෝජන විමර්ශන හා නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය. ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.
“කාන්තාවන්ට සිදුවන සියලු හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සෑම පොලිස් ස්ථානයකම පිහිටා ඇති ළමා හා කාන්තා කාර්යාංශ වෙනම අංශයක් ලෙස මේ වන විට ප්‍රතිසංවිධානය කර පිහිටුවා තිබෙනවා. ඒ නිසා කාන්තාවන්ට සියලුම ආකාරයේ හිංසන ගැන තමන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා වන පරිදි පැමිණිලි කළ හැකි පසුබිම සකසා තිබෙනවා.”
කාන්තාවන්ගේ වගකීම
නීතිය ශක්තිමත් වුවද එයින් නිසි ප්‍රතිඵල ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුම්වත් භාවය ද අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් කාන්තා හිංසන වළක්වා ගැනීමට කාන්තාවන්ට තිබෙන වගකීම පිළිබඳව නීතිඥ සජීවනී අබේකෝන් මෙසේ අවධාරණය කළාය.
” අවධාරණය කළ යුතු විශේෂම කරුණ කිසිදු ආකාරයේ කාන්තා හිංසනයකදී වින්දිත කාන්තාව බියෙන් සහ ලැජ්ජාවෙන් මුළු ගැන්වී සිටිය යුතු නැහැ. හිංසනයට එරෙහි වීම සහ සාධාරණය පතා නීතිය ඉදිරියට යෑමට කාන්තාවගේ අයිතියක්. සියලු ආකාර හිංසන වැළැක්වීමටත් වැරැදි කරුවන්ට දඬුවම් ලබා දීමටත් කාන්තාවන්ගේ සහාය අත්‍යවශ්‍යයි. නඩු කටයුතුවලට වියදම් කිරීමට සවියක් නැති අඩු ආදායම්ලාභී කාන්තාවකට වුවත් අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති නීති ආධාර කොමිෂන් සභාව මඟින් නොමිලේ නීති සහාය ලබාගත හැකියි. එවැනි නීති ආධාර කොමිෂන් සභාවේ ශාඛා 84ක් රට පුරා පිහිටා තිබෙනවා. ජාතික කාන්තා කමිටුවේ 1938 කාන්තා උපකාරක සේවයට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 උපකාරක සේවාවට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, අසාධාරණකම්, වෙනස් කොට සැලකීම් සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලිංගික අතවර සහ සයිබර් අපරාධ ඇතුළු සියලු ආකාර පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්කුව යටතේ පිහිටා ඇති පරිගණක සහ සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකකයටත් ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඊට අමතරව වින්දිත කාන්තාවකට පොලිසිය, අධිකරණ වැනි ස්ථානයකදී රාජ්‍ය නිලධාරීන් අතින් යම් අකටයුත්තක් සිදු වනවා නම් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමේ අවස්ථාවත් තිබෙනවා.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්