දේශපාලනය සදහා කේන්ද්‍ර දෙකක් ඇත්තේය. පුද්ගලයානුබද්ධ සහ ප්‍රතිපත්ති යන මේ ද්වි කේන්ද්‍රය සඳහා අවශ්‍ය තුලිතභාවය සපයන්නේ මහජන කැමැත්ත සහ විනිවිදභාවයය. අපේ රටේ දේශපාලනයේ පුද්ගලයානුබද්ධ සාධකය දෝරේ ගියේ නායකයා කරේ තියාගත් දේශපාලනයකට අප කලක් තිස්සේම හුරුවූ නිසාය. නායකයාගේ සෑම දෙයක් සඳහා එහෙමයි යන වහර යෙදවීමට වටේ සිටින කණ්ඩායම පුරුදු පුහුණු වූ කල, නිර්මාණය වන්නේ ප්‍රංශයේ ලුවී රාජ පන්නයේ ආණ්ඩුවක් මිස නූතන නියෝජිත ප්රජාතන්ත්රවාදයේ රාජ්‍යයක් නොවේ.
ප්‍රංශයේ රජ වූ දහසය වෙනි ලුවී තම සම්පූර්ණ බල ආධිපත්‍ය, ස්වයං විධානයට අනුකූල කර ගත්තේය. හෙතෙම ක්‍රියාකරන ලද්දේ ‘තම සිතැඟි’ යන්න ආණ්ඩුකරණය බවට පත් කරගෙනය. ඒ ආකාරයේ රාජ්‍ය පාලනයකදී, විමසීමක් කළ නොහැක්කේය. රජා සිතන දේ ක්‍රියාත්මක කරන නිලධාරි වළල්ලක් මිස අන් කිසිවක්, මෙවන් රාජ්‍යයක් සඳහා අවශ්‍ය ද නැත.
1643 සිට 1715 දක්වා ප්‍රංශයේ රජකම් කළ ලුවීගේ පාලන ක්‍රමය හැඳින්විය හැක්කේ, අසීමිත රාජකීය බලතල සහිත පාලන ක්‍රමයක් ලෙසය. රජු සතු ඒ සා මහත් බල පරාක්‍රමය සඳහා කිසිදු තුලිතකරණයක් එවකට ප්‍රංශයේ නොතිබුණි.
ජනතා අවශ්‍යතා ආදිය සඳහා නොව ස්වමතය සඳහා අතදිග හැර ඔහු ගත් තීරණ හේතුවෙන් එරට ආණ්ඩුව යනු ලුවීගේ කැමැත්ත විය. “රාජ්‍ය යනු මමයි” ලෙස හෙතෙම උදම් අනන ලද්දේ මේ හේතුවෙනි.
රාජාණ්ඩු ක්‍රමය තුළ, ලූවී සිය ක්‍රියාන්විතය දියත් කළේය. එ් වනාහි නිදහස් අදහස් නොතිබූ වහල් චින්තනය පැවති කාල පරිච්ඡේදයක් හෙයින් ලුවීගේ ක්‍රියා පිළිවෙතේ යම් සාධාරණයක් ද තිබිණි. එහෙව් කාලයක් නොවන මේ සියවසේ පවා ලුවී හොල්මන් කරන්නේ නම්, ඒ සඳහා කිසිදු සාධාරණයක් ගොනු කළ නොහැක්කේය.
ජනතා නියෝජිතයා සහ රජා අතර වෙනසක් ඇත්තේය. රජා යනු පරම්පරා උරුමයකි. එසේම දෙවියන්ගේ කැමැත්තය. වත්මන් පාලක තෙමේ යනු මේ දෙක කරණ කොටගෙන උපන් අයෙක් නොවේ. හෙතෙම ජනතා කැමැත්ත මත හැසිරිය යුතුයි. ඒ සඳහා කාලසීමාවක් ද ඇත්තේය. එවන් සමහරෙක්ගේ හැසිරීම ලුවී පසුපස යෑම නම්, එතැන් සිට අර්බුදය පෙරට එන්නේය.
මේ රටේ විදෙස් සේවය උදාහරණයකට ගෙන මෙම මාතෘකාව සාකච්ඡාවට ගත හැකිය. රටක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර යනු වරදානයක් නොවේ. ඕනෑම තනතුරක වරදාන ස්වරූපයක් ඇත්තේ වුවද එය ලැබිය යුත්තේ අදාළ සුදුසුකම මත මිස වෙනත් ඇයිහොඳැයිකම් මත නොවේ. ශ්‍රී ලංකාවේ විදේශ සේවය පිළිබඳව එමට ගැටලු ඇත්තේය. තානාපති සේවය සඳහා යනු ලබන්නා ගල් බංගලාවක සැඟව සිටින්නෙක් නොවේ. හෙතෙම සිය දේශය වෙනුවෙන් මහා මෙහෙවරක නිරත විය යුත්තේය.
මේ රටේ තානාපති සේවයේ යෙදෙන සමහරුන් වසර ගණනක සැපය ගැන සිතා මිස රටේ නාමය වෙනුවෙන් එම රැකියාවට යන්නේම නැති තරම්ය.
විදෙස් සේවය සඳහා සිය දේශපාලන හිතවතුන් යෙදවීම දේශපාලන උපායක් බවට මේ රටේ පත්ව ඇති හෙයින් අපගේ විදෙස් සේවය අල්ලස් ප්‍රදානයක් වී අවසානය. පළමු කොට නෑ සිය පිරිවර සඳහා සැලකීමය. සිය දුවා පුතුන් හට ඇමැති මැති පියවරුන් වෙත දිය හැකි නොමඳ ධනය ලෙස මේ ආකාරයේ තානාපති තනතුරක් ලබා දිය හැකිය. එයට ඇති උපරිම සුදුසුකම ඥාතිත්වය පමණය. මේ රටේ තබා ගැනීමට බැරි තරමට නොහොබී වන මැති ඇමැති දරුවා, ඒ ආකාරයේ තනතුරක එල්ලා, රට පැටවීම එම පවුලේ යහපත උදෙසා අගනා වුවද මේ රටේ ජනයාගේ මුදලින් ඒ ආකාරයට ගැටලු කළමනාකරණය රටට අහේනියක් ගෙන දෙන්නේය. ඒ යන කෙනා වෙත ලැබෙන පැකේජය ප්‍රකාරව, එරට පාසල් සඳහා දරුවන් යැවීම ඇතුළු වරප්‍රසාද රාශියක් හිමිය. එසේ වුවද මේ රටේ පාලනය සදහා එයින් වැඩක් සිද්ද වන්නේම නැත. ඡන්දය ඉල්ලා පැරදුණු අය සහ නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකිවූ අයගේ සිත් සෑදීම වෙනුවෙන් ද විදෙස් සේවයට පුටු වෙන් කිරීමේ චාරිත්‍රයක් මේ රටේ විය.
සමහර දේශපාලන පක්ෂ සන්ධානගත වන විට ලබාදෙන ඉල්ලීම් සඳහා මැතිවරණයට තරග කිරීමේදී ලබාදෙන ආසන සංඛ්‍යාව, ජාතික ලැයිස්තුව සඳහා ලබා දෙන ආසන ප්‍රමාණයට අමතරව විදෙස් සේවය සඳහා ද ගණන් සංඛ්‍යාවක් ඇතුළත් කරන තරමට මේ ව්‍යාධිය දරුණු වී ඇත්තේය.
පක්ෂ සඳහා ලබා දෙන අල්ලසක් සේ එක් වරක ද පක්ෂයෙන් පිට පැනීම සඳහා යන අයවලුන් සැනසීම පිණිස එම පවුලට දෙන තෑග්ගක් ලෙසද තවත් වරක බා ගන්නා මන්ත්‍රීවරුන් ගේ සිත සුව පිණිස එම පවුලට දෙන ප්‍රදානයක් ලෙස ද විදෙස් සේවා පත්වීම් ක්‍රියා කරන කල්හි මේ රටේ විදෙස් සේවය මුළුමනින්ම වසා දැමුවේ වුවද ඉන් රටට ලාභයක් මිස අයහපතක් සිදු නොවනු ඇත. ඉහත කී පරිදි පත්වීම් ලද පිරිස ඒ රටට ගියා කියා, මේ රට වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු නොකරන්නේය. විදෙස් සේවයේ සිටින සුදුසුකම් සහිත පිරිස ද වැඩක් නැති රටවල් සඳහාම පිටත් කර යවන හෙයින් මේ රටේ විදෙස් සේවා බල ඇණියේ දක්ෂයන් රැඳෙන්නේ නැත.
මෙතුවක් කල් මෙරට විදෙස් සේවය ධාවනය වූයේ එම මංතීරුවේය. එයින් මිදෙන මංපෙත සඳහා දැන් කාලය පැමිණ ඇත්තේය. රට වෙනුවෙන් වූ විදෙස් සේවයක් යනු අලුතෙන්ම ආරම්භ කළ යුත්තකි. රටේ අවශ්‍යතාවය ප්‍රකාරව, මිස හොර පාරෙන් නෑ සිය හිතවතුන් සැනසීම පිණිස මෙම සේවය අපහරණය නොකළ යුත්තේය. එක් අතකින් මාලිගා බඳු නිල නිවාස ලබා දෙන්නේය. ඒ සඳහා යන සියලු වියහියදම් දරන්නේ අපය. අනික් අතින් රථ වාහන පෙළපාලිය. මේ ගොන්න සඳහා ඒකරාශී වූ ජනතා විරෝධය දැන් ඵල දරා ඇත්තේය. නැසූ කන් ඇතිව පාලකයන් අනවරතව මේ සියල්ල සිදු කිරීමේ ප්‍රතිඵලය වූයේ ජනතාව ඒ සියලු දෙනා පැත්තකට කර අලුත් බලාපොරොත්තුවක් බලයට රැගෙන ඒමය.
එම බලාපොරොත්තුවේ එක් කාර්යයක් වන්නේ විදෙස් සේවයේ අලුත් පෙරළියය.