ජනාධිපතිවරණයෙන් සිදු වූ දේශපාලන පරිවර්තනය ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් සාධනීය පරිවර්තනයක් බව අප පිළිගත යුතුය. එය එක්තරා අන්දමකට ඉකුත් 2022 සමයේ ඇති වූ ජන අරගලයේ අභිලාෂ යම්තාක් දුරට ඉටුවීමකි.
1977 ආර්ථිකය විවෘත කිරීමත් සමඟ ගොඩනැඟුණු දේශපාලනික, ව්‍යාපාරික හා නිලධාරී ප්‍රභූ තන්ත්රයයේ බලය ගිලිහී යාමකි. එය ප්‍රභූ තන්ත්රයක් ලෙස හැඳින්වුවද, එක්තරා විදිහක මාෆියා තන්ත්රයකි. රාජ්‍ය දේපළ අවභාවිත කරමින් විශාල වශයෙන් ධනය ඉපැයීම මෙහි ප්‍රමුඛතම ලක්ෂණයකි. අනුග්‍රාහක දේශපාලනයක් නඩත්තු වීමෙන් විධායක ජනාධිපති ධුරයේ සිට පහළම ගම්මට්ටම දක්වා ව්‍යාප්ත වුණු බල සම්බන්ධතා ජාලයකි. සාම්ප්‍රදායික අර්ථයෙන් මාෆියා ප්‍රභූ තන්ත්රයක් ලෙස හැඳින්වීම වඩා සාධාරණය. ඊට එරෙහිව 2022 දී ජන නැඟිටීමත්, එකී ප්රකාශනයේම දිගුවක් ලෙස මෙම ප්රජාතන්ත්රවාදී බල හුවමාරුවත් සිදු වූ බව පැහැදිලිය. එනම් ලංකාවේ දේශපාලන පරිවර්තනයක් උදෙසා අවශ්‍යව තිබුණු මූලික පියවරක් ලෙස සැලකිය හැකිය. මෙයින් ලාංකේය දේශපාලන ආර්ථිකයේ හෝ විදේශීය සම්බන්ධතාවල මූලධාර්මික වෙනසක් සිදු නොවේ. එනම් ගැඹුරු රාජ්‍ය විප්ලවීය පරිවර්තනයක් විය නොහැකිය. එහෙත් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට, නිර්ප්‍රභූ ජනයාගේ අභිලාෂයන් සලකා බලමින් ප්රගතිශීලි පරිවර්තනයක් සිදුවනු ඇත. ජාතික ජන බලවේගය පිටුපස සිටින සංවිධානාත්මක බලවේගය ජවිපෙය. එය ඓතිහාසික වාමාංශික උරුමය සහිත ව්යපාරයකි. එබැවින් පසුගිය දශක කිහිපයක් තිස්සේ බිඳ වැටුණු අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය ආදී ක්ෂේත්රවල රාජ්‍ය සුබසාධන ආර්ථිකයේ යම්කිසි වර්ධනයක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.
බල පෙරළිය පිළිබඳ සැලකිය යුතු වෙනසක්
මෑතකාලීන පරිවර්තනය රාජ්‍යයේ ඉහළම තලයේ (විධායකයේ) සිදු වුව ද, මෙහි මාෆියා ප්‍රභූ තන්ත්රය ඉතා පහළ මට්ටම දක්වාම ව්‍යාප්තව පවතින දෙයකි. ඒ නිසා ම යම් සාධනීය පරිවර්තනයකදී විධායක බලය පමණක් ප්‍රමාණවත් නොවේ. පාර්ලිමේන්තු බලය වුව ද, ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පවතින පාලන ව්‍යුහයන් තුළ පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී වශයෙන් ගම්මට්ටමටම විහිදුණු බලව්‍යුහයන් තුළ මෙම බල පෙරළිය සිදුවිය යුතුය. දැනට පවත්නා සාධනීය ලක්ෂණයක් නම් 2005ට පසු රාජ්‍ය බලය ස්ථාපිත කරගත් රණකාමී සිංහල ජාතිකවාදී ව්‍යාපාරය (රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගත්) ව්‍යාපෘතිය මේවන විට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබීමය. එසේම එකී බල ව්‍යාපෘතියට පිටතින් සිට එක මොහොතක එම ව්‍යාපෘතියේම මධ්‍යයට පැමිණි දෘෂ්ටිවාදී කාර්යයක් ඉටු කළ අපේක්ෂකයන් වන විමල් වීරවංශ, චම්පික රණවක වැන්නන් මෙවර ඉදිරිපත් නොවීමම ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම ජාතිකවාදී කඳවුර නියෝජනය කොට පසුව රනිල් වික්‍රමසිංහට හේත්තු වුණු බොහෝදෙනෙකු ද, මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවේ. ඒ අනුව සාම්ප්‍රදායික දක්ෂණාංශික පක්ෂවල හිටපු බොහෝදෙනා මෙවර මැතිවරණ දේශපාලනයෙන් ඉවත්වී ඇත. ඒ නිසාම ඉදිරි මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ සැලකිය යුතු වෙනසක් සහිත බලපෙරළියක් බලාපොරොත්තු විය හැකිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය දෙස බැලුවිට ඉඟි කරන දේ අතිශය වැදගත්ය. අනුර දිසානායක ජනාධිපති සහෝදරයා, ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද ප්‍රතිශතය හා සලකා බැලූවිට ඇල්පිටිය ඡන්ද අඩුවීමක් දක්නට ලැබේ. එහිදී 50%ක ඡන්ද පදනමට ළඟා වීමට හැකිවී නැත. ඡන්ද කොට්ඨාස 17න් 15ක් ජයග්‍රහණය කළ ද, මිශ්‍ර සමානුපාතික ක්‍රමය තුළ කොට්ඨාස මට්ටමින් කොහොමත් ලැබෙන බැවින් පසුව ඡන්ද අනුපාතය අනුව ඉතිරි ටික බෙදී ගියේය. පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ක්‍රියාත්මක වන්නේ සමානුපාතික ක්‍රමය පමණකි. ඇල්පිටිය කලාපයට අදාළ කුල සාධකය, සාම්ප්‍රදායික දේශපාලනයේ හැඩගැසීම් ආදිය ද තිබියදී, සැලකිල්ලට ගත යුතු දේ තිබේ. එනම් ජනාධිපතිවරණයට වෙනස්ව පළාත් හා ප්රාදේශීයව මැතිවරණවල තියෙන අනුග්‍රාහක සම්බන්ධතාවයි. එය ප්‍රාදේශීය ඡන්දවලදී සක්‍රීය වීම දකින්නට හැකිය. කාලාන්තරයක් තිස්සේ සාම්ප්‍රදායික දේශපාලන නායකයන් එම ප්‍රදේශවල ගොඩනඟාගෙන සිටින බල ජාලය අභියෝගයට ලක්කිරීම අභියෝගයකි. ජාතික ජනබලවේගයට අභියෝගයක් විය හැකි, කිසියම් අනතුරු හැඟවීමක් එහි තිබේ. එනම් ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන්ගේ චර්යාව හා අනෙකුත් මැතිවරණවලදී ඡන්ද දායක චාර්යාව වෙනස් බව වටහා ගැනීමය. එය කෙතරම් ප්‍රබල ද යන්න තවමත් හඳුනාගැනීම අසීරුය.
ලංකාවේ දේශපාලන චර්යාවේ ස්වරූපය
1977 සිට ක්‍රියාත්මක දේශපාලන ක්‍රියාවලිය මෙන්ම මෙම දේශපාලන වාතාවරණය තුළ ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහමැතිවරණයකදී එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන පක්ෂයට මහමැතිවරණයේ ජය හිමි වීම අනිවාර්යය. එනම් ජනතාවගේ යම් රැල්ලක් පැමිණියේ නම් ඒ ආසන්නයේ මහමැතිවරණය තැබීමෙන් රැල්ල ඒ දෙසට හැමීම සිදු වේ. විශේෂයෙන්ම විපක්ෂයේ ඡන්ද දායකයන් යම් අධෙර්යයවත්වීමක් දක්නට ලැබෙයි. මේ නිසාම විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධානවල පවත්නා විශාලතම අභියෝගය නම් නම් තම ඡන්ද දායකයන් ඡන්ද පොළවල් කරා ගෙන්වා ගැනීමයි. එය බෙහෙවින්ම අසීරුය. ලංකාවේ දේශපාලන චර්යාවේ ස්වරූපය එවැනිය. එම ගැටලුව තදින්ම බලපානු ඇත්තේ එජාපයටයි. ජනාධිපතිවරණයේදී ඔවුනට 17%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද, එය රනිල් වික්‍රමසිංහට පුද්ගලික සාධකය හා සුළුතර වාර්ගික ඡන්ද පදනම මත පමණක් ලැබුණු දෙයකි.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී තරගයක් දෙන්නට හැකි බවට විශ්වාසයක් ඔහු නියෝජනය කළ කඳවුරේ අවසාන මොහොත දක්වාම පැවතිණි. එය මෙවැනි ඡන්ද ප්‍රතිශතයක් ලැබීමට බෙහෙවින් ඉවහල් විය. එහෙත් එකී සාධක කිසිවක් මෙම මැතිවරණයේදී වලංගු නොවන නිසා එජාපයේ ඡන්ද පදනම විශාල වශයෙන් සෝදා පාළුවකට ලක්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂයක ආත්ම විශ්වාසය බිංදුවටම බිඳවැටී ඇත. මේ නිසා ඔවුන්ගේ ඡන්ද දායකයන්ද ඡන්දපොළට කැඳවා ගැනීම අසීරුය. ඒ නිසාම පොදුජන පෙරමුණ වැනි පක්ෂවල බහුතරයකගේ ඡන්දය ප්‍රකාශ නොවීමට පවා ඉඩ තිබේ. ඒ නිසාම තවමත් දේශපාලන පිටියේ විශාලතම වාසිය ජාතික ජන බලවේගයට තිබෙන බව පිළිගත හැකිය. එහෙත් එය සංඛ්‍යාත්මකව කොයිතරම් ප්‍රබල වෙයිද යන්න තවමත් අවිනිශ්චිතය.
පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ලබා ගැනීම ජාතික ජන බලවේගයට එතරම් අභියෝගයක් නොවුව ද, ව්‍යවස්ථාමය වෙනසකට යාමට තරම් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම එතරම් පහසු දෙයක් නොවේ. 2010 වසරේ යුද්ධය ජයග්රහණයෙන් පසු මුළු රටම එහි ප්‍රීති ප්‍රමෝදයෙන් ගිලී සිටි මොහොතක පවා මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් තනි පක්ෂයක් ලෙස ස්ථාපිත කර ගැනීමට නොහැකි විය. විශේෂයෙන්ම ලංකාවේ පවතින සමානුපාතික ක්‍රමය තුළ එය කිසිසේත්ම පහසු අභියෝගයක් නොවේ. විපක්ෂයේ පක්ෂවල පවත්නා දුර්වලතාවත්, දක්ෂිණාංශික කඳවුරේ බෙදී වෙන්වීමත්, කුඩා කණ්ඩායම් මතුවීමත්, සුළුතර ජන කණ්ඩායම් වෙන වෙනම මැතිවරණයට තරග කිරීම නිසා මහමැතිවරණයේදී එජාපයට හෝ හෝ පොහොට්ටුවට වැඩි වාසියක් ලැබීමට කොහෙත්ම ඉඩක් නැත. ඒ නිසාම තවමත් ජාතික ජන බලවේගයට තම ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට හැකිය.
බහුතරයේ බලාපොරොත්තුව
අනෙක් අතට තවමත් ජනතා අභිලාෂයන් පවතින්නේ ජාතික ජන බලවේගය සමඟ බැව් කිව හැකිය. එය විශාල භාග්‍යයකි. නමුත් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම අභියෝගයකි. මන්ද යත් අනුග්‍රාහක දේශපාලනය සමඟ ගැට ගැසී ඇති බල සම්බන්ධතා ජාලය අතිශය බලවත් නිසාය. දේශපාලන ආර්ථිකය බලවත් නිසාය. එයින් වාසි ලබන දේශපාලකයන්, නිලධාරීන් මෙන්ම විවිධ ස්ථරවල විශාල කොටසක් සිටියි. වෙනසක් සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ එද්දී ශුද්‍ර තලයන් තුළින් විරෝධයන් මතු වීම, බාධා එල්ල වීම අහම්බයක් විය නොහැකිය. අනුර සහෝදරයාට හාල් ප්රශ්නය සම්බන්ධයෙන් මේ දිනවල පොරබදන්නට සිදුවීමෙන් පවා ගම්‍ය වන්නේ එයයි. නිදහස් වෙළෙඳපළක් පවතින බව කීව ද, එය යථාර්ථයක් නොවේ. මෙම නිදහස් යැයි කියන වෙළෙඳපළ හැකිළීමේ හැකියාව ඇති යම් බලවත් පුද්ගලයන් සිටීම එයට හේතුවයි. අනෙක් කාරණය නම් සැලකිය යුතු බහුතරයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද, එය පිටුපස මහජනයාගේ විශ්වාසනීය පරිවර්තනයක් සිදුවී ඇත්ද යන්නය. එය සැබවින්ම සැක සහිතය. ජනප්‍රිය දේශපාලන ආකල්පයක් සමඟ දේශපාලනිකව එකතු වුණු බව සැබෑ නමුත් අලුත් පාලනයේදී ඡන්දය ලබාදුන් බහුතරයක් බලාපොරොත්තු වන්නේ කුමක්ද, යන්න පිළිබඳ අවධානය යොමු විය යුතුය.
ආකල්පමය වෙනසක්
දූෂණය හා අක්‍රමිකතා වැළැක්වීම, අපරාධකරුවන් හෝ හොරුන් පාර්ලිමේන්තුවෙන් එළවා දැමීම වැනි කාරණාවන්ට පමණක් එය ලඝු කළ නොහැකිය. එතනින් ඔබ්බෙහි ඔවුන්ගේ ජීවිතවල යම් යම් අපේක්ෂා තිබේ. ඒ අපේක්ෂා හැඩගැසී ඇත්තේ පවතින පාරිභෝජනවාදී ජීවන ක්‍රමයත් සමඟමය. ජන සමාජයේ තාමත් බහුතරය මේ ධනවාදී පරිභෝජනවාදී රටාව හා ජීවන ක්‍රමය සමඟ එක්වූ පුද්ගල සාර්ථකත්වයේ ආකල්ප සමඟ බද්ධ වී සිටියි. ඒවා වෙනස් කිරීමට, එසේත් නොමැති නම් ඒ වෙනුවට ජාතික ජන බලවේගයේ සාමූහික සංවර්ධනය පිළිබඳ අදහස ජන සමාජය තුළට කැටුව යන්නට පුළුල් දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් අවශ්‍ය වනු ඇත. එවැනි දෘෂ්ටිවාදී පරිවර්තනයකින් තොරව ලැබුණු මේ බලය පවත්වා ගෙන යා නොහැකිය. ඒ සඳහා දැනට පවත්නා වාසිය නම් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ භාවිත කිරීමට පවත්නා හැකියාවයි.
රූපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය ආදීය භාවිත කරමින් කිසියම් ආකාරයේ සමාජ ආකල්පවල වෙනසක්, ජනතාවගේ ලෝක දැක්මෙහි වෙනසක් ඇති කිරීමේ දිගුකාලීන ව්‍යාපාරයක් තහවුරු කර ගනීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් ඉහළ සිට යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරද්දී ඒ සඳහා මහජන අනුමැතිය ලබා ගත නොහැකිය. නැතිනම් සහයෝගය සහ සක්‍රීය කැමැත්ත ගොඩනැංවීමේ අපහසුතා ඇතිවනු ඇත. අද දවසේ අවධානයට ලක්විය යුතු ප්‍රමුඛතම කාරණය එයයි.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර