අපි වෙනුවෙන් ඇත්තටම පෙනී ඉන්න, අපේ අයිතිය ගැන කතා කරන අය මේ දේශපාලනයේ නෑ
2024 පාර්ලිමේන්තු මහමැතිවරණය වඩා සුවිශේෂී වන එක් හේතුවක් වන්නේ මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථමවරට සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක්ද, මැතිවරණයට ඉදිරිපත් වී සිටීමයි. පසුගිය කාලයේ අරගල භූමියේ අරගලකාරියක ලෙස ක්‍රියාකාරීව සිටි ඇය නමින් චානු නිමේෂාය. ඇය මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ බැලුන් බෝලය ලකුණෙන් තරග කරන ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙනි. මේ ඇය හා කළ කතාබහකි.
ඔබ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ කොයි කාලෙද? මොන විදිහටද?
මං කුඩා කාලයේ හැදී වැඩුණේ ජවිපෙ කාර්යාලයක කීවොත් නිවරදියි. අපේ ගාල්ලෙ ගෙදර තිබුණේ දේශපාලන පක්ෂයක කාර්යාලයක්. 88-89 භීෂණ කාලයේදී මගේ තාත්තා ඝාතනයට ලක් වෙනවා. මමත් පහරකෑමකට ලක් වෙනවා. මේ දරුණු අත්දැකීමෙන් පසුව අපි නිහඬ වෙනවා. ඊට පස්සේ 1994දී තමා නැවත ක්‍රියාකාරී දේශපාලනයට එන්නෙ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ පක්ෂයේ තහනම ඉවත් කිරීමත් සමඟයි.
එහෙත් ඔබ මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන්නේ බැලුන් බෝලය සලකුණෙන්. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් ඒ ඇයි?
ඔව්. අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ සහෝදරයා. මං කවදාවත් කිසිම පක්ෂයක නිත්‍ය සාමාජිකයෙක් නෙවෙයි. මං ජවිපෙටත්, ජාතික ජන බලවේගයටත් අවශ්‍ය තැන්වලදී, ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවිය හැකි කාරණවලදී ඔවුන් සමඟ එකට හිටගත්තා. ඒත් මට හැමවෙලේම අවශ්‍ය වුණේ නිදහස් මතධාරිනියක් විදිහට වැඩ කරන්න. ජවිපෙ එක්ක පොදු වැඩවලදී එකට එකතු වෙලා වැඩ කරන්නට හැකිවුණා වගේම සමහර කාරණා සම්බන්ධයෙන් මං මගේ විවේචනයත් ඉදිරිපත් කළා. ඒ නිසා මේ මැතිවරණයට අදාළව මට ප්‍රතිපත්තිමය වශයෙන් මේ පක්ෂයෙන්, බැලුන් බෝලය සලකුණෙන් ඉදිරිපත් වෙන්න තීරණය කළා.
මොන තැන්වලදී ද, ඔබට ජවිපෙ හෝ ජාතික ජන බලවේගය සමග එකඟ නොවන අවස්ථා තිබුණේ?
ජවිපෙ 2004 දි පොදුජන පෙරමුණ සමඟ එක්වී සන්ධාන ආණ්ඩුවට යාම සම්බන්ධයෙන් මගේ කැමැත්තක් තිබුණේ නෑ. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂලා සමග එකතුවී දෙමළ ජනතාවට එරෙහි යුද්ධයට සහාය පළ කරද්දී මං ජවිපෙ ස්ථාවරයට විරුද්ධ වුණා. තමන්ගෙම රටේ මිනිස්සුන්ට එරෙහිව යුද්ධයක් කරන්න මෙන්ම එයට ආවඩන්නට කටයුතු කිරීම ඇත්තටම පිළිගත නොහැකියි.
එතකොට ඔබ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය සමඟ එකතු වෙන්නේ කොයි කාලෙද?
විටෙන් විට මහින්ද දේවගේ සහෝදරයා සමඟ විවිධ පොදු වැඩවලට එකතු වුණා. සෑහෙන කාලයක් තිස්සේ ඒ සහෝදරවරුන් අපි ඇසුරු කරනවා. විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර, විරෝධතාවලදී ඒ අයත් එක්ක පොදුවේ එකට එකතු වෙලා වැඩ කළා. ඒත් ඒ පක්ෂය සමග සමීප සම්බන්ධයක් හැදුණේ ඉතා මෑතකදී.
එතකොට ජවිපෙ නැවත ‘ජාතික ජන බලවේගය‘ ලෙස අලුත් විදිහකට සංවිධානයවී එද්දී ඔබ සම්බන්ධ වුණේ නැද්ද?
ජාතික ජන බලවේගයේ පළමුවෙනි සමුළුව තිබ්බෙ කෝට්ටේ. ඒකටත් මට ආරාධනා ලැබුණා. මං ගියා. පසුව අරගලවලට සම්බන්ධ වුණා. උද්ඝෝෂණවලට දායක වුණා. ඊට අමතරව එයාලගෙ දේශපාලන වේදිකාවල පවා කතා කරන්න ඉදිරිපත් වුණා. ඒ වුණාට ඒ අය මැතිවරණවලදී මට අවස්ථාවක් දෙන්න මැළි වුණා. මං ඉල්ලා සිටියත්, මට ඒ අවස්ථාව ලැබුණෙ නෑ.
ඔබ නියෝජනය කරන ප්‍රජාව එසේත් නැතිනම් “සංක්‍රාන්ති සමාජභාවී“ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෑතකාලයේ ජාතික ජන බලවේගයේ, පෙරටුගාමී පක්ෂයේ ආදී සංවිධානවල ප්‍රතිපත්ති ප්රකාශනවල ඉඩක් දීලා තියෙනවා. මීට කලින් එහෙම දේවල් ප්‍රතිපත්ති ප්රකාශනවලට ඇවිත් නෑ. ඔබ මේ තත්ත්වය දකින්නෙ මොන විදිහටද?
ඒක නම් රනිල් වික්‍රමසිංහලා කරපු දේම විතරයි. එතනින් එහාට ගිය යමක් දකින්න ලැබෙන්නෙ නෑ. වෙනත් විදිහකට කියනවා නම් මැතිවරණ වේදිකාවේ භාවිත කරපු ටූල් එකක්. මං එහෙම කියන්නේ අපි වගේ තමන්ගේ අනන්‍යතාව පෙන්නපු අයට ඒ කවුරුවත් අවස්ථාවක් දීල නෑ. ස්ත්‍රී සමරිසි අය, පුරුෂ සමරිසි අය මේ රටේ පාලකයෝ වුණා. පාර්ලිමේන්තුවෙ හිටියා. ඒත් ඒ කාටවත් ඒක ප්‍රසිද්ධියේ කියන්න කොන්ද පණ තිබුණේ නෑ. අදටත් නෑ. ඒත් තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින, අරගල කරන අපට එහෙම ලෝකයට පෙන්නන්න එක මූණකුයි අපටම පෙන්න ගන්න තව මූණකුයි නෑ. එහෙව් අපට එයාලා අවස්ථාවක් දෙන්නෙත් නෑ. තාමත් අපි වෙනුවෙන් ඇත්තටම පෙනී ඉන්න, අපේ අයිතිය ගැන කතා කරන අය මේ දේශපාලනයේ නෑ.
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය හැරුණු විට ඔබ LGBTQ ප්‍රජාව නියෝජනය කරන වෙනත් සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද?
LGBTQ ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන අය, ප්‍රජාවෙ අය එකතු කරගෙන අපි සංවිධානයක් ගොඩනඟාගෙන තියෙනවා. “විවිධත්වය සඳහා වූ මහජන කවුන්සිලය“ නමින් පවත්වාගෙන යන එහි විවිධ දේශපාලන මත දරන අය ඉන්නවා. ඒත් ඒක එන්.ජී.ඕ එකක් නෙවෙයි. ලංකාවේ සියලුම ආන්තිකකරණය වූ ප්‍රජාවන් වෙනුවෙන් තමා අපි එකතු වෙලා ඉන්නෙ. එතැන දැනට හතළිහක් විතර ඉන්නවා. ඒ වගේම රටේ පොදු ජනතාවගේ පොදු ප්රශ්නවලදී අපි එ් හැමෝමත් එක්ව එකට හිටගන්නවා. උදාහරණයක් විදිහට 2022 දී සිද්ධ වුණු ජන අරගලයේදීත්, මං සෑහෙන්න මැදිහත්වීමක් කළා. මේ ව්‍යාපාරය තුළ ධුරවලි නෑ. තනතුරු නෑ. සියලුදෙනා එකතු වෙලා වැඩි ඡන්දයෙන් තීරණ ගන්නවා. අර ගෝල්ෆේස් මූලික කරගත් ජනතා අරගලය වගේම තමයි.
‘බලය දියවන්නාවෙන් එළියට‘ කියලා මහජන ව්‍යාපාර හැටියට විකල්ප බල කේන්ද්‍රයක් හදන්න යෝජනා කරන අතරේම දියවන්නාවටම යන්න දරන උත්සාහයම ද ඔබටත් තියෙන්නේ?
මේ ලෝකය ලිබරල් ලෝකයක්නෙ. අපි ඉන්නෙත් මේ සමාජය තුළමනේ. එතකොට අපට මේ විප්ලවීය වෙනස කරන්න වෙන්නේ මේකෙ ඉඳලා, මේ බල ව්‍යුහයන් ඇතුළෙන්ම තමයි. මේ ධනවාදී අර්බුදය තුළ අපට ඒ තුළම කළ යුතු වැඩ කොටසක් තියෙනවා. අර්බුදය තීව්ර වෙද්දී ජනතාවට සිදුවන ගැහැට, පීඩාවන් සම්බන්ධයෙන් හඬ නැඟීමට අපි පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. වෙන විදිහකට කියනවා නම් පාර්ලිමේන්තුවෙන් එළියේ කළ යුතු වැඩ කොටසක් තියෙනව වගේම ඇතුළෙත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා.
පවතින ක්‍රමය තුළම ඒ බල ව්‍යුහයන් ඇතුළෙත් නියෝජනය කිරීමකින් තොරව මේ ක්‍රමය වෙනස් කරන්න බෑ කියන එක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති විදිහට පවතින බල ධූරාවලියේ ඉහළම තැන නියෝජනය කිරීම කියන එකත්, ඒ අර්ථයෙන් වැරදි නෑ නේද?
මේ අය යන්නෙත් රනිල් ගිය පාරෙමයි කියන එකයි මට තියෙන විරෝධය. මං පහුගිය කාලෙ කරපු වීඩියෝවකින් අනුර සහෝදරයට බරපතළ විදිහට චෝදනා කළා. දැන් එයා බලයට ඇවිත් මාසයකට වැඩියි. මේ රටේ මිනිස්සුන්ගෙන් 48%ක් විතර ඉන්නේ තුන්වේල කන්න බැරි ජනතාවක්. මිනිස්සු තව තවත් දරිද්‍රතාවට පත්වෙමින් ඉන්නවා. මෙතැන තියෙන්නෙ බදු පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. වෙළෙඳ මාෆියාව පිළිබඳ ප්‍රශ්නයක්. ලොකු ලූනු කිලෝව 140ට ගෙනත් 300ට විකුණනවා. ඒ ලාභය ගොවියට යනව නම් කමක් නෑ. ගොවියටත් නෑ. පාරිභෝගික ජනතාවටත් නෑ. නුවරඑළියෙන් කිලෝව රු. 80ට 90ට එළවළු ගෙනත්, මෙහෙ රු. 300ට 400ට විකුණනවා. අතරමැදියෙක් මහා පරිමාණයෙන් ගසා කනවා. අතරමැද ප්‍රවාහනය වගේ දේවලට යම් වියදමක් අයින් කරන්න ඕන තමයි. ඒ වියදම්, තමන්ට යම් ලාභයක් ඒ සියල්ල අයින් කරලත්, මෙච්චර මිල වැඩිවීමක් වෙන්න බෑ. මේක පාලනය කරගන්න බැරිව වෙන මොනවත් කතා කරලා වැඩක් නෑ.
ඔබ කියන්නේ මාසයක් ඇතුළත දැනට කරමින් තියෙන වැඩ කොටසට වඩා වැඩි වැඩ කොටසක් කරන්න හැකියාව තිබුණා කියල ද?
අනිවාර්යයෙන්ම. පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. ඒක පුද්ගලික ආයතනයක් නෙවෙයිනෙ. ඒක රජයේ මැදිහත්වීමෙන් වෙළෙඳපොළ පාලනය කරන්න තියෙන රාජ්‍ය යන්ත්‍රණය. ඉතින් ඒකෙන් මොකුත් වැඩක් ගන්නෙ නෑනෙ. ඒකත් එක්ක කතා කරලා මැදිහත් වෙන්නෙ නැතිව කළු කඩකාරයන්ට, ඒ අයගේ මාෆියාවට ඉඩ දෙන්නෙ ඇයි? කැරට් කිලෝවක් රු. 400ට විකුණුවට කමක් නෑ, ඒකෙන් 300ක් වත් ගොවියට යනව නම්. ඒක පාලනය කරන්න පුළුවන්. කවුරු හරි බෑ කියනව නම් අපි කරලා පෙන්වන්නම්. හැබැයි ඒකට ඒ බලය අපට දෙන්න ඕන.
දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහට ඔබට පාර්ලිමේන්තු යන්න ලැබුණොත් තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන්න ඕන. කොහොමත් අපි ඒක අරගලයේදීත් මතු කරපු කාරණයක්. අදට ගැළපෙන්නෙ නැති පැරණි නීති රීති අනිවාර්යයෙන්ම අහෝසි කරන්න ඕන. සමහර ඒවා සංශෝධනය වෙන්න ඕන. මොකද ඒ බොහොමයක් තියෙන්නෙ අපි වගේ අයට මනුෂ්‍යයන් හැටියට සලකන්න නෙවෙයි. ඒත් එහෙම නීති වෙනස් කරා කියලා අපේ ප්‍රජාවට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙන්නෙ නෑ. තමන් අකමැති මිනිසුන්ව පිළිකුල් කරන, තමන් කැමති විදිහට අනිත් අයත් ඉන්න ඕන කියලා හිතන ගෝත්‍රික යුගයේ මිනිසුන් සිටින, පසුගාමී සමාජයක් වෙනස් කරන්න ලේසි නෑ. ඒ නිසා අපව ආන්තිකකරණය වීම කොහොමත් නවත්වන්න බෑ. ඒ ටික සකස් කර ගන්න දීර්ඝකාලීනව අවුරුදු 25ක විතර යයි. කෙටිකාලීනව කළ යුතු කාර්යයන් ටිකකුත් තියෙනවා. අපේ වැඩිපුර සේවය කරන්නේ මසාජ් සෙන්ටර්, ලිංගික ශ්‍රමිකයන් ලෙස වැනි ඒ තරම් පිළිගැනීමක් නැති ක්ෂේත්රවල. ඒ අයගේ ජීවන තත්ත්වය හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ක්‍රියා කළ යුතුයි. මොකද ඉතාම සුළු පිරිසක් තමා ඉගෙන ගෙන සමාජයේ යම් පිළිගැනීම් තියෙන රැකියා කරන්නෙ. බහුතරයක් වතුවල, මුඩුක්කු පරිසරයක සිටින අයයි. ඒ නිසා ඒ අයට තම පැවැත්ම, වෘත්තීය වෙනස් කළ හැකි අධ්‍යාපනයක්, වෘත්තීය පුහුණුවක් ලබා දිය යුතුයි. සමාජයට වැඩදායි මානව සම්පතක් ලෙස ඔවුන් ගොඩනැඟිය යුතුයි. මට මන්ත්‍රී ධුරයක් ලැබුණොත්, ඒ අයත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ ආධාර උපකාරවලින් අපේ ප්‍රජාවේ පිරිසගේ ජීවන තත්ත්වය උසස් කරන්න, ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය දීලා වඩාත් වැඩදායි ලෙස රටට යම් සේවයක් කරන්න හැකි පරිදි පුහුණවක් දෙන්න, නොමග ගිය අය සිටී නම් ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න වෙනම නිදහස් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර