Home » සාගරට නාලකගෙන් දෝස්මුරයක්

සාගරට නාලකගෙන් දෝස්මුරයක්

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

පාර්ලිමේන්තු මහමැතිවරණයට තවත් ඇත්තේ දින 11ක් පමණි. ඡන්ද ව්‍යාපාරයේ අවසන් දින කිහිපය තුළ මැතිවරණ වේදිකා බොහෝ උණුසුම් වී ඇත්තේ එකිනෙකාට කර ගන්නා විවිධ චෝදනා නිසාය.

මාලිමාවට එල්ල කළ චෝදනා බොරු

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ, රට ගැන හිතන, රටට ආදරය කරන පුද්ගලයන්ගෙන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනපති අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළේ, ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය කළුතර, බේරුවල සංවිධාන කර තිබූ ජන රැලිය පසුගියදා (27) අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ රට ගැන හිතන පුද්ගලයන්ගෙන්

“විරුද්ධ පාර්ශ්වයන් වේදිකාවල හඬ නඟනවා. පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියලා. හොරා කෑම පුරුදු, නීති විරෝධී වැඩකර පුරුදු, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, පිහි අරගෙන ආපු, අසභ්‍ය වචන කතා කරන, වැරදි තීරණවලට අත එසවීමේ හොඳ පුරුද්දක් තිබෙන, ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීමට පළපුරුද්ද තිබෙන, කාර් පර්මිට්, බාර් පර්මිට් ගැනීමේ පුරුදු තිබෙන අය තමයි නැවතත් එවන්න කියන්නේ. අපි කියන්නේ මේ සැරේ පාර්ලිමේන්තුව අලුත් අයගෙන් පුරවන්න ඕනෑ කියලයි.

මේ රටේ දේශපාලනය යහපත් පැත්තට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ඒ මන්ත්‍රී බලය උපයෝගී කරගෙන ධනය උපයනවා. ඉඩකඩම් මෙන්ම කොළඹින් ගෙවල් හතරක් පහක් මිලදී ගන්නවා. දේශපාලනය එයාලට මුදල් ඉපයීමේ මාර්ගයක්. එයාලගේ දේශපාලනයේදී යම් යම් ව්‍යාපෘති තෝරා ගන්නේ රටට කොතරම් වැදගත්ද යන්න සොයා බලා නොවෙයි. තමන්ට කොතරම් කොමිස් මුදලක් ලැබෙනවාද යන එකඟතාව මතයි. මේ නිසාම අපේ රටට පිරිසුදු ආයෝජකයන් එන්නේ නැහැ.

අපි මේවා වෙනස් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්න සෞඛ්‍ය ඇමැති ආදායම් උපයන්න බෙහෙත්වලින් සොරකම් කරනවා. ධීවර ඇමැති චීනෙන්, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩදාන්න අවසර දෙනවා. ගාණකුත් ගන්නවා. තමන්ට ලැබෙන මුදලේ වාසිය බලාගෙන බාල පොහොර ගෙන්වනවා. ඉන්ධන සාධාරණ මිලට ගන්නවා වෙනුවට වැඩි මිලට ගන්නවා.

හොඳ විදුලි බලාගාර ගලවාගෙන යනවා. අලුතින් හදන්නේ නැහැ. අහිතකර ගිවිසුම්වලට අත්සන් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්නා විට රටේ ජනතාව පීඩාවට පත්වෙනවා. මේ තත්ත්වය අවසන් කරන්න නම්, මේ දේශපාලන බිස්නස් එක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය අපි මුල පුරා තිබෙන්නේ ඒකට. හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් කරන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගොඩක් දේවල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදිහට පහසුකම් සපයා දෙනවා. ආණ්ඩුවෙන් දෙන ඕනෑම දීමනාවක් තමන්ගේ ගිණුමකට එවන්න සලස්වනවා. ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හැකි කාර්යක්ෂමතාවක් හදන්න ඕනෑ. අපි කෙටි කාලයකින් පුරවැසියන්ට කරදර නොවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආරම්භ කරනවා.“

හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි

“ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. සිදුකර ඇති වංචා, දූෂණ විමර්ශනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කිරීමට තිබෙන ෆයිල්, සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේත්, සමහර ෆයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් තිබෙනවා. ඒ සියලුම ෆයිල් විවෘත කර, අදාළ වැඩකටයුතු කරනවා. ඒ වැඩකටයුතු කළ හැකි නිලධාරීන් අපි පත් කර තිබෙනවා. ඒ කාර්යය කරගෙන යෑම නිලධාරීන්ගේ වැඩක්. අපේ වැඩේ තමයි ඒ නිලධාරීන්ට සහාය දෙන එක. උපදෙස් දෙන එක. ඒ පරීක්ෂණ ආරම්භ කරන්න. අපරාධ පරීක්ෂණ කළ හැකි දක්ෂතම නිලධාරීන් ක්‍රමානුකූලව පත් කරමින් තිබෙනවා. මහමැතිවරණයෙන් පසුව අපි කැබිනට් මණ්ඩලය හදනවා. එය 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක්. ඒකට අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. ඊට පසුව මේ රට ගොඩනැඟීමට ක්‍රමානුකූලව සැලසුම් සකස් කරනවා….. “ යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ඇල්පිටියේ මොකද වුණේ?

රටේම අවධානය යොමුව තිබුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කෙරෙහිය. ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය ලබා මසක් ගතවන විට පවත්වන මැතිවරණයක් හෙයින් මාලිමාවට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි ද අනෙක් පක්ෂ සෝදා පාළුවට ලක්වනු ඇතැයි ද පුරෝකථනය වෙමින් තිබිණි. විශේෂයෙන්ම අතීතයේ පටන් ඇල්පිටිය ජනතා විමුක්ති පෙරමුණ බල කඳවුරක්ව පැවතීම එයට එක් හේතුවක් විය.

“ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වෙලාවේ රැල්ල තියෙන්නේ මාලිමාවටයි. ඒත් අපි සටන අතහරින්න හොඳ නෑ.” සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක ගයන්ත කරුණාතිලක තමන්ගේ හිතවතුන් සමඟ කියා සිටියේ එහෙම කතාවකි.

“මට නම් ඒ පැත්තේ යන්නවත් බැරි වුණා” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් එහෙම කිව්වේ කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සමගය.

“ඔව් අයියේ ඡන්දෙ හින්දා මමත් කොහේවත් ගියේ නෑ” සංජීව එදිරිමාන්න පිළිතුරු වශයෙන් කීවේය.

ඒ අනුව ඇල්පිටියේ තිබුණේ තනි අශ්වයකුගේ රේස් එකකි. එහෙත් ප්‍රතිඵලවලින් කියැවුණේ වෙනත් කතාවකි. මාලිමාවට මන්ත්‍රී ධුර 15ක් ලැබෙන විට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ ආසන 15ක් ලැබී තිබිණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කොට්ඨාස 17කින් සමන්විත වන අතර ඉන් 15ක බලය මාලිමාවට හිමිවීම කැපී පෙනේ.

125ක් ගන්නේ කවුද?

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය වන්නේ ජනාධිපතිවරණයේ දී මාලිමාව ලබාගත් ඡන්ද ප්‍රමාණය හා සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමය.

“සහෝදරයා ඇල්පිටියෙ ප්‍රතිඵලය මදියි වගේ නේද? අනුරාධපුරයේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නියැළී සිටින අතරතුර මාලිමාවේ අනුරාධපුර දිස්ත්‍රීක් නායක වසන්ත සමරසිංහගෙන් එසේ විමසුවේ පක්ෂයේ කාඩර්වරයෙකි.

“අපේ ජයග්‍රහණයත් එක්ක මිනිසුන්ගේ උනන්දුව අඩු වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් ඇල්පිටියේ ප්‍රතිඵලය අනුව මහ මැතිවරණයක දී අපිට ආසන 125 කට වඩා ගන්න පුළුවන් කියලා පේනවා” වසන්ත සමරසිංහ පිළිතුරු වශයෙන් කියා සිටියේය.

මාලිමාවෙන් ප්‍රබල කමිටු

හිටපු කථානායක කරු ජයසූරිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් ජනසභා කමිටු නිර්මාණය කළේය. නමුත් අලුත් ආණ්ඩුව ඒ ජනසභා කමිටු මේ වන විට විසුරුවා ඇති අතර ඒ වෙනුවට සෑම ග්‍රාමසේවා වසමකම ජාජබ පුරවැසි කමිටු නමින් අලුත් සංවිධාන ව්‍යුහයක් ගොඩනැඟීමට සූදානම් වේ. ග්‍රාම නිලධාරී වසම් 2ක් හෝ 3ක් එකමුතුව පිහිටුවා ඇති ජාජබ කොට්ඨාස සභා අහෝසි කොට එක් එක් ග්‍රාම නිලධාරී වසමකට බලපාන පරිදි මෙම ජාජබ පුරවැසි කමිටු ඇති කෙරේ. මෙම පුරවැසි කමිටුවලට පාර්ලිමේන්තුව අධීක්ෂණය කිරීමේ බලයක් ලබාදීමටත් එමගින් අදාළ ග්‍රාම නිලධාරී වසමේ සමාජ සංස්කෘතික හා ආර්ථික කටයුතු පිළිබඳ අදහස් පාර්ලිමේන්තුවට යොමු කිරීමටත් බලය ලබා දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජාජබ ප්‍රබලයකු පැවසුවේ සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ 1970/77 යුගයේ ලංකා සමසමාජ පක්ෂයේ යෝජනාවක් පරිදි ජනතා කමිටු නමින් කමිටු වර්ගයක් පිහිට වූ බවයි. ඒ කමිටුවලට රාජ්‍ය ආයතනවලට ගොස් පරීක්ෂා කිරීමේ බලයක් තිබී ඇත. සමගි පෙරමුණ ආණ්ඩුව ශ්‍රීලනිපය, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය එකතුව සකස් වූවක් බැවින් සම සමාජයේ මේ වැඩවලට ශ්‍රී ලනිපය හා කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ අවුරුද්දක් ඇතුළත එකී කමිටු අහෝසි වීමයි.

සෙනඟ වැඩි වී බියවෙලා

පසුගිය දිනක යටිනුවර ඉසුරු ශාලාවේ පැවැති ජනහමුවකදී ජාජබ විධායක මණ්ඩල සභික ලාල්කාන්ත පවසා ඇත්තේ ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මිස තුනෙන් දෙකක් අවශ්‍ය නැති බවයි. මේ අවස්ථාවට විශාල ජන සහභාගිත්වයක් තිබී ඇති අතර එය කොතෙක්ද යත් උඩ තට්ටුව කඩාගෙන වැටේ යැයි බිය වූ මිනිස්සු පහළට බැස්ස බව පැවැසේ. “මේ ආණ්ඩුව ජනාධිපති බලයෙන් තමයි දුවන්නේ. පාර්ලිමේන්තු බලයක් ගන්න ඕන. ඒ පාර්ලිමේන්තු බලය ගන්නකම් මුකුත් කරන්න ‌බෑ. අණපනත් නීති ගේනකම් මුකුත් කරන්න බෑ ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න” යනුවෙන්ද පැමිණ සිටි පිරිස අමතමින් ලාල් කාන්ත පවසා තිබේ.

සාගරට එරෙහිව පැමිණිලි

නාමයෝජනා පත්‍ර සකස් කරගෙන දිස්ත්‍රීක් නායකයන් පොදුජන පෙරමුණේ කාර්යාලයට රැගෙන ගිය පසු මහලේකම් සාගර කාරියවසම් ඒවා භාර නොගෙන කාර්යාලයේ සිටින ලිපිකරුවන් ගණකාධිකාරීවරුන්, දිස්ත්‍රික් නායකයන් ලෙස පත් කරන බවට මාතලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ කියයි. සාගර තමන්ට නාමයෝජනා පත්‍රයක් හදාගෙන එන ලෙස පැවැසූ බවත් තමන් නාමයෝජනා පත්‍රය සකස්කරගෙන ගිය පසු ” මේවා මොන මඟුල්ද ” කියා එය ඉරා වීසිකර ” මෙහෙම කරන්න බෑ කෝට්ටේ ගොඩ මහත්තයා. මම එක්කෙනෙක් දානවා’ යැයි කියා කාර්යාලයේ සිටි ගණකාධිකාරීවරයා මාතලේ දිස්ත්‍රීක් නායකයා වශයෙන් පත් කළ බවත් කෝට්ටේගොඩ කියයි. පොහොට්ටුවේ සියලු දෙනා පක්ෂය අතැර රනිල් ළඟට, සජිත් ළඟට, අනුර ළඟට හා දිලිත් ළඟට යද්දී තමන් පක්ෂය වෙනුවෙන් කැපවී ජනාධිපතිවරණයේදීද මාතලේට නායකත්වය දුන් බවත් , අවසානයේදී මහ ලේකම්වරයා තමන්ට සැලකූ ආකාරය නිසා තමන් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බවත් හෙතෙම පැවැසීය.

ගම්මන්පිලගේ ඉලක්කය විජිත පෙන්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව මඟින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන් ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. චැනල් 4 නාළිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බව හෙතෙම කීවේය. පරික්ෂණයක් සිදු නොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බවද පැවසූ ඇමැතිවරයා කිසි විටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බව පැවසීය. රජයක් ලෙස මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන බවද, ඒ විමර්ශනයෙන් පසු පැහැදිලිව අවසන් තීන්දු ගන්නා බව ද කීය

රනිල් රටවටා

විපක්ෂයට ඇවිත් ආණ්ඩු බලය ගන්නට සූදානම් වන්නැයි හිටපු ජනපති රනිල් පන්නල ජනරැලියේදී පැවසූවේය.

රනිල් ඒ කතාව කිව්වේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ද විපක්ෂයට ශක්තිමත් බලයක් දෙන්නැයි ඉල්ලන පසුබිම යටතේය.

හිටපු ජනපති රනිල්ට ඉකුත් සතිය කාර්ය බහුල වූයේ තමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන්නේ නැති වුවත් තමා වෙනුවෙන් ජනපතිවරණයට වෙහෙස මහන්සි වූ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රට වටා සංචාරය කරන්නට සිදු වූ බැවිනි.

ඒ අනුව රනිල් ඉකුත් සතියේදී මීගමුව, අතුරුගිරිය,පන්නල, දඹුල්ල සහ මහනුවර ජන හමු සඳහා සහභාගී වී දේශපාලන බෝම්බ කිහිපයක්ම පත්තු කළේය.

” සර් ඡන්දෙ ඉල්ලන්නේ නැති උනත් අපි වෙනුවෙන් රට වටේ ගිහින් කතා කරන එක ගැන අපිට ලොකු කෘතඥතාවයක් තියෙනවා. සජිත් එයාගේ අපේක්ෂකයෝ දිනවන්න රටේ කිසිම තැනකට යන්නේ නෑ කියලා සජබෙ අය කලකිරීමකින් ඉන්නෙ” මහින්දානන්ද පැවසුවේ රනිල් මහනුවර ජන හමුවට පැමිණි අවස්ථාවේදීය.

මහ මැතිවරණ සටන ඇරැඹුමේදී ඉතා මන්දගාමීව පැවතුනද රනිල් පොර පිටියට බැසීමත් සමඟ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපේක්ෂකයන්ද අමුතු උද්යෝගයකින් මැතිවරණ ව්‍යාපාර කටයුතු වල යෙදෙනු දැකගත හැකිය. එක දිගට ආණ්ඩුවට පහර පිට පහර එල්ල කරමින් සිටින රනිල් මැතිවරණ අවසන් සතියේදී මොන ජාතියේ ප්‍රහාරයක් එල්ල කරනු ඇතිදැයි ආණ්ඩු පාර්ශවයට ප්‍රබල සැකයක් පවතින බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාරයේ සිට ජොනී ලියයි

ආණ්ඩු මාරුවීම ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොහොමත් අපල පල දෙන්නකි. යහපාලන ආණ්ඩු සමයේ දී ජොන්ස්ටන් වැඩි වශයෙන් සිටියේ බන්ධනාගාරවලය. අනුර කුමාර ජනාධිපති වීමෙන් පසුව පළමුව බන්ධනාගාරගත වූ දේශපාලනඥයා ලෙස ජොන්ස්ටන් ඉතිහාසයට එක්විය. ඔහු මෙවර බන්ධනාගාරගත වූයේ දේශපාලන කාරණාවකට නොව නීති විරෝධී වාහනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටය. මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරග වදින ජොන්ස්ටන් බන්ධනාගාරයේ සිට සිය පාක්ෂිකයන් අමතමින් ලිපියක් නිකුත් කර තිබේ.

එහි මෙසේ දැක්වේ.

ආදරණීය හිතවත,

2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරන ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම හොඳින් දනිමි.

එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රිය කර ගත් ඉන් නොනැවතී රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කරන අවස්ථාවාදීන්ගේ කූඨ ප්‍රාප්තිය රඟ දැක්වීම ආරම්භ කර ඇත.

එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නූල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙයවීම පමණි. මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී ඇති දුහුවිල්ලක් තරම් නොවේ.

මා ජීවිතයේ මුහුණ දුන් අභියෝග හා සැසඳීමේ දී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.

ලාන්සා ගැන රනිල් කියු රහස

ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නියෝජ්‍ය නායක නිමල් ලාන්සාගේ ආරාධනයෙන් රැස්වීම මීගමුව ඔලැන්රෝ හෝටලයේදී පැවැත්වුණ අතර මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග වදින සියලු අපේක්ෂකයින් එක්ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ රැස්වීම ඇමතු අවස්ථාවේ නිමල් ලාන්සා ගැන කියූ අපූරූ කතාවක් නිසා සැවොම විමතියට පත්වූහ.

පාක්ශිකයින්ද මහ හයියෙන් ඔල්වරසන් දෙන්නට වූහ.

” ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික අර්බුදය ඇවිල්ල රට යුද පිටියක් වගේ තියනකොට මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙලා අගමැති කෙනෙක් හොයන්න පටන් ගත්තා. හැමෝම භාර ගන්න බෑ කියල දුවනවා මේ අතරේ ලාන්සාගෙන් මට කෝල් එකක් ආව.. ඔබතුමා අගමැතිකම භාර ගන්න කිව්වා.. මම ඇහුවා ඔබතුමා කොහොමද මට අගමැතිකම දෙන්නෙ කියලා” රනිල් වික්‍රමසිංහ මහතා එසේ කියනවාත් සමග සැවොම විමතියට පත්වෙලා ඔහු දෙස බලමින් තප්පර කිහිපයක් සිටිද්දී එකවරම රැස්ව සිටි පාක්ෂිකයින් ලාන්සා දෙස බලමින් අත්පොලසන් දෙන්නට පටන් ගත්හ.

වික්‍රමසිංහ මහතාද ලාන්සා දෙස බලන්නට විය.

” ඊට පස්සෙ ලාන්සා මට කිව්වා ඉක්මනින්ම ජනාධිපතිතුමා හම්බෙන්න. එතුමා බලාගෙන ඉන්නවා ඔබතුමා එනකම් .අපි කණ්ඩායමක් විදිහට ඔබතුමාට උදව් කරනව කියල. ඉතින් මම ඒ අනුව මේක භාර ගත්තා” වික්‍රමසිංහ මහතා එසේ කියමින් නැවත වරක් රුවන් විජේවර්ධන ඇතුළු අපේක්ෂකයින් දෙස බැලුවේය.

රැස්වීම් අවසන් වී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් ලාන්සා දිවා අහාරය සූදානම් කර තිබුණේ මීගමුව හෙරිටන්ස් හෝටලයේ දීය.

රැස්වීම අවසන් වී එළියට පැමිණි හිටපු ජනාධිපතිවරයා ලාන්සාටද සිය වාහනයට ගොඩවන්නැයි ආරාධනා කළේය.

ඒ අනුව ලාන්සා එම වාහනයට ගොඩ වූ අතර එයට පිටුපසින් රුවන් විජේවර්ධන සහ ලසන්ත අලගියවන්නද ඔවුන්ගේ වාහනවලින් හෝටලයට ගියහ.

දිවා අහාරය ගන්නා අතර වාරයේ පිරිස දේශපාලන කතාබහකද නිරත වූහ.

සජිත් පැරදුණු හේතුව එළියට

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පරාජයට පත් වීමට ප්‍රධාන හේතුව ජනාධිපතිවරණයේ අවසන් සති කිහිපයයේ සජීවී රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි නොවීම යැයි සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු වන අජිත් පෙරේරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කළේය. තම අපේක්ෂකයාට ආකර්ෂණය නොවීමට එය හේතු වූ බවත් එය සිය පක්ෂයේ මාධ්‍ය අංශ‍ය ගනු ලැබූ වැරදි තීරණයක් බවත් ඔහු පැවසීය. මෙම වැඩසටහනේදී දමිතා අබේරත්න, අජිත් මාන්නප්පෙරුම, චම්පික රණවක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳවද ඔහු අදහස් දක්වා ඇති අතර අදාළ රූපවාහිනී වැඩසටහන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ ප්‍රබලයන් විශාල පිරිසක් නරඹා ඇත.

දේවානන්ද – අනුර එක්වෙති

ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දා මහමැතිවරණයෙන් පසු ජනාධිපති අනුර දිසානයක හා එක්වන බව පවසා තිබේ. අනුර දිසානායක යාපනේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු හමු වූ දේවානන්දා මේ බව පවසා තිබේ. “ඔය ගොල්ලොත් ආයුධ අතට ගත්තා. අපිත් ආයුධ අතට ගත්තා. නමුත් ආයුධ තියලා තමයි ප්‍රජාතන්ත්‍රවාදයට ආවේ. ඒ නිසා අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා වැඩ කරමු” යනුවෙන් දේවානන්දා අනුරට පවසා තිබේ.

වජිරට ප්‍රශ්න වැලක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය අඟහරුවාදා ස්වාධීන රූපවාහීනී සේවයේ ප්‍රවෘත්ති අංශය විසින් නිෂ්පාදනය කරන විශේෂ වැඩසටහනක් වන වෝක් විත් ටෝක් ( Walk with Talk) වැඩසටහන සමඟ සම්බන්ධ විය.

මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදීයා විසින් වජිරට වර්තමාන දේශපාලනය සම්බන්ධ විවිධ ප්‍රශ්න ගණනාවක්ම යොමු කරන ලදී.

ජනාධිපතිවරණයෙන් පසුව වජිර මෙසේ සම්බන්ධ වූ ප්‍රථම වැඩසටහන මෙය වීම නිසාම ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.

වජිර කිව්වේ “ශ්‍රී ලාංකික මහජනතාව යම් ආකාරයක තීරණයක් අරන් තිබෙනවා. ප්‍රජාත්නත්‍රවාදය අනුව අපි ඒ දෙස බලා ක්‍රියා කළ යුතුයි” කියාය.

“නමුත් ඔබතුමා කිව්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 12 ක් රට පාලනය කරන්න ඕන කියලා. ඒ දවස්වල එහෙම විශ්වාසයෙන් කතා කළාට දැන් එහෙම විශ්වාසයක් පේන්නේ නැහැනේ” යි කියා මාධ්‍යවේදියා විමසීය.

“මම කියන්නේ කිසිම අවිශ්වාසයක් තියාගන්න එපා. මහජනතාව තීරණයක් අරන් තිබෙනවා. මහජනතාවගේ තීරණය දිහා බැලුවම වසර 12ක් නෙමෙයි ඊටත් වැඩිය කාලයක් රට පාලනය කරන්න පුළුවන්. කලබල නැතිව ඉන්න” යි වජිරගේ පිළිතුර විය.

“සමහර අය මගෙනුත් අහනවා දේශපාලනයෙන් සමුගත්තද කියලා. මෙවැනි අවස්ථාවක තමයි අපි නැවත වරක් දේශපාලනය පටන් ගන්න හදන්නේ. අපිට පුළුවන් මහජනතාවට කරුණු කියන්න විතරයි.

දේශපාලනය කරනකොට අපිට කවුරුත් සතුරෝ නෑනේ. දේශපාලනයේ ඉන්න හැමෝම මිතුරෝ.

ජනතාව ප්‍රතික්ෂේප කළාට දේශපාලනයේදී ඩීල් එකක් කරන්න බැරිනම් ඔහුට දේශපාලනය කරන්න බැහැ.

සෑම දේකදීම, ව්‍යාපාරයක් කරද්දි වුණත් ඩීල් එකක් දාන්න පුළුවන් වෙන්න ඕන. ඩීල් කියන්නේ නරක වචනයක් නෙමෙයි’ වජිර ඒක දිගට කියාගෙන ගියේය.

“නමුත් ඔබතුමාලට බැරි වුණානේ හරි විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක ඩීල් එකක් දා ගන්න” යි මාධ්‍යවේදියා විමසීය.

ඊට වජිරගේ උත්තරය වුණේ “එතුමාට බැරි දෙයක් තියනවා අපිට පේන විදිහට. එතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක වැඩකරන්න බැහැ. ඒක අපිට මුකුත් කියන්න බැහැ. ඒක එතුමාගෙන් අහන්න ඕන ඇයි එතුමාට එහෙම බැරි කියලා” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division