ලෝක පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයාට පිරිනැමෙන ‘Ballon d’Or‘ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ ස්පාඤ්ඤයේ සුපිරි ක්‍රීඩක රොඩ්රිගෝ හර්නැන්ඩස් කැස්කැන්ටේ විසිනි. මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයට ක්‍රීඩා කරන ‘රොඩ්රි‘ යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන මේ 28 හැවිරිදි මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයා සම්මානය දිනා ගනිද්දී බ්‍රසීලයේ විනිසියස් ජූනියර් දෙවැනි ස්ථානයටත්, එංගලන්තයේ ජූඩ් බෙලින්හැම් තුන්වැනි ස්ථානයත් අත්කර ගත්හ.
රොඩ්රිගේ සම්මානය තවත් අතකින් ඉතිහාසයට එක්වන්නේ වසර 64කට පසු වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා ඔහු වන බැවිනි.
මීට පෙර 1960 දී ලුයිස් සුවාරිස් ස්පාඤ්ඤය වෙනුවෙන් එම සම්මානය දිනා ගෙන තිබිණි.
ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් ඇගයීමට 1956 වසරේදී ආරම්භ කළ ‘Ballon d’Or‘ සම්මානය අත්කර ගත් පළමු මැන්චෙස්ටර් සිටි ක්‍රීඩකයා ලෙස රොඩ්රි වාර්තා පොතට එක්වීම ද විශේෂත්වයකි.
2019 වසරේදී මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයට එක්වූ රොඩ්රි 2021 සිට 2024 දක්වා අඛණ්ඩව සිය කණ්ඩායමට ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාව දිනා දීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.
වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා
ලෝක පාපන්දු සම්මේලනය වෙනුවෙන් ප්‍රංශයේ ‘ෆ්රාන්ස් ෆුට්බෝල්‘ සඟරාව මඟින් පිරිනැමෙන වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය ස්පාඤ්ඤ ක්‍රීඩකයාට හිමිවීමත් සමඟ වසර 16ක් පුරා එම කීර්තිමත් සම්මානයට හිමිකම් කියමින් සිටි ලෝක පූජිත ලයනල් මෙසීගේ සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ආධිපත්‍යයත් බිඳ වැටිණි.
මේ කීර්තිමත් සම්මානය 2008 සිට පසුගිය වසර දක්වාම හුවමාරු වූයේ පෘතුගාලයේ රොනල්ඩෝ සහ ආජෙන්ටිනාවේ මෙසී අතර ය. 2007දී බ්‍රසීලයේ කාකා එම සම්මානයෙන් පිදුම් ලබද්දී දෙවැනි ස්ථානයට පත්වූ රොනාල්ඩෝ සහ තුන්වැනි තැනට පත් වූ මෙසී 2008 සිට හුවමාරු කරගත් ‘Ballon d’Or‘ සම්මානය ඔවුන් දෙදෙනාගෙන් ගිලිහී ගියේ 2018 දී සහ 2022 දී පමණි.
ක්‍රොඒෂියාවේ ලූක් මොඩ්රික් 2018 දී එම සම්මානය දිනාගත් අතර, 2022දී ප්‍රංශයේ කරීම් බෙන්සිමා සම්මානය රැගෙන ගියේය.
2009 සිට වාර්තාගත ලෙස අට වතාවක්ම වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය දිනාගත් මෙසීට හෝ 2008 සිට පස් වතාවක් එම සම්මානය රැගෙන ගිය රොනාල්ඩෝටවත් මෙවර සම්මාන උලෙළේ අහලකටවත් පැමිණීමට නොහැකි විය.
රොඩ්රිගේ වගතුග
1996 ජූනි මාසයේ 22 වැනිදා මැඩ්රිඩ් නුවර උපත ලැබූ රොඩ්රි අඩි 6කුත්, අඟල් 3ක් උසැති ක්‍රීඩකයකු වන අතර, ස්පාඤ්ඤයේ ජාතික කණ්ඩායමට සේන්දු වීමට පෙර අවුරුදු 16 සිට අවුරුදු 21 දක්වා වයස් කාණ්ඩවලින් සිය රට නියෝජනය කරමින් ලෝක පාපන්දු පිටියට අවතීර්ණ වූයේ සුපිරි තරුවක නිමිති පහළ කරමිනි.
ඔහු 2018දී ජර්මනිය සහ ආජෙන්ටිනාව සමඟ සුහද තරගවලට ක්‍රීඩා කිරීමට පළමුවරට ජාතික පිලට සේන්දු විය.
ඔහුට 2018 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී ගියේ අන්තිම මොහොතේ ය. එහෙත් ඉන් අනතුරුව එංගලන්තයට සහ ක්‍රොඒෂියාවට එරෙහිව යුරෝපීය පාපන්දු සම්මේලන සංගම් තරගාවලියේදී ස්පාඤ්ඤය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි.
ඊට වසර 4කට පසු 2022 පාපන්දු ලෝක කුසලාන සිහිනය සැබෑ කරගැනීමට සමත්වූ රොඩ්රි එහිදී ස්පාඤ්ඤය තරග වැදුණු මූලික වටයේ සියලු තරගවලට ක්‍රීඩා කළ අතර, ජාත්‍යන්තර පාපන්දු පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට ද පත්විය.
විශිෂ්ටතම මැද පෙළ ආරක්ෂක ක්‍රීඩකයා
බොහෝ පාපන්දු විශාරදයන් රොඩ්රි හඳුන්වනු ලබන්නේ වර්තමානයේ පාපන්දු ලෝකයේ සිටින විශිෂ්ටතම මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයා හැටියටය.
වර්තමාන පාපන්දු පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා රොඩ්රි බවට පසුගිය ජනවාරියේදී ලෝක ප්‍රකට ක්‍රීඩා වෙබ් අඩවියක් වන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර විවාදයක් ද ඇති වූ අතර, ඊට මාස කිහිපයකට පසු නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ඔහු වර්ගීකරණය කරනු ලැබුවේ ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් පාපන්දු පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයා ලෙසටය.
එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන රියෝ ෆර්ඩිනෑන්ඩ්ගේ විශ්වාසය වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් පාපන්දු පිටියේ විශිෂ්ටයා රොඩ්රි බවය.
ඒ කෙසේ වෙතත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගත් මේ සුපිරි පාපන්දු තරුව දැනටමත් ලයනල් මෙසීගේ සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අධිපත්‍යයට එල්ල කර ඇත්තේ සැලකිය යුතු අභියෝගයකි. ඉන් පෙන්නුම් කරන්නේ දැන් දැන් මෙසී – රොනාල්ඩෝ යුගය අවසන් වෙමින් පවතින බවය.
ෆවුස් මොහොමඩ්