ඉන්දීය මූල්‍යාධාර යටතේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිකළ නව ශල්‍ය ඒකකය ඊයේ (04) දින ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතාගේ සහභාගීත්වයෙන් මෙම ශල්‍ය ඒකකය විවෘත විය.
ඉන්දියානු රජයේ ආධාර යටතේ මඩකලපුව ශීක්ෂණ රෝහල සඳහා රෝගී ඇඳන් 360 කින් ද ශල්‍ය දැඩි සත්කාර ඇඳන් 10 කින් ද ශල්‍යාගාර 03 කින් ද සමන්විත ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදි කිරීමේ හා වෛද්‍ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතිය යටතේ ඉන්දීය රජයේ රුපියල් මිලියන 300 කට අධික මූල්‍යාධාර යටතේ ඉදිවූ මෙම ශල්‍ය ඒකකය ජනතා අයිතියට පත් කිරීම සමග මඩකලපුව ශික්ෂණ රෝහල මඟින් නැඟෙනහිර පළාතේ මෙන්ම යාබද දිස්ත්‍රික්කවල ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තව තවත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම රෝහලේ සැත්කම් සඳහා දැනට පවතින යටිතල පහසුකම් නවීන තාක්ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමත් සමග රෝගීන් සඳහා වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන අතර, රෝහලේ දැනට පවතින පොරොත්තු ලේඛන 50%කින් අඩු කිරීමටත්, වාර්ෂිකව රෝගීන් 5000 කට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවා සැලසීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙම ශල්‍ය ඒකකය පිහිටුවීමත් සමග මඩකළපුව රෝහල මගින් ලබාදෙන සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් වන බවත්, මේ සදහා මූල්‍යාධාර ලබාදීම පිළිබදව හා මෙරට සෞඛ්‍ය සේවාව නංවාලීමට සහයෝග ලබාදීම පිළිබදවත් ඉන්දීය රජයට සිය ස්තූතිය පුද කරන බවයි.
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා කියා සිටියේ කලාපයේ ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම මහතා, මඩකළපුව රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේ. ගනේසලිංගම් මහත්මිය, ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.