Home » රංගනය වෘත්තිය විදියට කරන්න කිසිම අදහසක් නැහැ

රංගනය වෘත්තිය විදියට කරන්න කිසිම අදහසක් නැහැ

නයෝමි පීරිස්

by thanushika
November 9, 2024 12:30 am 0 comment

හදගැස්ම කියන්නෙ මේ දිනවල තිරගත වන අකිල සඳකැලුම් අධ්‍යක්ෂණය කළ කුලුදුල් සිනමා නිර්මාණය. මේ සිනමා නිර්මාණය හරහා රිදී තිරයට හඳුන්වාදෙන රංගන ශිල්පිනිය වෙන්නෙ නයෝමි පීරිස්. ඒ නිසාම නයෝමි එක්ක රසඳුන අපි කතා කළා.මේ ඒ සොදුරු කතාබහ….

කලාවට එන්නේ කොයි කාලේ ද?

මට එක සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්නවා. මම පාසල් ගියේ වත්තල යහපත් එඩේරාගේ කන්‍යාරාමයට. 2018 වසරේදී, මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. ඒ නිසා රැකියාව කරන අතරතුර තෝරාබේරාගෙන තමයි මුල් කාලයේ දි නිර්මාණවලට සම්බන්ධ වුණේ.

මුල්ම නිර්මාණය මොකක් ද?

මම මුලින්ම රඟපෑවේ අකිල සඳකැලුම් අයියාගෙම ‘ඉන්දීවරී‘ කියන ටෙලි නාට්‍යයේ. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි මට කරන්න තිබුණේ.

හදගැස්ම ඔබේ පළමු සිනමා නිර්මාණය ද?

ඔව්. මේ මගේ පළමු නිර්මාණය. අකිල අයියා මේ පිටපත ලියලා මට දුන්නෙත් ඔයාට තමයි හොඳටම මේ චරිතය කරන්න පුළුවන් කියලා. මම මේක අවස්ථාවක් කර ගන්නවා අකිල අයියාට සහ අර්ජුන අයියාට ස්තූතිවන්ත වෙන්න. හේතුව තමයි ඔවුන් මාව විශ්වාස කරලා මට මේ චරිතය ලබා දීම දුන්න එකට

මුල්ම සිනමා අත්දැකීම කොහොමද ඔබට දැනෙන්නේ?

චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න ලැබීමම හොඳ අත්දැකීමක්. අර්ජුන අයියා කියන්නෙ මේ වෙද්දී චිත්‍රපට ගණනාවක්ම කරපු කෙනෙක්. ඔහු වගේ කෙනෙක් එක්ක මගේ මුල්ම නිර්මාණය කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි. මම ඒ චරිතය හොඳින් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් එහි සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ එයාලට.

අකිල සඳකැලුම් කියන අධ්‍යක්ෂවරයා දකින්නේ කොහොමද?

වැඩ කරන්න ඉතාම පහසු අධ්‍යක්ෂවරයෙක්. හැමවෙලාවෙම මේ චරිත කොහොමද කරන්නෙ කියන එක පැහැදිලිව කියලා දෙනවා. ඒ එක්කම නිරවුල් මනසින් චරිතය ගොඩනගන්න අවශ්‍ය කරන වටපිටාව ඔහු නිර්මාණය කරලා දෙනවා.

මේ වෙද්දී හදගැස්ම තිරගත වෙනවා, ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ අය මගෙන් අහන දෙයක් තමයි ඇයි ඔය තරම් නපුරු කියලා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

මේ වෙද්දී තව සිනමා නිර්මාණයකට ලෑස්ති වෙන ගමන් ඉන්නෙ. ඒ නිසා ඉදිරියටත් විවිධ චරිත ඔස්සෙ මාව දකින්න ලැබෙයි.

කලාවේ දිගටම රැඳී සිටින්න ද කැමැත්ත?

ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි කලාවට ඇවිත් නම හදාගෙන ටික කාලයකින් කලාව අතහැරලා යනවා. මම තව ක්ෂේත්‍රයක් අත හැරලා කලාවට ආවේ. මේ වෙද්දී මම නීතිය පිළිබඳ හදාරන ගමන් කලාව කරන්නෙ. ඒ නිසා දිගටම කලාවේ රැ‍ෙඳන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඉදිරියේ දී නිෂ්පාදන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත මොනවද?

විශේෂයෙන්ම කියලා චරිත නැහැ මම කැමැති එකම විදියේ චරිතවලට සීමා නොවී විවිධ චරිත කරන්න.

නිළියක් වුණු ඔබට ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ආදරේ කියන්නෙ හරිම සුන්දර දෙයක්. අපි ඉපදුණ දා ඉඳන් මැරෙනකම්ම අපි එක්කම තියෙන සුන්දර දෙයක් විදියට තමයි මම දකින්නෙ. මටත් ආදරය ලැබෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම රංගනය වෘත්තිය විදියට කරන්න අදහසක් නැහැ. මම මේ දේ කරන්නෙ මගේ ආසාවට. නීතී ක්ෂේත්‍රය පැත්තෙන් උසස් අධ්‍යාපනය හදාරලා නීතීඥවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා. කලාව තුළ ජනප්‍රියම නිළියක් වෙන්න නෙවෙයි බලාපොරොත්තුව කවදා හරි දක්ෂතම නිළියක් වෙන්න.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division