මේජර් වෙරෝනිකා දසනායක, නම ඇසූ පමණින් ගාම්භීර හමුදා නිලධාරිනියකගේ රුව ඔබ ඉදිරියේ මැවුන ද සැබැවින්ම ඇය සුන්දර යුවතියකි. ලක්නව් භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ වසර 8ක කථක් නර්තන කලාව අධ්‍යයනයකින් පසුව එය ශ්‍රී ලංකාවේ වපුරන්නට වෙර දරන ඇය වෘත්තියෙන් ශ්‍රී ලංකා යුද හමුදා නර්තන අංශයේ ඉන්දියානු නර්තන අංශයේ අධ්‍යක්ෂිකාවයි.
මේජර් වෙරෝනිකා කියල කිව්වට ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්. කොහොමද මේ විදිහට යුද හමුදාවයි නර්තනයයි ගළපගත්තේ?
ඕනෙම කෙනෙකුට තමන් ආසම කරන දේ තමන්ගේ රැකියාව කරගන්න තියෙනව නම් ඒක වාසනාවක්. මටත් ඒ වාසනාව ලැබුණා. යුද හමුදාවට සංස්කෘතික සහ බටහිර නර්තන අංශ දෙක තිබුණට ඉන්දියානූ නර්තන අංශයක් තිබිල නෑ. 2017 දී යුද හමුදා තූර්ය වාදක හා රංග කලා මණ්ඩලයට ඔවුන් මාව තෝරගන්නේ ඉන්දියානු නර්තන අංශයක් නිර්මාණය කිරීමේ අරමුණෙන්. මං දන්න විදිහට ආරක්ෂක අංශය තුළ ඉන්දියානු නර්තනය සම්බන්ධව ඉන්න එකම නිලධාරිනිය මම. යුද හමුදාව තුළ දක්ෂ ඉන්දියානු නර්තන කණ්ඩායමක් නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා.
මේජර් වෙරෝනිකා කොහොමද කථක් නර්තනයට යොමුවෙන්නේ?
මගේ මුල්ම නර්තන ගුරුවරිය වුණේ අයිරාංගනී රාජපක්ෂ ගුරුතුමිය. එතුමියගේ මඟපෙන්වීමෙන් හඳුනාගත් මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුතුමිය එක්ක ඉන්දීය නර්තන ශිල්පිනියකගේ කථක් නර්තනයක් බලන්න ගිය අවස්ථාවේ තමයි මට කථක් නර්තනයට ආසාව ඇති වුණේ. ඊට පස්සෙ වෛද්‍යවතී ගුරුතුමිය අතින්ම කුඟුරු (ගෙජ්ජි) පලන්දලා කථක් ඉගෙන ගන්න පටන් ගත්තා.
කථක් ඉගෙන ගන්න ඉන්දියාවට ගිය වෙරෝනිකා ලංකාවට එන්නෙ තාරුණ්‍යයට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම නම්බුනාමයත් අරන්?
ඔව්. කථක් නර්තනයට තිබුණු ඇල්ම නිසාම මම ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා වසර 8ක් කථක් නර්තනය හැදෑරුවා. පණ්ඩිත් අර්ජුන් මිශ්‍රා ගුරුතුමාගෙන් ගුරු ශිෂ්‍ය ක්‍රමවේදය යටතේ නර්තන ශිල්පිනියක් වීම සඳහා තව තවත් ප්‍රගුණ කළා. ඒ අතරේ සංගීත් ප්‍රතියෝගිතා තරගාවලියෙන් 2007/2008 වර්ෂ දෙකම දක්ෂතම නර්තන ශිල්පිනිය බවට පත්වුණා. ඒ මට ඉන්දියාවෙන් ලැබුණු පළමු සම්මානය. 2008 වසරේ ඉන්දියාවෙන් එද්දි මුම්බායි කල්කේ කලාකාර් ස්වාමි හරිදාස් සම්මේලනයෙන් ‘ශ්‍රීං සාර් මණී‘ සම්මානයත් ලැබුණා. ඒක කලාකරුවකුට තරුණ වයසෙදි ලබාගන්න පුළුවන් ඉහළම සම්මානය. ඒකෙන් ඕනෑම තැනකදි අපිව අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් පළමුවැනි ප්‍රාසාංගික විශේෂවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයක් එක්ක සමත් වුණා. ඒ වගේම නෘත්‍ය විශාරද, නෘත්‍ය නිපුන් කියන විභාගත් පළමු පෙළ සාමාර්ථ සහිතව සමත් වුණා. 2008/2009 ලංකාවේ යෞවන සම්මාන, 2009 දී කඳුරට සංස්කෘතික සංගමයෙන් රත්නදීප සම්මානය ලැබුණා. 2010 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගය සමත් වෙලා 2021දී ඉන්දියානු හා ආසියානූ නර්තන අංශයේ බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් සේවය කළා. ඒ අතරේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ යාපනය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශයේ එකමුතුවෙන් පළමුවරට යාපනයේ කථක් උගන්වන්න අවස්ථාව ලැබුණා.
ඔබ කථක් නර්තනයෙන් ඩාන්ස් ඩ්‍රාමා එකක් කළ පළමු ශ්‍රී ලාංකිකයා?
ඔව්. 2014 වසරේ මාධූර් ක්‍රිෂ්ණ කියල ඩාන්ස් ඩ්‍රාමා එකක් නිර්මාණය කළා. එහි මංගල දර්ශනය පැවැත්වුණේ ලක්නව්වල. 2016 දී ශිවෝ හම් කියලා ශිව දෙවියන් අලළා ඩාන්ස් ඩ්‍රාමා එකක් කළා. ලාංකිකයෙක් විදිහට කථක් ඩාන්ස් ඩ්‍රාමා එකක් කළ පළමු කෙනා මම. කොහොමහරි කථක් නර්තන කලාව ශ්‍රී ලංකාවේ රෝපණය කරන එක තමයි මගේ අරමුණ. දැනටමත් මං ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරල තියෙනවා. මගේ නර්තන ගුරුවරයා භාරතයේ සුප්‍රසිද්ධ කලාකරු පණ්ඩිත් අර්ජුන් මිශ්‍රා පෞද්ගලිකව ලංකාවට ගෙන්නන්නත් මං කටයුතු කළා.
ඔබ නර්තන ගුරුවරියක්. ඔබේ ආයතනයෙන් ශිෂ්‍යයකුට දැනුමට එහා ගිය දෙයක් ලැබෙනවා?
ඔව්. ශ්‍රී බ්‍රින්දාවන් කථක් කේන්ද්‍රය කියන්නේ මගේ කලා ආශ්‍රමය. හරියට පුංචි ඉන්දියාවක් වගේ. එතැන සිසුන්ට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. මේ වෙද්දි ලංකාවෙ සිවු දෙසින්ම සිසුන් එනවා. කථක් කියන්නෙ හින්දු ආගමත් එක්ක බැඳුණු නර්තන කලාවක් නිසා ඊට අදාළ හැම උත්සවයක්ම සැමරෙනවා. නර්තනය හා සම්බන්ධ සංස්කෘතික, ආගමික, සමාජයීය පරිසරය නිර්මාණය කිරීම තමයි මං ඒකෙන් අදහස් කළේ. ක්‍රිෂ්ණ දෙවියන් ජීවත් වුණු බ්‍රින්දාවන්වලට මං ගිහින් තියෙන නිසා ඒ වගේ පරිසරයක් නිර්මාණය කරන්න මට ඕන වුණා.
පසුගිය දා එළැදැක්වුණු ඔබේ පළවෙනි ‘ඩාන්ස් වීඩියෝ‘ ගැනත් කියමු?
මේ වෙද්දි කථක් නර්තන කලාවේ නව ප්‍රවණතා එක්ක මං කරපු පර්යේෂණ අලළා කථක් නර්තනයේ මොඩර්න් පැත්ත ගැන මං පොත් දෙකක් ලියලා තියෙනවා. කථක් නර්තන කලාවේ නව ප්‍රවණතා ග්‍රන්ථය 2015 දී ප්‍රසිද්ධ කළා. ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ කථක් නර්තනයත් එක්ක මං කරපු පර්යේෂණ එකතු කරලා පසුගිය 13 වැනිදා තාධී නමින් ඩාන්ස් වීඩියෝ එකක් නිකුත් කළා. සම්භාව්‍ය තත්ත්වයේ ඉඳන් මොඩර්න් තත්ත්වය දක්වා මේ නර්තන කලාව විකාශය වෙන්නේ කොහොමද කියන එක එහි අන්තර්ගත වෙලා තියෙනවා. හින්දුස්ථානී, හිප් හොප්, පොප් වගේම ඩප්ස්ටෙප් කියන බටහිර සංගීත ශෛලිය එකතු කරලා නව සංගීතයෙන් තාධී වර්ණවත් කළේ වාද්‍ය නිපුන් ශාස්ත්‍රපති ඉසුරු පෙරේරා. වීඩියෝ නිර්මාණය නෙත්සර මුතුගල. නර්තන නිර්මාණය මගේ. ලොකු වෙහෙසක් දරලා, සෑහෙන කාලයක් කැපකරලා දුෂ්කරතා රැසක් මැද නොසැලෙන ගුණයෙන් ආපු ගමනක් නිසා තාධී කියන නම දැම්මා.
ඉගෙන ගත්ත දේ ඔබේ රැකියාවට ආභරණයක් වුණා වගේම සහකරුවාගේ හමුවීමත් ඊට දෙවනි නෑ නේද?
මේ හැමදේම මේ තරම් ලස්සනට සිද්ධවෙන්නෙ ඔහු නිසා. ඔහුත් හමුදාවේ. මේජර් මොරිස් අබේරත්න. අපිට අවුරුදු 5ක පුතෙක් ඉන්නවා. යෝජිත විවාහයක් වුණත් හරියට ඔහු මගේ හෙවණැල්ල වගේ. සමහර අවස්ථාවල මවක් විදිහට මගෙන් මඟහැරෙන යුතුකම් ඔහු හරිම කැමැත්තෙන් ඉටුකරනවා. ඒ වගේම මට නිරතුරුවම ශක්තියක් වන යුද හමුදාපතිතුමා, තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්ෂතුමා ඇතුළු හමුදාවේ සියලුම නිලධාරීන් ස්තුතිපූර්වකව සිහිපත් කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.
නාමලි ගමගේ