Home » ඔස්ට්‍රේලියාවට පදක්කම් පිට පදක්කම් දිනා දෙන ශ්‍රී ලංකාවේ යොවුන් මේසපන්දු ශූරිය හසලි සනායා

ඔස්ට්‍රේලියාවට පදක්කම් පිට පදක්කම් දිනා දෙන ශ්‍රී ලංකාවේ යොවුන් මේසපන්දු ශූරිය හසලි සනායා

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

නෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකින් විදෙස් රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිටින්නේ අතළොස්සක් පමණි. ඒ අතරින් දෙරටේම ජාතික කණ්ඩායම් නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දස්කම් පෑ ශ්‍රී ලාංකික දූපුතුන් නම් ඉතා විරල ය. මේ වන විට ඔස්ට්‍රේලියාවේ අවුරුදු 19න් පහළ ජාතික මේසපන්දු කාන්තා කණ්ඩායම නියෝජනය කරන හසලි සනායා බුද්ධදාස එවැනි විරල ගණයේ ක්‍රීඩිකාවකි. එවකට 12 හැවිරිදි වියේදී අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දකුණු ආසියාතික හා ආසියාතික ක්‍රීඩා ශූරතාවලි ද්විත්වයම ක්‍රීඩා කළ ඇය ඊළඟ වසරේදී ඕෂනියා රටවලට එරෙහිව ජාත්‍යන්තර තරගාවලියට එක්වූයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ජර්සියෙනි. කොළඹ විශාකා විද්‍යාලයෙන් ක්‍රීඩාවට එක් වූ මේ දිරිය දියණිය මේස පන්දු ක්‍රීඩාවෙන් රටවල් දෙකක ජාතික කණ්ඩායම් නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ එලෙසිනි.

හසලි සනායා සිය පියා වෛද්‍ය ගිහාන් බුද්ධ­දාස, මව මනෝ­වෛද්‍ය උප­දේ­ශිකා හර්ෂනී ඇල්ගි­රිය සහ එකම සොහො­යුරු රිවිඳු විඳු­වර සමඟ

හසලි සනායා සිය පියා වෛද්‍ය ගිහාන් බුද්ධ­දාස, මව මනෝ­වෛද්‍ය උප­දේ­ශිකා හර්ෂනී ඇල්ගි­රිය සහ එකම සොහො­යුරු රිවිඳු විඳු­වර සමඟ

සනායා මේස පන්දු ක්‍රීඩාවෙන් සමස්ත ලංකා තරග බිමේ කැපී පෙනෙන යොවුන් ක්‍රීඩිකාවක් බවට පත්වූයේ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී නුවන් සම්පත් සහ දිනේෂ් දේශප්‍රිය යටතේ මේස පන්දු ක්‍රීඩාව ප්‍රගුණ කරමිනි. ඇගේ මවුපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ ඇය 15න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරද්දීමය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයකු වූ ගිහාන් බුද්ධදාස සහ විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය උපදේශිකාවක වූ හර්ෂනී ඇල්ගිරිය සිය දරුවන් සමඟ ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ 2018 වසරේදීය.

‘අපි මුලින්ම පදිංචි වෙලා හිටියේ සිඩ්නි නුවර. ඒ කාලේ හොංකොං පුහුණුකරුවකු යටතේ දුව වැඩිදුරටත් පුහුණුව ලැබුවා. එතකොට එයාට වයස අවුරුදු 13යි. මුලින්ම ඔස්ට්‍රේලියාවේ ඩාවින් පළාතේ තිබුණු තරගාවලියකට තමයි දුව සෙල්ලම් කළේ. ඒ තරග බලන්න, දක්ෂතා හඳුනාගන්න ජාතික මට්ටමේ තේරිම් නිලධාරින් හා පුහුණුකරුවනුත් ඇවිත් හිටියා. ඊළඟට කැන්බරා නුවර තරගාවලියකදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රේණිගත කිරිම්වල ඉහළින්ම සිටි ක්‍රීඩිකාවන් දෙන්නෙක් පරාජය කළා. ඊට පස්සේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩිකාවකුත් දුවට පැරදුණා. ඒක කාටත් හිතාගන්න බැරි ජයග්‍රහණයක් වුණා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ පුහුණුකරුවන් හා තේරිම් කමිටු නිලධාරින් ඇවිත් අපිට කතා කළා. දුව ජාතික තේරීම්වලට එකතු කරගන්නත්, ජාතික සංචිතයේ පුහුණුවීම්වලට සහභාගි කරගන්නත් අවශ්‍ය බව කියා සිටියා.‘සනායා ඇතුළු පවුලේ සාමාජිකයන් මේ දිනවල කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතරතුර ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූ ඇගේ පියා වෛද්‍ය ගිහාන් බුද්ධදාස එසේ කීවේය.

ඔස්ට්‍රේලියාවේ සියලු ජාතික කණ්ඩායම්වල කේන්ද්‍රස්ථානය වන්නේ මෙල්බර්න් නුවරය. එබැවින් සනායාට ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා එක්වීමේ පහසුව සලසාලමින් ඇගේ මවුපියන් මෙල්බර්න් නුවර පදිංචියට යෑමට තීරණය කළේය.

‘මෙල්බර්න් තමයි ඔස්ට්‍රේලියාවේ city of sports කියන්නේ. අපි පස්සේ මෙල්බර්න්වල පදිංචියට ගියා. ඊට පස්සේ දුව ඔස්ට්‍රේලියාවේ අවුරුදු 15න් පහළ ජාතික මේස පන්දු කණ්ඩායමට ඇතුළත් වුණා.‘ ඔහු කීවේය.

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 15න් පහළ ජාතික මේස පන්දු කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ඕෂනියා කලාපයේ සහ නවසීලන්තය සමඟ තරගවලට සහභාගි වූ සනායා එහිදී ඔස්ට්‍රේලියාවට රන් පදක්කම් දිනා දීමට සමත් වූවාය. අනතුරුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලෝක කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය නියෝජනය කරද්දී ඇයට වයස අවුරුදු 17කි. 2022දී ඇයට දෙවැනි වරටත් එම ශූරතාවලියට ක්‍රීඩා කළාය.

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 17න් පහළ සහ අවුරුදු 19න් පහළ කාන්තා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද අත්කර ගැනීමට සමත්වූ ඇය විවෘත තරග අංශයේ ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය ද අත්කර ගැනීමට සමත් වූවාය. මේ වනවිට එරට අවුරුදු 19න් පහළ මේස පන්දු කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඇය පසුවන්නේ 2 වැනි තැනය. වරක් ජාත්‍යන්තර මේස පන්දු ඒකල ශ්‍රේණිගත කිරීම්වල 110 වැනි ස්ථානය අත්කර ගැනීමට ද සමත් වූ ඇය මේ වනවිට ලෝක කාන්තා ඒකල ශ්‍රේණිගත කිරීම්වල 214 වැනි ස්ථානයේ පසුවන්නීය.

මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ජාතික මේසපන්දු ශුරතාවලියේ අවුරුදු 19න් පහළ ඒකල අනුශූරිය බවට පත්වූ ඇය මිශ්‍ර හා යුගළ තරග ඉසව්වේ රන් පදක්කම් දිනා සමස්ත තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවගේ සම්මානයත් දිනා ගත්තාය. එපමණක් නොව මේ වසරේ ඕෂනියා කලාප තරගාවලියේදී 19න් පහළ ඒකල තරග ඉසව්වේ රන් පදක්කම දිනූ අතර, අවුරුදු 21න් පහළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ද ක්‍රීඩා කරමින් ඒකල, යුගල හා මිශ්‍ර යුගල ඉසව් ත්‍රිත්වයෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

මේ මස අගභාගයේ ස්වීඩනයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලිය සඳහා සූදානම් වෙමින් සිටින සනායා ශ්‍රී ලංකාවේ කෙටි නිවාඩුවෙන් පසු පෘතුගාලයේ පැවැත්වීමට නියමිත දින 10ක පුහුණු සැසියකට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. ලෝක කනිෂ්ඨ ශූරතාවලියට ස්වීඩනය බලා පිටත්වන්නේ පෘතුගාලයේ සිටය.

‘ලංකාවේ ක්‍රීඩා කරද්දී මට පුහුණුව ලබා දුන්නු නුවන් සම්පත් සර්, දිනේෂ් දේශප්‍රිය සර් වගේම මම මුලින්ම ඉගෙන ගත්තු විශාකා විද්‍යාලයේ වජිර සර්ට ස්තූති කරන්න ඕනා.‘ ඇය කීවාය.

සිය ක්‍රීඩා දිවියට සෙවණැල්ලක් වූ මවුපියන්ගෙන් සහ පවුලේ එකම සාමාජිකයා වන බාල සොහොයුරු 16 හැවිරිදි රිවිඳු විඳුවරගෙන් ලැබෙන සහාය පිළිබඳවත් සිහිපත් කිරීමට ඇය අමතක නොකළාය. පුහුණුවීම්වලදී ඇගේ සහායක ක්‍රීඩකයා ලෙසත් ඔහු කටයුතු කරන බව ඇය සඳහන් කළාය.

එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රිවිඳු විඳුවර මේ වනවිට මෙල්බර්න් නුවර පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි. ඔහු ද සිය සොහොයුරියගේ අඩිපාරේ යමින් මේස පන්දු ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සිටින අතර, වික්ටෝරියා ප්‍රාන්ත පිලේ අවුරුදු 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටී. ඔහුගේ ඉලක්කය ද සිය සොහොයුරිය මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බව වෛද්‍ය ගිහාන් බුද්ධදාස කීවේය.

සනායාගේ මීළඟ ඉලක්කය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මේස පන්දු ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමය.

‘2028 ඔලිම්පික් යෑම තමයි මගේ අනාගත සිහිනය. ඒ ඉලක්කයට යන්න බැරිවුණොත් 2032 ඔලිම්පික් නියෝජනය තමයි ඊළඟ ඉලක්කය. මොකද 2032 ඔලිම්පික් පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා ලොකු අවස්ථාවක් මට තියෙනවා.‘ ඇය කීවාය.

ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටත් එක ලෙස දක්ෂතා ඇති සනායා මේ වන විට මෙල්බර්න් නුවර මෙරිබිනොන් උසස් පාසලේ අවසන් වසරේ සිසුවියකි. අධ්‍යාපනයෙන් ඇගේ අරමුණ වී ඇත්තේ භෞත චිකිත්ස හා ක්‍රීඩා විද්‍යා උපාධිධාරිනියක වීමටය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division