ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජනවාරි 20 වැනිදා අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. එය වාර්තා පිට වාර්තා තබන දිවුරුම් දීමක් වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාපොතට එක්වන්නේ අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා ලෙසිනි. අද වන විට ඔහුගේ වයස අවුරුදු 78කුත්, දින 146කි. මීට පෙර එම වාර්තාව හිමිවූයේ ජෝ බයිඩ්න්ට ය. ඔහු 2020දී ජනපති වද්දී අවුරුදු 78කුත් දින 61කි. එපමණක් නොව වසර 132කට පසු අඛණ්ඩ නොවන අවස්ථා දෙකකදී අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ පළමු පුද්ගලයා ද ට්‍රම්ප් ය. ඊට පෙර 1885 සිට 1889 දක්වාත් 1893 සිට 1897 දක්වාත් අඛණ්ඩ නොවන අවස්ථා දෙකකදී අමෙරිකාවේ ජනපති ධුරයට පත්වූ එකම පුද්ගලයා ග්‍රෝවර් ක්ලෙවෙලන්ඩ් ය.
නඩු පිට නඩු වැටී තිබියදිත් පූර්ණ විශ්වාසයකින් යුතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ රිපබ්ලිකන් පක්ෂයේ 78 හැවිරිදි ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ වසර 4ක ඩිමොක්‍රටික් පාලන යුගය නිමාවට පත් විය. අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වීමේ අවස්ථාව අද්දර සිටි ඉන්දීය සම්භවයක් සහිත 60 හැවිරිදි කමලා හැරිස් පරාජයට පත් වූයේ එවැනි අවස්ථාවක් මඟහැරුණු දෙවැනි අපේක්ෂිකාව හැටියටය. පළමු අපේක්ෂිකාව වූයේ 2016 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූ හිලරි ක්ලින්ටන්ය. ඇය ද කමලා හැරිස්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවකි.
දෝෂාභියෝග දෙකකට මුහුණ පෑ එකම ජනාධිපතිවරයා
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනපති සටනට ඉදිරිපත් වූයේ පිට පිටම තුන්වැනි වරටත් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගනිමිනි. ඔහු 2016දී පළමුවරට ජනපති ධුරයට පත් වූ අතර, 2020 ජනපතිවරණයේදී බයිඩ්න් හමුවේ පරාජයට පත්විය. පරාජය වූවා පමණක් නොව පසුගිය වසර 4 ඇතුළත දුෂ්කර අවස්ථා තොගයකට මුහුණ පෑවේය. කොටින්ම ඔහු තරම් නඩු හබවලට පැටලුණු වෙනත් ජනාධිපතිවරයකු අමෙරිකාවේ සිටියේම නැත. ඔහු ඉතිහාසයට එක් වූයේ අමෙරිකාවේ අපරාධ චෝදනාවකට ලක්වූ පළමු ජනාධිපතිවරයා ලෙසිනි. ඔහු සිය ධුර කාලයේ අවසන් භාගයේදී දෝෂාභියෝග දෙකකට ද මුහුණ දුන් අතර, අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග දෙකකට මුහුණ පෑ එකම ජනාධිපතිවරයා ද විය. ඒ අතරින් වසර 2023 සහ 2024 ඩොනල්ඩ් ට්‍රම්ප්ට උදා වූයේ එහෙම පිටින්ම නරක කලදසාවකි. ඒ සියලු බාධක හා අභියෝග සිය පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්වීම නිසා මෙවර තුන්වැනි වතාවටත් රිපබ්ලිකානුවෝ විසින් ඔහුට සිය පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය පිරිනමනු ලැබූහ. ඔහු එම විශ්වාසය ඉහළින්ම රැක ගත්තේ විස්මිත ආකාරයෙනි.
හාර දහස ඉක්මවූ නඩු කන්දරාවක්
අමෙරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඔහු වැඩි කතාබහට ලක් වූයේ ජනාධිපතිධුරයට පත්වීමට දශක ගණනාවකට පෙර සිටය. 70 දශකයේ මුල් භාගයේදී ව්‍යාපාර කටයුතුවලට එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් 1973 සිට මේ දක්වා පැටලුණු නඩු කන්දරාව 4,000කට වැඩිය. එහෙත් අමෙරිකානුවන් බහුතරයක්ම මෙවර නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි විශ්වාසය තබා ඇත.
අමෙරිකාවේ මිලියන 160කට අධික ඡන්දදායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කළ ද, ජනපති හා උපජනපති තෝරාගනු ලබන්නේ එක් ප්‍රාන්තවල ස්ථාපිත කර ඇති සමස්ත නියෝජිතයන් 538 දෙනකුගෙන් සමන්විත Electoral College ක්‍රමවේදයෙන් බැවින් ජනපති වීමට ඔහුට අවශ්‍ය වූ මුළු ඡන්ද ප්‍රමාණය ඉන් 270ක් පමණි. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර වරින් වර දෝලනය වන පාවෙන ඡන්ද ඇති ප්‍රාන්ත සුපුරුදු පරිදි අපේක්ෂකයන් දෙදෙනාගේම වැඩි අවධානය යොමුවී තිබූ අතර, එම ප්‍රාන්තවල වැඩිම ප්‍රචාරක රැලි සංඛ්‍යාවක් ද පවත්වා තිබිණි. ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් ප්‍රාන්ත හත ඕනෑම ඡන්දයකදී මේ දෙපාර්ශ්වයටම තීරණාත්මකය. 2020 ජනපති සටනේදී මේ සියලු ප්‍රාන්තවල බලය ජෝ බයිඩ්න්ට හිමිවූ අතර, එවර බයිඩ්න් Electoral College ඡන්ද 306ක් දිනා ගනිද්දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවූයේ ඡන්ද 232ක් පමණි. 2016 දී ට්‍රම්ප් පළමු වතාවට ජනපති ධුරයට පත් වූයේ Electoral College ඡන්ද 306ක් දිනා ගනිමිනි. එවර හිලරි ක්ලින්ටන් දිනාගනු ලැබුවේ ඡන්ද 232ක් පමණි.
මෙවර ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වූයේ පසුගිය සිකුරාදා ය. මේ ලිපිය ලියන මොහොත වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් Electoral College ඡන්ද 301කුත්, කමලා හැරිස් ඡන්ද 226කුත් ලබා සිටි අතර, ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණේ Electoral College ඡන්ද 11කින් සමන්විත පාවෙන ඡන්ද ඇතුළත් ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵලය පමණි. මෙවර පාවෙන ඡන්ද ඇතුළත් ප්‍රාන්ත 7න් 6කම ජය ට්‍රම්ප්ට හිමිවූ අතර, ඔහු සිටියේ ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණයටත් අත පොවන මායිමේය.
අවසන් ප්‍රාන්ත කිහිපයේ ඡන්ද ප්‍රතිඵලවලින් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට කිසිදු බලපෑමක් නැත. ඔහු වේලාසනින්ම ජනපති සටන ජයගෙන සිටියේය. සිය ජයග්‍රාහී දේශනය සිදු කළේ ද මැතිවරණ දිනයට පසුදින අලුයම් කාලයේදීය. කමලා හැරිස් සටනේ පරාජය පිළිගනිමින් සිය පරාජිත දේශනය සිදු කරනු ලැබුවේ ඊට පැය කිහිපයකට පසුවය.
සාමකාමී අයුරින් බලය හුවමාරු කරගන්නා බව කමලා හැරිස් සිය පරාජිත දේශනයේදී ප්‍රකාශ කළ අතර, ජෝ බයිඩ්න් ද එම කතාව සහතික කළේය. සාමකාමී අයුරින් බලය හුවමාරු කරගැනීම යනු පරාජය පිළිගෙන ප්‍රතිවාදියාට රාජ්‍ය පාලනය හා ධවල මන්දිරය භාර දීමය. එහෙත් 2020 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගත්තේ නැත. ඔහු පරාජය පිළිනොගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුගේ පාක්ෂිකයෝ වොෂින්ටන් නුවරට එක්රොක්වී කැරලි ගැසූහ.
දැන් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ කටයුතු කරන ආකාරය ගැන පළවැනි අනාවැකි වෙතටය.
අනාගත අභියෝග රැසක්
අමෙරිකාවේ ආර්ථිකය ගොඩ නැඟීමේ අභියෝගයට අමතරව ට්‍රම්ප් හමුවේ තවත් අභියෝග රැසකි. ජාත්‍යන්තර වශයෙන් ද එහි අඩුවක් නැත. ජෝ බයිඩ්න්ගේ කාලසීමාවේදී ආරම්භ වු රුසියානු – යුක්රේන යුද්ධය පමණක් නොව මැදපෙරදිග කේන්ද්‍ර කරමින් ඊශ්‍රායල – හමාස් සහ ඊශ්‍රායල – හෙස්බුල්ලා යුද ගැටුම් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියට අනුව එහෙම පිටින්ම උඩු යටිකුරු වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීම ඊශ්‍රායලයට නම් කොහෙත්ම වාසිදායක නොවන බව දේශපාලන විචාරකයෝ කියති. අනෙක් අතට පළමු ධුර කාලයේදී රුසියාව සමඟ සමීපව කටයුතු කිරීම නිසා මෙවර යුක්රේනයටත් වාසියට හේතුවක් නොවනු ඇත. අනිත් අතට තමා පත්වූයේ යුද්ධ කිරීමට නොව තිබෙන යුද්ධ නතර කිරීමට බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රාහී දේශනය අතරතුර ප්‍රකාශ කිරීම ඊට හොඳම නිදසුනය. එම ජයග්‍රාහී දේශනය අතරතුර ඔහු ලොව ලොකුම ධනවතා ඉලෝන් මස්ක්ට නොසෑහෙන්න ස්තුති කළේ ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසාය. ඔහු ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය විය. අනතුරුව ඔහුගේ උපජනාධිපති හැටියට පත්වීමට නියමිත ජේ.ඩී. වැන්ස්ට සහ කෙනඩි පවුලේ සාමාජිකයකු වන රොබර්ට් එෆ්. කෙනඩිටත් තුති පළ කළේය.
ෆවුස් මොහොමඩ්