21 වන ශතවර්ෂය, ගෝලීය ගතිකත්වයන් මෙන්ම ගෝලීය අර්බුදයන්ට ද තෝතැන්නක් වූ බව පැවසුව හොත් එය වඩාත් නිවැරදිය. භූදේශපාලනික අර්බුදයන්, භූ ආර්ථිකමය අර්බුදයන්, භූ දේශසීමා අර්බුදයන් ගොන්නට එක් වූ තවත් එවැනිම අනතුරක් පැන නැඟී ඇත. ඒ ඉතා දිගුකලක පටන්ම ක්‍රම ක්‍රමයෙන් විකාශනය වී වත්මනයේ අන් කවරදාකටත් වඩා ඉදිරියෙන් පවතින ගෝලීය දේශගුණික විපර්යාසයක් බවට පත්ව ඇත. (Global Climate Change)
මේ තත්ත්වය මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම උදෙසා එල්ල කරන නිෂේධනීය බලපෑම සුළුපටු නොවන බව ලෝක දේශගුණික විශේෂඥයින්ගේ ස්ථිර ප්‍රකාශයයි. දේශගුණික විපර්යාසය ස්වභාව ධර්මයෙන් ලැබුණු අහිතකර ප්‍රතිඵලයක් නොව එය මිනිසා විසින්ම උදාකරගත් තත්ත්වයකි. (Manmade crisis) මෙම ගෝලීය දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ කලාප අරබයා වෙනස් වෙනස් ආකාරයෙන් බලපා ඇත. ඒ අතරින් අග්නිදිග ආසියානු කලාපය මෙහි බලපෑමට ඉතා ප්රබලවම හසු වූ කලාපයන් අතර ඉහළින් ම සිටින කලාපයකි.
ASEAN දේශගුණික විපර්යාසය
ලෝකයේ 90%ක කාබන් ප්‍රතිශතයක් අප අවට වායුගෝලයට මුදාහරින රාජ්‍යයන් 30 අතරින් එම කාණ්ඩයේ ඉහළින්ම සිටින රටවල් අතර ම පිහිටා ඇත්තේ අග්නිදිග ආසියානු කලාපය වීම සුවිශේෂිම සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. නොබෝදා (ඔක්තෝබර් 9) වියට්නාමයේදී පැවති අග්නිදිග ආසියානු කලාපීය සම්මේලනයේ දී එහි මහලේකම් වූ ආචාර්ය Kao Kim Hourn ප්‍රකාශ කොට ඇත්තේ ආසියානු රාජ්‍යයන්හි ඇති වී තිබෙන දේශගුණික විපර්යාස ගැටලුව කොතරම් බරපතළ ද යත්, එයින් ගැලවීමට නොහැකි තරමට එය විනාශකාරී වී ඇති බවයි. එබැවින්, එහි බලපෑම අවම කිරීමට කලාපීය සියලු රාජ්‍යයන් ඉතාම සමීපව එක්ව කටයුතු කළ යුතු බවත්ය. ආචාර්ය Kao වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශගුණික විපර්යාසයේ බලපෑම ගෝලීය තත්ත්වයක් බවත්ය. 2040 වන විට අග්නිදිග ආසියානු කලාපයේ බලශක්ති අවශ්‍යතාවය පවතින ප්‍රමාණයට වඩා දෙගුණයක් වන හෙයින් ඒ උදෙසා පිරිසිදු බලශක්තීන් (Clear energies) භාවිතයට යොමුවීම අත්‍යවශ්‍ය කරුණක් බවත්ය. කාබන් හරිතකරණ (Decarbonization) ක්‍රියාවලිය වෙන් වූ ස්වරූපයකින් භාවිත කිරීමේ අගය ද එතුමා මෙහිදී අවධාරණය කර ඇත.
නවතම වාර්තාවන්ට අනුව අග්නිදිග ආසියානු රාජ්‍යයන්හි, රජයන් ඉතා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් වායුගෝලයට කාබන් මුදාහැරීම පිළිබඳ ගැටලුවට ක්‍රියාකළ යුතු බව අවධාරණයට ලක් වී ඇත. මේ අතර අවම කාබන් මුදාහැරීමක් ඇති උපායමාර්ගික සංවර්ධන සැලසුම් කෙරෙහි අග්නිදිග ආසියානු කලාපය යොමුවීම ඉතාම ඉක්මනින් කළ යුතුව ඇත.
දේශගුණික විපර්යාසය, ගෝලීය අර්බුදයක් වන්නේ ඇයි?
දේශගුණික විපර්යාසය හේතුවෙන් අප අවට වායුගෝලීය උෂ්ණත්වය ඉතාම සැලකිය යුතු අන්දමින් ඉහළ යනු ලැබේ. හරිතවායු (Green gas emission) වායුගෝලයට එක්වීම, කාබන් මුදාහැරීම හේතුවෙන් වායුගෝලීය උෂ්ණත්වය අදහා ගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බව ගෝලීය දේශගුණික විද්‍යාඥයින් ඉතාමත් ස්ථාවරව තහවුරු කර ඇත. මෙය අද ඊයේ සිදුවූ සංසිද්ධියක් නොවන අතර, දශක ගණනාවක කාර්මීකරණය, නාගරීකරණය, වන විනාශය, හරිත පරිසරය විනාශ කිරීම ආදි මානව ක්‍රියාකාරකම්, තිරසර සංවර්ධන මාවතෙන් බැහැරව මානවයාට ඔරොත්තු නොදෙන අන්දමින් සිදු කිරීමේ අහිතකර ම ප්‍රතිඵලයන්ය. මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අර්බුදයක්ම මිස අන් කවරක් ද?
වායුගෝලීය උණුසුම මේ ආකාරයෙන් ගිණිය නොහැකි ආකාරයෙන් ඉහළ ගිය විට ලෝකයේ සාගරයන් මෙම වැඩිවන අතිරික්ත උෂ්ණත්වය අවශෝෂණය කර ගැනීමක් නිරායාසයෙන්ම සිදුවේ. එවිට උණුසුම් ජල ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මුහුදු මට්ටම් ඉහළ යාම සිදුවේ. මුහුදු මට්ටම ඉහළ යාම ලෝකයේ දූපත් රාජ්‍යයන්ට ඉතාමත් තර්ජනාත්මක බලපෑමක් එල්ල වන අතර නිල් පැසිපික් කලාපයම මෙම තර්ජනයන්ට දැඩිව මුහුණ දෙන කලාපයකි. 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වූයේ ද නිල් පැසිපික් රාජ්‍ය කලාපයක් වන සැමොආ රාජ්‍යයේ දී ය. එහිදී ද ගෝලීය දේශගුණික අර්බුදය දැඩිවම අවධාරණය කර ඇත. Apia Ocean Declaration නමින් ප්රකාශනයක් ද නිකුත් වී ඇත.
ගෝලීය දේශගුණික විද්‍යාඥයින්ට අනුව නිල් පැසිෆික් සාගර කලාපය හා අග්නිදිග ආසියානු කලාපය, ගෝලීය වශයෙන් දේශගුණික විපර්යාසයේ බලපෑමට දැඩිව හසු වූ සුවිශේෂි කලාප 2කි. මේ වන විට නිල් පැසිෆික් කලාපය, මුහුදු මට්ටම ගෝලීය සීමා බොහෝ සෙයින්ම ඉක්මවා ගොස් ඇත. 2024 අගෝස්තු මස පැසිපික් කලාපයේ ටොන්ගා රාජ්‍යයේ පැවති (පැසිෆික් රාජ්‍ය නායක පෝරමය (PIF)) ට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරස් මහතා මාධ්‍ය සාකච්ඡාවක දී පිරිස් දැනුම්වත් කර ඇත්තේ, මෙම කලාපයේ මුහුදු මට්ටම ඉහළ යාම සම්බන්ධ අනාගත ව්‍යාපෘති පිළිබඳවත් එහි වර්තමාන බලපෑම පිළිබඳවත් ඉතා පුළුල් ආකාරයෙන් හා සුවිශේෂි ඇගැයීමෙන් සලකා බැලීමේ වැදගත්කමක්ය. මෙම තත්ත්වය ඉතාම බැරෑරුම් ලෙස සලකා බැලීම මේ තුළ ගැබ්ව ඇත.
නිසැක වශයෙන්ම භූ දේශපාලනික ආතතිමය තත්ත්වයන් වර්ධනය වෙද්දී හා එහි තරගකාරීත්වය පැසිපික් සාගර කලාපය කෙරෙහි වන බලපෑම වැඩිවේ. ලෝකයේ කුඩා රාජ්‍යයන් මෙම තත්ත්ව අතර දෝලනයකට ලක්වීමක් සිදුවේ. ඇන්ටෝනියා ගුටාරස් මහතා පැසිපික් දූපත් පෝරමය ඔස්සේ, පැසිපික් නායකත්වය තුළින් සැලකිය යුතු අන්දමේ මූල්‍ය සහායක් ද කුඩා දූපත් රාජ්‍යයන්හි උද්ගතව ඇති දේශගුණික ව්‍යසන තත්ත්ව හමුවේ ලබාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී ඇත.
2024 ඔක්තෝබර් අවසන් භාගය වන විට ආසියාන් කලාපීය රාජ්‍යයක් ලෙස ඉන්දුනීසියාව වෙතින් වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මිලියන මෙට්‍රික් ටොන් 720ක් පමණ වේ. ආසියා – පැසිෆික් කලාපයේ විශාලතම ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් මුදාහරින රාජ්‍යයන් අතර 5 වන ස්ථානයේ ඉන්දුනීසියාව පැවතීම විශාල ගැටළුදායි තත්ත්වයක පවතී. වර්තමාන ගෝලීය ප්රවණතාවන්ට අනුව 2040 ට පෙර වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් වැඩිවන අතර 2040-2060 වන විට එය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 2 දක්වා වැඩිවීමට නිසැක වශයෙන් ම ඉඩ ඇති බව ගණන් බලා ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මානව වර්ගයාගේ අනාගතය හා පැවැත්ම ඉතාම ගැඹුරු ව්‍යසනයක නොවේද?
දේශගුණික විපර්යාසය තුළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරණය
එළඹෙන නොවැම්බර් 11-22 දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිමය රාමුවෙන් සම්පාදනය වූ සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. (Con 29) Conference of Parties නමින් හඳුන්වනු ලබන මෙම සමුළුව අවු. 15ක ට පසු ප්‍රථමවරට දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් නව ආකාර ගෝලීය ප්රවේශයකින් මෙන්ම නව සාමූහික, ප්‍රමාණාත්මක / අරමුණකින් සැලසුම් වී තිබීම සුවිශේෂිත්වයකි. ඔක්තෝබර් 21-26 සැමොආ රාජ්‍යයේ Apia අගනුවර හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය (CHOGAM) සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින්ට ද මෙයට සහභාගී වීමට අවස්ථාව උදාවන බව CHOGAM හිදී දැනුම් දී ඇත.
මේ සියලු තත්ත්වයන්ගේ පෙළ ගැස්ම තුළින් මතුවන යථාර්ථය වන්නේ, සමස්ත ලෝකයට දේශගුණික විපර්යාසයාත්මක ගැටලුවට ඉතාම හදිසි තත්ත්වයක් වශයෙන් සලකා අන්‍යෝන්‍ය එකඟතාවයෙන් හා එකමුතුවෙන් විසඳුම් සේවීමේ වේදිකාවට අවතීර්ණ වී ඇති බවයි. CHOGAM සැමොආ (Samoa) 2024 සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා අතිරේක මහකොමසාරිස්තුමිය වන මනෝරි මල්ලිකාරච්චි හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ (යුරෝපය හා උතුරු ඇමෙරිකාව නියෝජනය) කරනු ලබන අධ්යක්ෂ චතුර පෙරේරා සහභාගී වී ඇත.
“සැමගේම සුභසාධනය උදෙසා සැමටම ඔරොත්තු දෙන්නාවූ පොදු අනාගතයන්” යන තේමාව රැගත් මෙවර (CHOGAM) තුළින් ද දේශගුණික විපර්යාසය ඉතා පුළුල්ව ගෝලීය තලයේ ගැටළුවක් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇත. නයිජීරියානු උප ජනපති මේ තත්ත්වය අවධාරණ කර ඇත.
ගෝලීය දේශගුණික විපර්යාසය හමුවේ විවිධ ජාත්‍යන්තරික ප්රවේශයන් ඉදිරිපත්ව ඇති අතර, පැසිෆික් දූපත් දේශගුණික ක්‍රියාකාරී ජාලයේ (Pacific Island Climate Action Network) සින්ද්රා ෂර්මා මහතා පවසා ඇත්තේ, සංවර්ධික රටවල් ඉතා ඉක්මනින් පොසිල් බලශක්තීන් වායුගෝලයට පැතිරීම නවතා දැමීමට ක්‍රියාකළ යුතු බවයි. එමෙන්ම ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත Cop 29 (Cooperation of Parties) දේශගුණික සමුළුවේදී ද වායුගෝලයට මුදාහරින මීතේන් ප්‍රතිශතය අවම කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මෙම (Cop 29) සමුළුව රාජ්‍ය නායකයින් 200ක ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. ගෝලීය උණුසුම අවම කර ගැනීම, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ශක්තිමත්ව නැඟී සිටීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කර ගැනීම හා එය සාක්ෂාත් කර ගැනීම උදෙසා සංවර්ධනය වෙමින් පවතින් රටවලට අවශ්‍ය සහාය ලබාදීම ද මෙහිදී සාකච්ඡා වීමට නියමිතව ඇත.
එළඹෙන නොවැම්බර් 11 -22 දක්වා අසර්බයිජානයේ Baku (බාකු) නුවර දී දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිමය රාමුවෙන් සම්පාදනය වූ සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. (Cop 29) Conference of Parties නමින් හඳුන්වනු ලබන මෙම සමුළුව අවු. 15කට පසු ප්‍රථමවරට දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් නව ආකාර ගෝලීය ප්රවේශයකින් මෙන්ම නව සාමූහික, ප්‍රමාණාත්මක අරමුණකින් සැලසුම් වී තිබීම සුවිශේෂිත්වයකි.
ස්පාඤ්ඤ දරුණු ගංවතුර තත්ත්වය ගෝලීය බලපෑමක් ද?
පසුගිය සතියේ ස්පාඤ්ඤ රාජ්‍යයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් වැසියන් සිය ගණනක් මියයාම, ගෝලීය දේශගුණික විද්‍යාඥයින් විග්රහ කර ඇත්තේ, මේ තත්ත්වය උද්ගතවීම වත්මන් ලෝකයේ හදිසි තත්ත්වයක් ලෙස සලකනු ලබන “දේශගුණික විපර්යාසයේ” අහිතකර ප්‍රතිවිපාක ජාලයේ බලපෑමක් බවයි. ජාත්‍යන්තර කාලගුණ සමීක්ෂණයක වාර්තාවලට අනුව වර්ෂාපතනය පෙරට වඩා දෙගුණයකින් හා 12%කින් වැඩි වර්ධනය වීම මේ තත්ත්වයට බලපෑ ඇති බවයි. මෙම මහා පරිමාණ ගංවතුර තත්ත්වය ලෝකයේ සෙසු රටවල් වන වියට්නාමය, ඊජිප්තුව, බංග්ලාදේශය ද ඉතාම දරුණු අයුරින් මෙම ව්‍යසනයට නිරතුරුවම ලක්වන රටවල්ය.
එළඹෙන සතියේ අසර්බයිජානයේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සම්පාදනය කර ඇති දේශගුණික විපර්යාසයන් පිළිබඳ සමුළුවේ ප්‍රධාන අරමුණ ලෙස විස්තර වී ඇත්තේ, ඉදිරි සැලසුම් සඳහා රාජ්‍යයන්ගේ එකඟතාවය, අදහස් හුවමාරුවට හා නව යෝජනාවලට COP 29 මනා පිටිවහලක් වන බවයි.
එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල රජයේ නියෝජිතයන් පලස්තීන රාජ්‍යය, යුරෝපීය සංගමය ද ඇතුළත්ව සියලු නියෝජිතයන් 40000 – 50000 අතර විශාල ප්‍රමාණයක් මේ සමුළුවට සහභාගිත්වය අපේක්ෂා කොට ඇත. මේ ගොන්නට මාධ්‍යවේදීන්, දේශගුණික විද්‍යාඥයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් ආදි විවිධ ස්තරවල නියෝජනයෙන් හෙබි අන්තර්ජාතික සමුළුවන් ලෙස අභිමානයෙන් යුතුව පෙළ ගැසීමට නියමිතය.
පී. ආර්. දුෂාන්ති සිල්වා