කාලයක් තිස්සේ යටපත්ව තිබූ පරාටේ නීතිය පිළිබඳ මාතෘකාව යළිත් කරළියට පැමිණ තිබේ. එයට හේතු වූයේ ‘පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා පුද්ගලයන් සියයකට අධික පිරිසක් දිවි නසා ගත් බවට‘ පසුගිය දිනෙක පළ වූ පුවතක් නිසාය. මේ නිසා යළිත් පරාටේ නීතිය පිළිබඳව කතිකාවක් සමාජය පුරා නිර්මාණය වී තිබේ.
ඇත්තෙන්ම මොකක්ද මේ පරාටේ නීතිය?
‘පරාටේ නීතියෙන් හැඳින්වෙන්නේ බැංකුවකින් ණයක් ලබා ගැනීමේදී එම බැංකුව වෙත ඇප වශයෙන් ලබා දී ඇති දේපළ ඇපය ණය ලබාගත් පුද්ගලයාගේ විශේෂ අනුමැතියකින් තොරව, එනම් බැංකුවේ අභිමතය පරිදි අලෙවි කොට තම බැංකුවේ ණය සහ පොලිය හිමිකර ගැනීමට කරනු ලබන ක්රියාදාමයයි.
මෙහිදී බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට එම දේපළ තම සන්තකයට ගෙන බැංකුව සතු දේපළක් ලෙස අලෙවි කර තම මුදල් සහ පොලිය ලබා ගැනීමට පූර්ණ බලය හිමි වෙයි. ඒ සඳහා විශේෂයෙන් ණය ගැතියාගෙන් කිසිදු ආකාරයක විශේෂිත අවසරයක් ලබාගත යුතු නොවේ. මෙය ඇත්තෙන්ම ණය ලබාගත් පුද්ගලයා පැත්තෙන් බැලූ කල විශාල අසාධාරණයක් යැයි හැඟී යාමට ඉඩ ඇත. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ. ඒ ගනුදෙනුකරුවාට නැතහොත් ණයගැතියාට ණය ලබා දී ඇත්තේ බැංකුව සතු මුදල් නොවන බැවිනි. බැංකුව සතුව ඇත්තේ තැන්පත්කරුවන්ගේ මුදල් ය. එම මුදල් තැන්පත්කරුවන් ඉල්ලූ විට ආපසු ලබාදීමට කටයුතු කළ යුතුය. එසේ තැන්පත්කරුවන්ට ආපසු ගෙවීමට මුදල් නොමැති වුවහොත් එසේ නැත්නම් බැංකුවේ ‘ද්‍රවශීලතා මට්ටම‘ පහළ බැස ගියහොත් බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් විය හැකිය. එවිට තැන්පත්කරුවන් අමාරුවේය. එක් අයකුට යම් හෙයකින් ගෙවීම් පමාවුවහොත් සෙසු ගනුදෙනුකරුවන් ද කඩිනමින් මුදල් ආපසු ගැනීමට උත්සාහ කරනු ඇත. ඒ අනුව බැංකු පද්ධතිය බංකොලොත් බවට පත්වීමට ද ඉඩ ඇත. මේ තත්ත්වය ආර්ථික විද්‍යාවේ මැනවින් පෙන්වා දී ඇත. ඒ අනුව පරාටේ නීතිය මෙරට බලාත්මක කිරීම කාලයක් තිස්සේ සිදු විය. එහෙත් එය පුද්ගලයන්ට එරෙහිව බලාත්මක කරනු ලැබුවේ ඉතාම කලාතුරකිනි.
විශේෂයෙන්ම 1998 වසරට පෙර පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී තිබුණේ රජයට අයත් ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය බැංකු කිහිපයකට පමණි.
සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවස්ථාව
එහෙත් 1998 වසරේ අංක 4 දරන විශේෂ විධිවිධාන බැංකු පනතට අනුව පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවස්ථාව හිමි විය. ඒ අනුව සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කාගිල්ස් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, අමානා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, ඇතුළු අනෙකුත් ඕනෑම බැංකුවකට මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි විය.
ඒත් මෙහිදී සැලකිල්ල ගතයුතු තවත් කරුණක් ඇත. එනම් ඕනෑම ණය මුදලක් සඳහා මෙම පරාටේ නීතිය බැංකුයේ අභිමතය පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බවය. එනම් ලක්ෂ පනහක් නැතහොත් මිලියන 5 ඉක්මවා ලබා ගෙන නොගෙවා ඇති ණය සඳහා පමණක් පරාටේ නීතිය ක්‍රියාත්මක කළ හැකිය. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන්නේ අදාළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් හරහා ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමයි. ඊට පෙර ඒ සම්බන්ධයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම විස්තරාත්මක පුවත්පත් නිවේදන පළ කළ යුතු වේ. එම පුවත්පත් නිවේදන පළ කිරීමට අමතරව ණයගැතියා වෙත ද ඒ සම්බන්ධව ලියාපදිංචි තැපෑලෙන් කල් ඇතිවම දන්වා යැවිය යුතුවේ.
මෙය සාමාන්‍ය ක්රමවේදයයි. මෙහිදී මතුවන ගැටලුව වන්නේ ණයගැතියාට ඊට එරෙහිව විරෝධතා ගොනු කරමින් තහනම් නියෝගයක් පවා ගැනීමට ඇති අවස්ථා ඉතාම විරල වීමය.
එසේ ණයගැතියාගේ දේපළ අලෙවි කර තම බැංකුවට ගෙවීමට ඇති මුදල් සහ පොලිය අය කර ගන්නා බව පැහැදිලිව දක්වනු ලැබේ. එයින් පසු ප්‍රසිද්ධ වෙන්දේසියේ අදාළ දේපළ විකිණීමට කටයුතු කරනු ලැබේ. එම වෙන්දේසියේදී අදාළ දේපළ බැංකුවට අය විය යුතු මුදලට වඩා වැඩි මිලකට අලෙවි වුවහොත් බැංකුවට අයි විය යුතු මුදල සහ පොලිය සහ ඔවුන්ගේ අනෙකුත් ගාස්තුවලට අමතර ඉතිරි වන්නා වූ මුදල ණයගැතියා වෙත ලබාදීමට බැංකුව විසින් කටයුතු කළ යුතු වේ. එම දේපළ අලෙවිය සම්බන්ධ පැහැදිලි විස්තරාත්මක මූල්‍ය ගනුදෙනුවක් බැංකුව සතුවිය යුතුය. ඒ බව ණයගැතියාට ද දැන්විය යුතුය.
යම් හෙයකින් ලක්ෂ පහක් හෙවත් මිලියන 5කට අඩු ණය මුදල් අය කර ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද? එයට පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ ද? ඇත්තෙන්ම එයට ද පරාටේ නීතිය බලාත්මක කළ හැකි වනු ඇත.
අධිකරණයේ අනුමැතිය අවශ්‍යයි
එහෙත් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට පමණක් එම තීරණය ගත හැකි නොවේ. ඒ සඳහා තම බැංකුවට හිමිවිය යුතු මුදල අය යුතු පොලිය ඇතුළු අනෙකුත් ගාස්තු ආදී සියලු විස්තර අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. අධිකරණ නියෝගයක් මගින් නැතහොත් අධිකරණයේ නිසි අනුමැතියකින් පමණක් එම අවස්ථාවේදී පරාටේ නීතිය බලාත්මක කිරීමට අදාළ බැංකුවලට හැකියාව ලැබෙනු ඇත. එසේ නොමැතිව ලක්ෂ පනහකට නැතහොත් මිලියන 5 කට අඩු දේපළ සඳහා පරාටේ නීතිය තම අභිමතයට අනුව බැංකුවට ක්‍රියාත්මක කළ හැකි නොවේ.
2011 අංක 01 දරන බැංකු මඟින් ප්රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන ) පනත හරහා පරාටේ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පනවා තිබේ. කෙසේ වුවත් එහිදී බැංකුවට ඇති බලය වැඩිය. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය ඒකාධිකාරියක් ලෙස පෙනෙන්නට ඇත.
එක්වරම පරාටේ නීතිය ක්‍රියාත්මක වූයේ මෙරට ව්‍යාපාර කඩාවැටීමකට නැතහොත් බංකොළොත් තත්ත්වයට පත්වන තත්ත්වයට පත් වූ නිසාය.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය මෙන්ම මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ආර්ථිකයේ කඩාවැටීම සාමාන්‍ය ජනතාවට මෙන් ම ව්‍යාපාරික ප්‍රජාවට ද දැඩි සේ බලපෑවේය. මේ තත්ත්වය හමුවේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි ආර්ථික පීඩාවට පත් විය.
ඒ පීඩාව කෙතෙක්ද යත් ඇතැම් බැංකු දන්වා තිබුණේ මාසයක් දෙකක් වැනි කාලයකදී සියලු හිඟ ණය ගෙවන ලෙසයි. එයට මුහුණදෙන්නට ව්‍යාපාරිකයන්ට නොහැකි විය. ඔවුහු අතරමං වූහ.
ඒ තත්ත්වයක් යටතේ පරාටේ නීතිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. මේ තත්ත්වය ගැන 2023 වසරේ දෙසැම්බර් 21 වැනි දා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දුන් තත්ත්වය දැක පරාටේ නීතිය යටතේ සිය වත්කම් සහ දේපළ පවරා ගැනීමේ ක්‍රියාදාමය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ට කිසියම් නීතිමය රැකවරණයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන ලදී.
ව්‍යාපාරිකයන්ගේ එකමුතුව පැවැත්වූ විශේෂ සමුළුවකදී ඔහු ඒ බව පැවසුවේය. ඔහු පවසා සිටියේ පරාටේ නීතිය පිළිබඳව විශාල සංශෝධනයකින් පසු එම නීතියට අදාළව නව පනතක් ගෙන එනු ලබන බවයි.
තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
පරාටේ නීතිය අහෝසි කළ යුතු බවට විවිධ සමාජ කතිකාවන් නිර්මාණය විය. එහෙත් ආර්ථික විශේෂඥයෝ එය අනුමත නොකළහ. ඔවුහු පවසා සිටියේ පරාටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ණයගැතියන්ට සහනයක් ලබා දීම කළ යුතු බවත්ය.
විශේෂයෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී සිළුමිණ කළ විමසීමකදී පිළිතුරු දෙමින් පැවසුවේ බැංකු ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් භාවිත කරමින් වන හෙයින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පරාටේ නීතිය අත්‍යවශ්‍ය බවයි.
“තැන්පත්කරුවන්ගේ මුදල් ණය ගැතියන්ට ලබා දෙන්නෙ. ඒවා ආපසු නො ගෙවන්නේ නම්, බැංකුවලට අභියෝගයකට ලක් වීමට සිදුවනවා. නිසි ලෙස බැංකු ණය ආපසු නොගෙවන විට ඒවා නැවත අය කර ගැනීමට සුරැකුම් ලෙස තැබූ වත්කම් බැංකු විසින් පවරා ගැනීම කළ යුතුයි. පරාටේ නීතිය බලාත්මක වන්නේ ඒ අනුවයි. පරාටේ නීතිය මගින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. එය අත්‍යවශ්‍ය දෙයක්. මේ නීතිය ඉවත් කර ගන්නා ලෙස විවිධාකාර බලපෑම් කරන්නේ, බැංකු ණය නොගෙවන සුළු පිරිසක්. ඒ නීති ඉවත් කළහොත් එය අනාගතයේදී තැන්පත්කරුවන්ටත්, බැංකු පද්ධතියටත් සිදු කරන විශාල බලපෑමක් වනවා. එය රටේම ආර්ථිකයට පහරක් වන්නට පුළුවන්‘‘
කෙසේ වුවත් රටේ ව්‍යාපාරිකයන්ගේ හා සමාජයේ නැඟුණු විවිධ ඉල්ලීම් හමුවේ පරාටේ නීතිය මේ වසරේ දෙසැම්බර් මස 15 වන දා දක්වා අත්හිටුවන ලදී.
කෙසේ වුවත් දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානය පවසා තිබුණේ පරාටේ නීතිය නිසා 127 දෙනෙක් සිය දිවි නසාගෙන ඇති බවයි. එවැන්නක් තහවුරු වීමක් නම් නොමැත. ‘ආර්ථික අවපාතය’ හේතුවෙන් ව්‍යාපාර බිඳවැටී, බැංකු ණය ගෙවාගැනීමට නොහැකිවූ ව්‍යවසායකයන් අතරින් යම් පිරිසක් එලෙසින් කටයුතු කරන්නට ඇති නමුත් එතරම් සංඛ්‍යාවක් දිවි නසාගත් බවට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ වාර්තා වී නොමැත.
ආර්ථිකයේ විශාල කඩාවැටීමක්
ව්‍යාපාරිකයන් ගැන මෙන්ම බැංකු පද්ධතිය දෙසද අවධානය යොමු කළ යුතුමය. 2021 වසරේ ජනවාරි මාසය වන විට 4.8%ක් වූ බැංකුවල අක්‍රිය ණය ප්‍රතිශතය 2023 වසරේ ජූනි මස වන විට 13.4%ක් ලෙස ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් වාර්තා කර තිබුණි. එවැනි අවස්ථාවක පරාටේ නීතිය ක්‍රියාත්මක නොකළහොත් ආර්ථිකයේ විශාල කඩාවැටීමක් ඇති විය හැකිය.
2023 ජනවාරි මස සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 19ක් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා 173ක දී පමණක් බව පෙන්වා එවකට රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා විසින් පෙන්වා දී තිබුණි. ඔහු පෙන්වා දී තිබුණේ රුපියල් බිලියන 15ක ණය සඳහා පමණක් එම නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙරට බැංකුවල ඇති වත්කම්වලින් රජයට හෝ කොටස්කරුවන්ට අයත් වන්නේ 8% ක් වූ සුළු ප්‍රතිශතයක් පමණක් බවත්, අනෙක් සියල්ල 57,599,746 වූ තැන්පත්කරුවන් සතු බවත්, එම තැන්පත් ප්‍රමාණයෙන් 60%ක් ම රුපියල් 5000ට අඩු ගිණුම් බවත්, අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබුණි.
මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක ලෙස සැලකෙන ලංකා බැංකුව සහ මහජන බැංකුව ආරම්භ කළ පරමාර්ථ අනුව කටයුතු කළේ නම් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ගැටලුවක් නොවනු ඇත.
මහජන බැංකුව සහ ලංකා බැංකුව ආරම්භ කිරීමේ මූලික අරමුණුවලින් බැහැරව ඔවුන් පෞද්ගලික බැංකු සමග ලාභය ඉපයීම පරමාර්ථය කර ගැනීම් සිදු කළ හෙයින් මේ තත්ත්වය ඇති විය. සාමාන්‍යයෙන් රටක පැවතිය යුත්තේ බැංකු ක්‍රම දෙකකි. එයින් එක් බැංකු පද්ධතියක් වන්නේ සංවර්ධන බැංකු ව්‍යුහයයි. දෙවැන්න වාණිජ බැංකු ව්‍යුහයයි. එහෙත් මේ වනවිට මෙරට සියලු බැංකු වාණිජ බැංකු ලෙස පත් ව ඇත. 2020 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වීමෙන් පසුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන ලබා දෙන ලදී. එමෙන්ම කාබනික පොහොර ගැටලුව නිසා කෘෂි කර්මාන්තය ද කඩා වැටුණි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 52% ක් පමණ දායකත්වය ලබා දෙනු ලබන බවත් එම කර්මාන්තකරුවෝ පවසති. එවන් තත්ත්වයක් යටතේ 2023 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ පරාටේ නීතිය හේතුවෙන් ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපළ 1183 ක් බැංකු මඟින් පවරා ගෙන ඇති බව ඔවුහු පවසති. පසුගිය වසර කිහිපය තුළ හාර දහසකට ආසන්න දේපළ ප්‍රමාණයක් පරාටේ නීතිය යටතේ බැංකු සහ මූල්‍ය ආයතන පවරා ගෙන ඇති බවද ඔවුහු පවසති. පරාටේ නීතිය හේතුවෙන් 1400 ක පමණ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිරිසක් අගතියට පත්ව ඇති බව ද ඔවුහු වරින්වර මාධ්‍යයට ප්‍රකාශ කළහ.
එම සංඛ්‍යාවන් කෙසේ වුවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව පිළිගත යුතුය. එමෙන්ම බැංකු පද්ධතිය ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේ නොවුවහොත් මෙරට ආර්ථිකයේ කඩාවැටීම වේගවත් වනු ඇත. එය වැළැක්වීම සඳහා බැංකු හා මේ ණය ගැතියන් අතරමැදි විසඳුමකට ආ යුතුමය.
තාරක වික්‍රමසේකර