වර්ෂ 2024 ජුනි මාසය වන විට මෙරට සමස්ත ණය කන්ද ඩොලර් බිලියන 100.65ක් හෙවත් රුපියල් කෝටි තිස්තුන් ලක්ෂ තිස් දහසකි. මේ මහා ණය කන්දෙන් දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.49 කි. විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.54 කි. ඊට අමතරව මහා භාණ්ඩාගාරය ඇප වී රාජ්‍ය ආයතන සෘජුව ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.6කි.
මහා පරිමාණ ව්‍යාපෘති 260කින් රටේ ජනතාව ලබන ප්රතිලාභ කවරේ ද?
රට බංකොලොත් වනතුරු රුපියල් බිලියන නොව ට්‍රිලියන ගණනින් දෙස්, විදෙස් ‘ණය’ කඳු ගොඩ ගැසුණේ කෙසේද ? දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධික පොලියට ලබා ගෙන ඇති මේ ණය කඳුවලින් වැඩිමනක් වැය කර ඇත්තේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලටය.
එහෙත් එකී සංවර්ධන ව්‍යාපෘතිවලින් රටේ ජනතාවට ඉහළ ප්රතිලාභ ලැබී තිබේද ? ලැබෙමින් පවතීද? අනාගතයේ ලැබීමට නියමිතද? ඒ සඳහා වැය කර ඇති මහා ධනස්කන්දයට සාපේක්ෂව මූල්‍ය වත්කම් ප්‍රමාණයක් රට තුළ ස්ථාවරව පවතීද?
විගණකාධිපතිගේ වාර්තාවකට අනුව 2021 වන විට තිබිය යුතු ආයෝජන වත්කම් රුපියල් ට්‍රිලියන 8.19කින් ගිණුම් ගතවී ඇත්තේ රුපියල් ට්‍රිලියන 2.66කි. ගිණුම් ගතවී නැති ආයෝජන වත්කම් ප්‍රමාණයේ හිඩැස රුපියල් ට්‍රිලියන 5.535කි. (රුපියල් කෝටි පන් ලක්ෂ පනස් තුන් දහසකි)
වර්ෂ 2022 නොවැම්බර් මස 18 වැනිදා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඇඟ හිරි වැටෙන සංදේශයක් ඉදිරිපත් කළේය. අංක MF/PMM/05/CM/2022/26 යටතේ ඉදිරිපත් වූ එම ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් කියැවුණේ කුමක්දැයි විමසමු.
ව්‍යාපෘති 260ක මූල්‍ය වටිනාකම රුපියල් ට්‍රිලියන 5.8ක් හෙවත් රුපියල් කෝටි 5,80,000ක්
2012 වසරේ සිට 2022 දක්වා රටේ සියලුම රේඛීය අමාත්‍යාංශ පාහේ නියෝජනය කරමින් ඉහත ව්‍යාපෘති 260 ක්‍රියාත්මක වී තිබේ. එහි මූල්‍ය වටිනාකම ට්‍රිලියන 5.8ක් හෙවත් රුපියල් කෝටි පන්ලක්ෂ අසූ දහසකි. (රුපියල් කෝටි 5,80,000කි) ඉහත ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව 2022 අවසන් කාර්තුව වන විට එම ව්‍යාපෘති 260න් සතුටුදායක මට්ටමකින් ක්‍රියාත්මක වී ඇත්තේ සියයට 12කි. එනම් සාර්ථක යැයි කියා ඇති ව්‍යාපෘති ගණන 32කි. අසතුටුදායක ව්‍යාපෘති ප්‍රමාණය 228කි.
ඉහත රුපියල් කෝටි 5,80,000න් සියයට 45ක් විදේශීය ණය වන අතර, දේශීය අරමුදල්වලින් සිදු කර ඇති ප්‍රමාණය ව්‍යාපෘති 128කි. දේශීය ණයවලින් ව්‍යාපෘති 8කි. විදේශීය ණයවලින් දියත් කළ ව්‍යාපෘති ගණන 110කි. විදේශීය ප්‍රදානවලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන 14කි. (විදේශීය ණය සහ ප්‍රදානවලින් කර ඇති ව්‍යාපෘතිවල එකතුව 124කි)
වර්ෂ 2022 නොවැම්බර් 18 සමාලෝචනයට අමතරව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ හෙළිදරව්ව!
ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී 2023.11.21 වැනිදා හෙළිදරව් වූ කරුණු මෙසේය. විදේශීය මුදල් යොදවා දියත් කර ඇති ව්‍යාපෘති 279 න් සාධනීය මට්ටමක පවතින්නේ 31ක් පමණි. ඒ සඳහා රුපියල් ට්‍රිලියන 2.6ක් මුදලක් ලැබී තිබේ.
දියත් කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති මොනවාද ?
මහා මාර්ග ව්‍යාපෘති, අධිවේගී සහ මහාමාර්ග යා කෙරෙන මාර්ග ව්‍යාපෘති, ජාතික මහා මාර්ග, ග්‍රාමීය මාර්ග පද්ධති, ග්‍රාමීය මාර්ග, පාලම්, වරාය ටර්මිනල්, විදුලි ජනන, නව විදුලි බලාගාර, නගර හා ග්‍රාමීය පානීය ජල ව්‍යාපෘති, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති, පාසල් ගොඩනැඟිලි, ක්‍රීඩා මධ්‍යස්ථාන, රෝහල් ප්‍රතිසංස්කරණ, වකුගඩු ඩයලයිසීස් මධ්‍යස්ථාන, රෝහල් ගොඩනැඟිලි ආදිය වේ.
සැලසුම්කරණයක්, අධීක්ෂණයක්, ඇගයීමක් නැති ව්‍යාපෘතිවලින් රටට ලැබෙන යහපත කුමක්ද?
ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ එයින් රටට අත්විය යුතු ප්රතිලාභ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ, ආචාර්ය නීතිඥ අසේල කළුගම්පිටිය දරන්නේ මෙවැනි අදහසකි.
“ඉහත ව්‍යපෘති 260න් 153ක් කළමනාකරණය කරන්න ව්‍යාපෘති කළමනාකරණ ඒකක (Project Management Units) 135ක් තියෙනවා. එම Project Management Units 135ට මසකට රුපියල් මිලියන 500 – 600 මුදලක් වැය කරනවා. කාර්යාල, රියදුරන්, සේවක දීමනා, අතිකාල ආදී වැයබර විශාල එකක්. ඒ සියල්ලට සරිලන සේවාවක් මේ කළමනාකරණ ඒකකවලින් සිද්ධ වෙලා තියෙනවද ? මේසා විශාල ධනස්කන්දයක් වැය කරන ව්‍යාපෘති පොදු මහජන ප්රතිලාභ ලැබෙන අයුරින් නිශ්චිත කාලයකදී අවසන් කළා නම් මේ තරම් දරුණු ලෙස රටේ ආර්ථිකය කඩා වැටෙන්නෙ නෑ.
මේවා සොයා බැලීමට ව්‍යවස්ථාදායකයේ 225ක්, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ඊටත් අමතරව ඉහත සඳහන් ව්‍යාපෘති කළමනාකරණ ඒකක මේ සියල්ල තිබියදී තමයි ට්‍රිලියන ගණනින් වැය කරන මහා පරිමාණ ව්‍යාපෘති අසාර්ථක වෙන්නෙ. මේ කිසිවකුට, වගකීමක්, වගවීමක් නැද්ද?”
මේ මහා පරිමාණ ව්‍යාපෘති ගැන අධීක්ෂණ නිසි විදියට සිදු කරනවාද ? ඇගයීමට ලක්කරනවාද ? Monitoring and Evaluation කළාද ? මම නම් කියන්නෙ මේවා ආර්ථික අපරාධ නොවෙයි. ආර්ථික සමූල ඝාතන කියල.
මෙවැනි ව්‍යාපෘති පමණක් නොවෙයි. බොහෝ කටයුතුවල තිබෙන බරපතළම ප්රශ්නය තමයි නිසි සැලසුම්කරණයක් නොමැති වීම. ප්‍රතිපත්ති සම්පාදකයන් කුමක් කරනවාද දන්නෙ නෑ. දැන් බලන්න මේ වසර වෙද්දීත් දිළිඳු සහන දෙනවා පවුල් දාහත් ලක්ෂයකට. ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම්ලාභී රටක් නම් වසරින් වසර දිළිඳු සහන ආධාර ලබන ප්‍රමාණය වැඩි වන්නේ කෙසේද? දේශීය, විදේශීය වශයෙන් අධික පොලියට ණය අරගෙන සැලසුම්සහගත නොවන ව්‍යාපෘතිවලට හිරකරලා එකී ණය මුදල්වලට ගිනි පොලී ගෙවීම නිසා තමයි අද අප බරපතළ ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන්නේ.”
ව්‍යාපෘති ගැන ප්‍රගති සමාලෝචන වාර්තා
රනිල් වික්‍රමසිංහ රජය යටතේ ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2023 වසරේ කාර්තු කිහිපයත 2024 දෙවැනි කාර්තුවේදීත් මේ ව්‍යාපෘති ගැන ප්‍රගති සමාලෝචන වාර්තා කිහිපයක්ම නිකුත් කර තිබේ.
ඉහත සඳහන් කළ වාර්තා අතුරින් 2024 දෙවැනි කාර්තුවේ වාර්තාව සලකා බලන විට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රේඛීය අමාත්‍යාංශ විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව එකී වාර්තාව සකස් කර තිබේ. එම රේඛීය අමාත්‍යාංශවල තොරතුරු අනුව අදාළ ව්‍යාපෘති 226කින් ව්‍යාපෘති 126ක් 2024 වසරේ අවසන් කිරීමට නියමිත බව දක්වා තිබේ.
වර්ෂ 2022 නිකුත් කළ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව 2019 වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති ද නැවත 2024 අවසන් කිරීමේ පූර්වෝකථනයට භාජන කර තිබේ. 2024 දෙවැනි කාර්තුවේ නිකුත් කළ වාර්තාවේ එසේ සඳහන් වුවද, සමස්තයක් ලෙස ගත් කළ සියලුම ව්‍යාපෘතිවල තත්ත්වය ඉතා කනගාටුදායකය. මේ ව්‍යාපෘතිවලින් ජනතාවට ලැබිය යුතු ප්රතිලාභවල සැබෑම තත්ත්වය එකින් එක ගවේෂණය කර රටේ ජනතාවට හෙළිදරව් කිරීම ඉදිරියේ සිදු වනු ඇත.
රටට අණ බෙර ගැසූ “සුදු අලින්ගේ” ඇත්ත කතාව කුමක්ද?
හම්බන්තොට වරාය ඉදි කිරීමේ පළමු අදියර යටතේ වසර 15ක් සඳහා සියයට 6.3 පොලියට ලබාගෙන ඇති ණය මුදල ඩොලර් මිලියන 306කි. එම මුදල නොගෙවීම නිසා නොගෙවූ ණය වාරික සහ පොලී එකතුව 2022 අවසාන වන විට ඩොලර් මිලියන 766ක් වී තිබිණි. ඊට අමතරව ඉහත ණය මුදල මහා භාණ්ඩාගාරයේ විදේශ ණය ශීර්ෂයන්ට ඇතුළත් නොකොට රටේ සමස්ත ණය වසන් කිරීම පිණිස එම ණය ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිණුම්වලය.
ඉහත ඩොලර් මිලියන 766න් ණය මුදල අඩු කළ විට වැඩිපුර ගෙවීමට සිදුවී ඇති පොලී මුදල පමණක් ඩොලර් මිලියන 460කි. (අද 2024 වන විට එය කොතරම් ප්‍රමාණයකින් වැඩිවී තිබේද නොදනී.) 2016 යහපාලන රජය හම්බන්තොට වරාය වසර 99ක් සඳහා චීනයට බදු දුන් අතර, එහිදී ලැබුණු මුදල් අදාළ ණය ගෙවීම නොකොට කුමක් කළේ දැයි නොදනී.
පුත්තලම ගල් අඟුරු බලාගාරය, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාව, නෙළුම් කුලුන, මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල තත්ත්වය ද ඉහත වරාය ගනුදෙනුවට දෙවැනි නොවේ. ඒ සඳහා ලබාගෙන ඇති ණය මුදල් මහා භාණ්ඩාගාරයේ විදේශ ණය ශීර්ෂයන්ට ඇතුළත් නොකොට අදාළ ආයතනවල ගිණුම්ගත කර ඇත.
රටේ පොදු ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, ඔවුන් පාන් රාත්තලේ සිට ගෙවන බදු මුදල් ඇපයට තබා කිසිදු වගවීමක්, වගකීමක් නොමැතිව මේ ව්‍යාපෘති ආරම්භ කර තිබේ. තම හිතූ මනාපයේ කෝටි ප්‍රකෝටි ගණනින් ණය වී දියත් කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ඇත්ත අරමුණ ජනතාවගේ යහපත උදෙසා නොව කෝටි ප්‍රකෝටි ගණනින් තමන්ගේ මඩි තර කරගැනීමක් පමණක් බව මෙයින් පෙනී යයි.