Home » තනි පක්ෂයක් ලෙස අපි ජනතාව දිනා ගත්තා

තනි පක්ෂයක් ලෙස අපි ජනතාව දිනා ගත්තා

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ සඳුන් යාපා කරුණාරත්න

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ඔබේ දේශපාලන ගමනේ ආරම්භය පැහැදිලි කළොත්…?

ඇත්ත වශයෙන්ම මගේ පවුලේ තිබුණේ වාමාශික දේශපාලන පසුබිමක්. මගේ පියා යාපා කරුණාරත්න. ඔහු මාධ්‍යවේදියෙක්. විකල්ප ධාරාවේ පුවත්පත්වල ආභාසය අපේ නිවසේ තිබුණේ. ඒ නිසා යම් වාමවාදි දේශපාලන ප්‍රවාහයක් කරා අප රැගෙන යන්න එය ඉවහල් වුණා. එසේම මම කොළඹ ඩි. එස්. සේනානායක විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරණ කාලයේදී පාසල් සංවර්ධන පනතට විරුද්ධව ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ එකතු වෙලා උද්ඝෝෂණයක් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පන්ති තහනමකට ලක්වුණා. ඉන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ දී යම් කළකිරීම් මත දේශපාලනිකව විශාල මැදිහත් වීමක් සිදුවුණේ නැහැ. පසුකාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඉන් අනතුරුව වාමාශික දේශපාලනයේ නිරත වීම ආරම්භ කළා. එහි අවසාන ප්‍රතිඵලය ලෙස මම ජාතික විධායක සභාවට සම්බන්ධ වෙලා ජාතික ජනබලවේගය සමඟ දේශපාලන වේදිකාවට සම්බන්ධ වුණා. අද වනවිට රටේ යම් වෙනසක් කිරීමේ අරමුණින් ජාජබ වේගයෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුණා.

ගම්පහ දිස්ත්‍රික් කැලණිය ආසනයෙන් ඔබ ජාජබ මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාව තෝරා පත්කර ගත යුත්තේ ඇයි?

පක්ෂගත ඡන්දදායකයන්ට අවශ්‍ය මේ අවස්ථාවේ නිවැරදි දේ වටහා ගෙන ජනතාව ජයග්‍රහණය කරවන පාර්ලිමේන්තුවක් ගොඩනැඟීමයි. රාජ්‍ය බලයේ හිමිකරුවන් ජනතාවයි. රට ගැන හැඟිමෙන් කටයුතු කරන පිරිසක් අපිට අවශ්‍යයයි. මේ දේශපාලනය අපි වෙනස් කළ යුතුයි. විශේෂයෙන් ජාජබ ජාතික විධායක සභාවේ සිට කොට්ඨාස දක්වා විහිඳුණු පුළුල් පරාසයක් තියෙනවා. කොට්ඨාසවල ඉන්න ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන ජනතාව අතරට අපි ගියා. මේ රටේ දේශපාලනය වෙනසක් වියයුතු බව ජනතාව අවබෝධ කර තියෙනවා. ඒ නිසයි අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මතු කළේ.

නිතර ජාජබ වේදිකාවෙන් ඇසෙන්නේ උගත් වෘත්තිකයන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව . ඒත් මේ අලුත් මුහුණු ජනතාවා හඳුනන්නේ නැහැ නේද?

උගතුන් බුද්ධිමතුන්, වෘත්තිකයන් කලිනුත් මේ රටේ දේශාපාලනය කළා. අපේ විශේෂත්වයන් වන්නේ ඔවුන්ගේ දැනුම් සම්භාරය මේ ක්‍රියාවලියට එකතු කිරීමයි. ඒ අය රජයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාමාර්ගයට බද්ධ කළ යුතුයි. රාජ්‍යයක් හදන්න ඒ අයගේ දැනුම අවශ්‍යයයි උගත් බුද්ධිමත් වෘත්තිකයන් වූ පළියට ඒ දේ කරන්න බැහැ. ඊට වඩා වෙනස් පුළුල් අර්ථයෙන් ඒ දේ පැහැදිලි කර ගත යුතුයි. අපිට අවශ්‍ය උගත්කම විතරක් නොවෙයි; බිම්මට්ටමින් මිනිසුන්ගේ පොදු අවශ්‍යතා සමඟ පොදු යහපත පිළිබඳ අවබෝධයක් කටයුතු කරන වංචාව දූෂණය නැති පිරිසක්. ජනතාව සමඟ කටයුතු කරන අයයි අවශ්‍ය වන්නේ. සියලු ක්ෂේත්‍ර ආවරණය කරන පිරිසක් අපි තෝරාගත යුතුයි.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ වෙලාවේ හොරු නොවන හොඳ මිනිස්සු තමයි අපි ඉදිරිපත් කරන්නේ. පවුල් දේශපාලනයට මිනිසුන් දැන් විරුද්ධයි. අරගලයෙන් පසුව මිනිසුන් ජාතික ජනබලවේගය වටා එක්රොක් වෙන්නේ අදුෂිත දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි. ඒ තීන්දු තීරණ මත ජනතාව මේ වටා එකතුවෙලා තියෙන්නේ.

ජාජබ ජාතික විධායක සභාවේ මෙන්ම නීතිඥ සාමූහිකයේ සමාජිකයෙක් ලෙස රටේ සාධාරණ නීති පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවනේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ.?

නීතියේ ආධිපත්‍ය තියන ආණ්ඩුවක් හදන්න තමයි ජාජබ වටා අපි ඒකරාශි වෙලා ඉන්නේ. යුක්තිය සහ සාධාරණත්වය සහ නීති සම්පාදනය කළ යුතුය යන හැඟිමෙන් ජනතාව ජා ජ බලවේගය වටා ඒකරාශි වුණා. මේ දේශපාලන සංස්කෘතිය අපි මේ රටෙන් අතු ගා දාන්න අවශ්‍යයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අපි කටයුතු කරනවා. ඒ රාජ්‍යයක මූලික අයිතිවාසිකම් කෙසේද සැකසිය යුත්තේ කියලා ප්‍රජාන්ත්‍රවාදි හරයාත්මක ලක්ෂණ ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. රජයේ නිලධාරින් කොහොමද ජනතාව සමඟ ගනුදෙනු කරන්නේ කියන කරුණ මෙහිදි වැදගත් වෙනවා. විධායක ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සම්බන්ධයෙන් ජනතාවගේ අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කළ යුතුයි. අල්ලසින් සහ දූෂණයෙන් තොර රටක් හදන්නේ කොහොමද කියන කරුණාව ගැනත් අපි ඉදිරියේ දී කටයුතු කරනවා. හරයාත්මකව ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සුරැකීමට ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා.

ජනාධිපතිවරණයේ දී ඇතැම් පළාත්වලට ජාජබ නායත්වය පිළිබඳ පැහැදීමක් තිබුණේ නැහැ නේද?

පසුගිය ජනාධිපතිවරණයේදි ජාජබ එරෙහිව හැම දේශපාලන කඳවුරක්ම එකට එකතු වෙලා අපිට පහර ගැහුවා. එහෙත් තනි පක්ෂයක් ලෙස අපි ජනතාව දිනා ගත්තා. නමුත් ඔවුන් අත මුදල්, රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු දේවල් තිබුණා. මේ සියල්ල තිබියදී අපි තනිවම මේ ජනතාව ආමන්ත්‍රණය කළා. ජනතාව අපිව පිළි ගත්තා. නමුත් ඇතැම් පළාත්වල ජනතාව තුළ බිය වැද්දීම් ආගමික වශයෙන් ජනතාව කුපිත කිරීම් තිබුණා. අපිට ගහන්න පුළුවන් දේවල් සියල්ල යොදා ගත්තා. බුදුදහම නැතිවෙයි, මේ රටේ ලේවිලක් වෙයි කිව්වා. මොකුත් වුණේ නැහැ. අනුර සහෝදරයා බලයට පත් වීමත් සමඟ මේ රටෙ ඇතිවුණ දේශපාලන සංස්කෘතිය අපි දැක්කා. ජාතික ජනබලවේගයේ බිම් මට්ටමේ ජනතාව මේ වනවිට ආමන්ත්‍රණය කර තියෙනවා. ජනාධිපතිවරයෙක් ඉන්න පක්ෂයකට අනිවාර්යයෙන් ජනතාව ඡන්දය ලබා දෙනවා.

මේ වනවිට සජබ සහ පොජපෙ පක්ෂ අතර පවතින අර්බුදවල දේශපාලන වාසිය අත් කරගෙන තියෙන්නේ ජාජබ කියලා කිව්වොත්?

ඇත්ත වශයෙන්ම පසුගිය ඡන්දයේදි දුෂණ විරෝධි ආණ්ඩුවක ජනාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවය ජනතාව තහවුරු කළා. ජාතික සමගිය මිනිසුන්ට ජිවත්වීමට ආර්ථිකයක් යුක්තිය සහ සාමානාත්මතාවය හොඳ රටක් ගොඩ නැඟීමයි ජනතාවට වැදගත් වන්නේ. මේ අවස්ථාව් දූෂිත. මජර දේශපාලනය තුළ නිල් කොළ කඳවුරුවල දුෂිතයන් ජනතාව ප්‍රතිශේප කළා. හැබැයි ජනතාව ගුණාත්මකභාවය කියන දේ තෝරගෙන තියෙනවා. පුරවැසියා කියන්නේ සරලව රාජ්‍ය බලයේ අයිතිකරුවන්. ව්‍යවස්ථාදායක බලය අධිකරණ බලය තියෙන්නේ අපි සතුවයි කියන දේ ජනතාව විසින් පෙන්වා දුන්නා. ජනතාවගේ නියෝජිතයන් තමයි රාජ්‍ය බලය මෙහෙය විය යුතුයි. මෙය පුරවැසියා තේරුම් ගෙන කටයුතු කරන තැන අදූෂිත දේශපාලන සංස්කෘතියක් ඇති වෙනවා. අරගලය කියන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් කියලා කිව්වට ජනතාවගේ අවශ්‍යතාවයයි එහිදී මතු වුණේ.

අරගලය සිදුවුණේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා කියලා ඇතැමුන් කියන්නේ ඇයි.?

මම අහන්නේ මේ රට බංකොලොත් කළේ පෝලිම් ඇති කළේ මේ රටේ තෙල් ගෑස් නැතිවුණේ, සංචිත නැතිවුණේ කුමන්ත්‍රණයක් නිසාද? කාලාන්තරයක් තිස්සේ මේ රටේ දූෂිත දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවුණ දේවල්වලට කුමන්ත්‍රණ කියන්නේ කොහොමද? සැලසුම් කරලා කවුරුත් අරගල කළේ නැහැ. ජනතාවට මේ පීඩාව ඇති කළේ පාලකයෝ.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division