වැඩිමනත් උණුසුමක් නොමැතිව, මහමැතිවරණය කර මුලට පැමිණ තිබේ. මේ තරම් සිසිල් ආකාරයට මැතිවරණ ක්‍රියාදාමය පවතින්නේ දේශපාලන ක්‍රමයේ අයහපත් ලක්ෂණ සමස්තයක් ලෙස ජනතාව විසින් පසෙකට ඇද දමා ඇති බැවිනි. මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ සිට ඡන්දය දිනය තෙක්, සල්ලි විසි කරන යන්ත්‍රණයක් මේ රටේ ඡන්දය ලෙස අප අත් දැක තිබුණේය. බත් පැකට් එක සහ අරක්කු භාගයක් ලබාදී අතට කීයක් හෝ මිට මොළවා, පෙළපාළි සහ රැස්වීම් ආදිය සඳහා සෙනඟ ගෙන ගිය ආකාරය අපි දුටුවෙමු. ජනතාව ලෙස සුළු පිරිසක් ඒ සඳහා විරෝධය දැක්වූ නමුත් සමස්ත සමාජයම ඒ සුළු වාසිය තකා දේශපාලනයේ එවැනි චර්යා හමුවේ ‘අහෝ සැපයි’ කීවා හැර, අන් යමක් ප්‍රකාශ කළේ නැත. යන තාලයටම, අත්පුඩි ගැසීමේ විපාකය ලෙස අපට අහිමි වූ දෑ බොහෝය. එහෙයියන්ගේ වන්නම හේතුවෙන් මේ රටේ ජනතා පරමාධිපත්‍යයට සිදු වූ හානිය මහත්ය. ඡන්දය ලෙස අප ප්‍රකාශ කරනුයේ, ජනතා පරමාධිපත්‍යය. එය පස් වසරකට නියෝජිතයන් වෙත පවරා දීම, ඒ තරම් සැහැල්ලු ලෙස ගත යුත්තේ නැත.
සිළුමිණ අද අවධාරණය කරනුයේ මේ පවරාදීම විෂයෙහි අප ගත යුතු මඟ සම්බන්ධයෙනි.
අයිස්ලන්තය යන්න වචනාර්ථයෙන් අධික සීතලක් දනවන්නේය. එසේ වුවද එය ‘හිම සහ ගිනි දේශය’ ලෙස විරුදාවලි ලබා ඇත්තේය. සිසිල දනවන අයිස් සේම වහා පුපුරා යා හැකි ගිනි කඳු එහි බහුලය. අමෙරිකාවේ ඔහායෝ ජනපදයට සමාන වර්ග ප්‍රමාණයක් ඇති මේ රටේ වන භූමි නැත. ලෝකයේ කොයි කොන ගිය ද මදුරුවෝ ද නැත. රටට හමුදාවක් ද නැත. කිසිදු අධිරාජ්‍යයකට යටත් වී ද නැත. එවන් ‘නැත’ යන අර්ථය අතරේ ලෝකයේ පැරණිම පාර්ලිමේන්තුව ඇත්තේ මේ රටේය. අයිස්ලන්ත ජනයා සිය සාමාන්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා පවත්වන ලද රැස්වීම, පහු කාලය වන විට, එරට පාලන ව්‍යුහයක් බවට පත්විය. මෙය ක්‍රමයෙන් වර්ධනය වී රටේ ප්‍රධාන සමාජ ඉසව්ව බවට පත්විය. එය වසරේ එක් කාලයක රැස්වූ හෙයින් ගම් දනව් සිසාරා සිටි ජනතාව සිය පැමිණිලි, ප්‍රශ්න පිළිබඳව කතිකාවතට ඒ සඳහා පැමිණියේය. නිදහසේ සියලු මිනිසුන්ට සහභාගි විය හැකි, සමතල යන්ත්‍රණයක් ලෙස මේ සභා වාරය ක්‍රියාත්මක විය. සභාවේ මුලසුන දරන ලද්දේ නීති කථිකයා නම් නිලධාරියෙකි. එතැන් සිට අද දක්වාම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෙස මෙය ක්‍රියාවට නැඟී ඇත්තේය.
අයිස්ලන්තයේ කතාව වූ කලී, අතීතය ගෙනහැර දැක්වීමක් සඳහා ගන්නා ලද්දක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පැතිරී ඇති බලසීමාව සඳහා වූ කතිකාවතකට අයිස්ලන්තය මනා උදාහරණයකි. ආරම්භයේදී සමතල ආකාරයෙන් සියලු දෙනාගේ මතය නියෝජනය වූ ව්‍යුහය, වර්තමානයේ නව දිශානතියකින් ප්‍රජාතන්ත්‍රවාදය වෙත පැමිණ තිබේ. වත්මන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සමබරතාවය කෙසේද යත් ලෝකයේ පළමු ජනාධිපතිනිය පත් වන්නේ අයිස්ලන්තයෙනි. 2021 සැප්තැම්බර් මාසයේ පවත්වන ලද එරට මහමැතිවරණයෙන්, ආසන හැට තුනෙන් තිහකට පත්වූයේ කාන්තාවෝය.
එවන් සාධනීය ලක්ෂණ අබිබවා යමින් අයිස්ලන්තය ලෝකයට නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිර්මාණය කර දී තිබේ.
මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණය යනු පක්ෂ කිහිපයක දේශපාලන අනාගතය සඳහා වූ සටනක් යන මාතෘකාවෙන්, පොළා පැනිය යුතු කාලය දැන් එළැඹ තිබේ. මේ රටේ ජනතාව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය සෝදා හරින ලද්දේ වසර ගණනාවක සිටය. ශ්‍රීලනිපය අද පක්ෂ කාර්යාලයකට සහ නාම පුවරුවකට සීමා වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ද එදා තිබූ ඡන්ද පදනම ඈත් වී හමාරය. ඒවා මරාගෙන උපන් පක්ෂ ද මේ මොහොත වන විට අයින් ගසාගෙන සිටින ආකාරය පැහැදිලිය.
නව ජනතා බලවේගයක් ලෙස සංවිධානය වූ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වූ කලී මේ රටේ දේශපාලන නාභියේ සිදු වූ පුළුල් වෙනසකි. එවන් අලුත් හැඩයන් සඳහා ජනයා පෙළ ගැසෙන්නේ සිය මතය කාලයෙන් කාලයට කොල්ලකමින්, බලයෙන් ආඪ්‍ය වූ පිරිසක් කාලයෙන් කාලයට දමන මෝස්‌තර ඉවසාගත නොහැකි වූ බැවිනි.
සංවිචාරණ දේශපාලන අවකාශය යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත්ම නූතන ස්වරූපයය. මේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන මාදිලියම වන්නේය. අයිස්ලන්තය මේ ක්‍රමවේදය අනුව සිය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සේම මැතිවරණ ක්‍රියාදාමය ද දියත් කළේය. එම ක්‍රමවේදය අනුව දේශපාලනය පරම්පරා උරුමයක් නොවේ. ජනතා මතයට පටහැණිව ගොස්, බලහත්කාරයෙන් අටවා ගත හැකි යමක් නොවේ. නිරන්තර සංවාදයෙන් දියත් වන්නකි.
මේ මාදිලිය, ශ්‍රී ලංකාව විෂයෙහි අපට එකවිට භාවිතයට ගත නොහැක්කේය. එවන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සඳහා තව කාලයක් ගත වනු ඇත. එහෙත් පැමිණෙන මහමැතිවරණයේදී ජනතාව වෙත සිය අවශ්‍යතාව අවධාරණයට ලක් කළ හැක්කේය.
එය නම් කළ හැක්කේ වල් නෙළන සමයක් ලෙසය. වල් නෙළු පමණින් කෙතේ අස්වැන්න වැඩි දියුණු වන්නේ නැත. නියමාකාරයේ පැළ එහි වගා කළ යුත්තේය. මේ එම කාලය බව අපගේ අවධාරණය වේ. ගෙවී ගිය කාලය පුරා සාධනීය දේ පරයා ගල් බංගලාවක මෙහෙකාරයන් ලෙසින් කටයුතු කරන ලද අප සැම, දැන් පැමිණ සිටින්නේ ඒ යුගයේ ලෙන් දොර බිඳ දමා අලුත් මාවතකටය. ලෝකයේ ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී භාවිත මේ දේශය ද හැදෑරිය යුත්තේය. පාවිච්චියට ගත යුත්තේය. ඒ සඳහා පළමු පියවර එළැඹෙන සතියේ දාහතර වෙනිදාවේ අප අපටම ගත හැකිය.
තවදුරටත් අනුන්ගේ කරමත රටේ ඉරණම පටවා වසර පහක් තිස්සේ විස්සෝප විය යුතු නැත. කතිරය ගසන නියෝජිතයා සහ එම දේශපාලනය කවර ආකාරයේ ද යන්න විචක්ෂණව, සිතා බැලීමෙන් පමණක් මේ රටේ ජනතාවගේ අනාගතය පැහැබර කර ගත හැකි බව සිළුමිණ අදහස වේ.