මල්වාන නම් රඹුටන්. රඹුටන් නම් මල්වාන. ඒත් අද අපි මල්වානෙ යන්නෙනම් මායාවී ටෙලි පසුතලය සොයාගෙන. ඒ මේ දවස්වල ප්‍රේක්ෂකයන් අසීමිතව ආදරය කරන පවන්ගෙයි මංගේෂ්වරීගෙයි ආදර පලහිලව්වේ සැබෑම තත්ත්වය දැනගන්න. මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ආදරයක් ලබන පවන් (හෂාන්) මංගේෂ්වරී (සමාධි) මෙන්ම බර්ටි (ශාන්ත) සහ ශ්‍රියාමාලා (ධනුෂ්කා) හමුවෙන්නත් මෙය අපට කදිම අවස්ථාවක් වුණා.
සහාය අධ්යක්ෂ රුවන් එවල තිබුණු ලොකේෂන් එක හොයාගන්න අපි හිතුවටත් වඩා වැඩි කාලයක් ගත වුණත් කාටවත් විඩාබර බවක් නොදැනුණේ කොළ පැහැති ගහකොළින් පිරි වටපිටාවට වසඟ වුණ නිසා වෙන්නත් පුළුවන්. අද නම් හරියට ගමේ ගියා වගේ. එහෙම කිව්වේ අපේ රියැදුරු ඉෂාර. පටු මාවතක් ඔස්සේ ආ මඟ නිම වුණේ හැමදාම අපි තිරය මත දකින හිතෛෂිගෙයි මංගේෂ්වරීගෙයි නිවහන ඉදිරිපිට.
ගෙමිදුලේ ලොකු කලබැගෑනියක් වගේ. කැමරාවේ ඉලක්කය හසු වෙලා තිබුණේ ගේ දෙසට එන පවන්සිරි දිහාවට. මොකක්දෝ ගෝනියක් උස්සන් ඇවිත්. මොනව වෙන්න ඇද්ද ? හිතට ආව ප්‍රශ්නාර්ථයක් එක්කම මගේ නෙත යොමුවුණේ සිනහමුසු මුහුණින් අප වෙත එන සහාය අධ්යක්ෂ රුවන් දිහාවට. ඔහුගේ ආදරණීය පිළිගැනීමක් එක්කම අපිත් නිහඬවම ඔවුන්ගේ කාර්යයට සහාය වුණා.
පවන්සිරි දැන් හෙමින් ගේ දෙසට ඇවිද එනවා. දර්ශනය කැමරා කාචවල සටහන් වෙනවා. “කෝ බයිසිකලය“?කැමරා අධ්‍යක්ෂගේ වචනය පිටවෙන්නත් කලින්ම ප්‍රබෝධ එතැනින් ඉගිල්ලිලත් ඉවරයි. කැමරාව නැවත ඉලක්ක වෙන්නත් කලින් සහායක ප්‍රබෝධ බයිසිකලය ගහට හේත්තු කරන ගමන්. ඔවුන්ගේ කාර්යශූරත්වයට තව මොන උදාහරණද? දෙයක් කියන්නටත් පෙර ඔහු එය තේරුම් ගන්නා අපූරුව සැබැවින්ම මේ ක්ෂේත්රයේ ඉදිරි පැවැත්ම දෙස සුබවාදීව බැලීමට පෙලඹ වීමක් නොවන්නේද? දැන් නැවතත් සියල්ල සූදානම්ය. තව පොඩ්ඩක් ඉස්සරහට ඇවිත්ම මංගේෂ්වරී දිහා බලන්න. අපි රියර්සල් එකක් බලමු. පවන්ට අධ්යක්ෂවරයාගෙන් උපදෙසකි. “ගේ ඇතුළෙ නිශ්ශබ්ද වෙන්න“ ඒ පවන්ට දෙබස් මතක් කරමින් සිටි දෙවැනි සහාය අධ්‍යක්ෂගේ විධානයකි.
රෙඩී, කැමරා රෙඩී, ඇක්ෂන් එක පිට ලැබෙන විධානයන්ය.
“ඇයි මේ යකින්නක් වගේ” පවන්සිරිගේ ප්‍රශ්නයට මංගේෂ්වරීගෙන් කෝපය මුසු වැලපුමක් වැනි පිළිතුරකි.
“හෑ…. යකින්නක් වගේ මං…” අසමින් තම මව අත රැඳි තුවාය ගෙන ගසා දමමින් පවන්සිරි වෙත එන මංගේෂ්වරීය. පවන්සිරි ළඟට ආ විට ඇයගේ කෝපය කොහේ ගියාදැයි නැත. “මං කොණ්ඩෙ ගැට කඩල, බූල් බෑන්ඩ් එකක් දාගෙන සුටුස් ගාල එන්නම්. හැබැයි යන්නෙ එහෙම නෑ හොඳේ…“ කියමින් හුරතල් වුණු ඇය පවන්ගේ බඩ ද කොනිත්තමින් ගේ දෙසට දුවන්නේ රටක් රාජ්‍යයක් හිමිවූවා සේය. දෙබසේ වචන එහෙ මෙහෙ වීමෙන් ඇක්ෂන් කට් විධානයන් අතරේ කිහිපවිටක් රූගත කෙරුණු එම දසුන බලා සිටි සැමට සිනහව කැන්දුව බව නම් නොකියාම බැරිය. ශාන්ත, ධනුෂ්කා යුවළගෙන් හෂාන් සහ සමාධිට මෙතන මෙහෙම ආව නම් හොඳයිනේ ලෙසින් ලැබෙන ගුරුහරුකම්ය. ජ්‍යෙෂ්ඨ නවක පරම්පරා ගැටුමට තවත් ආදර්ශ කුමටද?
දර්ශනය නිමා වනවාත් සමඟින් ගෙතුළින් ඇසෙන්නේ සිහින් ගී රාවයකි. ෂා නියමයි ඒක ගානට ආවා. කවුද ඒ. බර්ටි අයියා තමයි. ඕඩියෝ ශිල්පියාගේ පැනයට කාගෙන්දෝ පිළිතුරක් ලැබුණි. ඊළඟ සීන් එකට සූදානම් වන තෙක් සෙට් එක උසුළු විසුළුවලින් පිරි සිනා සාගරයකි.
“පොඩි මාමලගෙ ගේ පිටිපස්සෙ වළං කොත ගහල තියෙනව දැකල මට මංගේෂ්වරී මතක් වුණා.“ පවන්සිරිට කොත වචනය පැටලීම හරියට සිංහල පන්තියකට ගියාක් මෙනි. ධනුෂ්කා, සමාධි ඇතුළු කණ්ඩායමෙන්ම තේරුම් සහිත පැහැදිලි කිරීම්ය. හරි දැන් සිංහල පන්තිය ඉවරයි පවන්සිරි ළමයට තේරුණාද? ඒ සමාධිය. කතාවට මංගේෂ්වරීගේ මව වුවත් සෙට් එකේදී ධනුෂ්කා කෙළිලොල් විනෝදකාමී චරිතයකි. චරිතය තුළ ඇය කොතරම් සීරියස් වුවත් සෙට් එකේදී ඇය හැසිරෙන්නේ කුඩා දැරියක මෙනි. විහිළු තහළුවලට ඇය නර්තන විලාශයෙන් ප්‍රතිචාර දක්වන්නීය. ඊටම නොදෙවෙනි (බර්ටි) ද විහිළු තහළුවට රුසියෙකි. පොඩි දේටත් කොක් හඬලා සිනා සෙන ඔහුගේ සිනහවට අනෙක් සියල්ලන්ටම සිනහව කැන්දන්නේ ඉබේටමය. බර්ටිට සෙට් වෙන හොඳම සහායකයා කැමරා අධ්යක්ෂ දිලීප බව අප හා පැවසුවේ සමාධිය. ඇය කීවාක් මෙන් විරාමයක් ලද සැණින් ඔවුන්ගේ සිනහ පිරි රසකතා හරියට නන්ස්ටොප් කැසට් පටයක් මෙනැයි අපටද සිතුණේ මොහොතක් ඔවුන් හා රැඳී සිටියදීය. ඇක්ෂන් කට් අතරේ දුවන ඔවුන්ගේ ජීවිතවල සැහැල්ලුව මෙවන් මොහොතකදී පමණක් බව සාක්ෂාත් කරමින් ඊළඟ දර්ශනය සඳහා විධානය ලැබුණි.
ඒ අතර මායාවී කණ්ඩායමට සත්කාරක සේවය සපයන සුමිත් අයියා අප වෙත ආවේ තේ පානයට ඇරයුම ද රැගෙනය. අප නිවසේ පිටුපසින් තේ පානය සඳහා කැඳවා ගිය ඔහු කේක් බිස්කට් සමඟ කහට ගානට දැමූ කිරි තේ අප වෙත පිළිගැන්වූවේ සුහදශීලීවය. ඒ අතරේ මවෙත ලැබුණු දුරකතන ඇමතුම නිෂ්පාදක ලලිත් වසන්ත අයියාගෙනි. “ඔයාල හොඳට වැඩේ කරගන්න. අපේ අය ඔක්කොම ඔයාලට සපෝර්ට් කරාවි.” ඒ වනවිටත් මායාවී කණ්ඩායමේ සුහදශීලීත්වය අප තුළ තිබූ ආගන්තුක හැඟීම පලවා හැර තිබිණි.
“මං මේ ප්‍රඩක්ෂන් එකත් එක්ක වැඩ කරන්නෙ ගොඩක් කාලෙක ඉඳන්. මේ තාක් කිසිම ගැටලුවක් වෙලා නෑ. මං වෙලාවට කලාවට කෑම බීම ටික දෙනවා. ඒ අයගෙනුත් කිසිම ගැටලුවක් නෑ.” ක්ෂේත්රයේ වසර 15ක අත්දැකීම් ඇති සුමිත්ගේ සේවාව සැබැවින්ම අගය කළ යුත්තකි.
ප්‍රේක්ෂක ඔබ තිරය මත නොදකින බොහෝ දේ කැමරාවට හසුකර ගන්නට වෙහෙසෙන දුෂ්මන්තට නොදෙවෙනි අන්දමින් නිව් මීඩියාහි ගයාන් ද තමන්ට අවැසි දේ ග්‍රහණය කර ගනිමින් සිටියි.
ලද ඉසිඹුවක මංගේෂ්වරී විවේකීව සිටි කාමරයට පිවිසුණු මම මේ දිනවල මංගේෂ්වරීට ලැබෙන ප්‍රතිචාර ගැන අසා බැලුවෙමි.
“හිතා ගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් අය සුබ පතනවා ඔයා හොඳටම කරනවා කියලා. මේ චරිතයට ලොකු ශක්තියක් දෙන්න ඕන. මොකද මේක සාමාන්‍ය චරිතයක් නෙවෙයි. ඇත්තම කිව්වොත් දවස ඉවර වෙද්දි මට හරිම වෙහෙසයි. මුහුණෙ මස් පිඬු රිදෙනවා. මුල් දවස්වල හරිම අමාරුයි. ඒත් මං හරි ආසාවෙන් කරන චරිතයක්.”
දිවා ආහාරය සඳහා ලැබුණු ඇරයුම මඳක් ප්‍රමාද කළ අපි මංගේෂ්වරී සහ පවන්ගේ ජායාරූප කිහිපයක් ගැනීමට වෙහෙසුනෙමු. අප ආහාර ගන්නට යන විට එතැන රසකතා සාගරයකි. මංගේෂ්වරී කෑම ගනිමින්ම මඟ හැරුණු ඇමතුම් සඳහා පිළිතුරු දෙමින් සිටියාය. ඇයත් නොදැනීම ඇය දුෂ්මන්තගේ කැමරා කාචයට හසු වූවාය.
කෑම ගන්නා අතරේ අප හා කතාබහට එක්වුණු ඇඳුම් නිර්මාණ ශිල්පියා කියා සිටියේ මායාවී ෂූටින් පටන් ගත්දා සිටම වැස්සෙන් බාධා ඇති වූ බවයි. පවන්සිරි කෑම පැයේ ද ප්රචාරක වැඩය. වීඩියෝ කරමින් වොයිස් කරමින් සමාජ මාධ්‍යයට මුදා හරින වීඩියෝවලට ලක්ෂ ගණනින් ලයික්, කමෙන්ට්ස් වැටෙන්නේ නම් ඔහුට කෑම ද අමතකය. දිවා ආහාරයේ රසය දෙගුණ තෙගුණ වන්නට ඔවුන්ගේ රස කතා හොඳටම ප්‍රමාණවත් විය.
දිවා විවේකයෙන් පසුව නැවතත් පවන්, ශ්‍රියා, බර්ටි පසුතලයේ සිටිය යුතුය. ඒ දෙවනි සහාය අධ්‍යක්ෂකගේ සිහි කැඳවීමකි. වේශ නිරූපණ ශිල්පී නිමේෂ්ට සිය කාරිය කර ගන්නට නොහැකිවේදෝයි සිතෙන තරමටම ඔවුන්ගේ කතා සිනහ ගන්වන සුලුය. ශ්‍රියා, බර්ටි යුවල තිරය ඉදිරියේ නයි මුගටි වූවාට තිරය පිටුපස ජාඩියට මූඩිය මෙනැයි මට සිතුණි. දෙදෙනා එක්ව හාස්‍ය උපදවන ගීත ඛණ්ඩ සිහිපත් කරමින් සිනාසෙයි. සමහර ගීත ඛණ්ඩ ඔවුන්ගෙන් ගිලිහෙන්නේ අප සිටින බවද අමතක කරමිනි. ඇක්ෂන් කට් අතරේ ගෙවෙන දවසේ මෙවන් අවස්ථා කොතරම් නම් සැහැල්ලු ද? විනෝදජනක ද ? පැය භාගයක විකාශන කාලය රූගත කරන්නට ඔවුන් දවස් ගණනක් වෙහෙසෙනවා විය හැකිය. එය තේරුම් ගැනීමට නම් ටෙලි පසුතලයක පිටුපස මෙවන් අත්දැකීමක් විඳිය යුතුමය. වසරක් පාසා ඇගැයීමට ලක්වන ඔවුන්ගේ දක්ෂතා සම්මානයක් ලෙස පිදීමේ වටිනාකම ඔවුන්ට මහමෙරක් මෙන් දැනෙන්නේ මෙනිසා විය හැකිය. තිරය පිටුපස සිට එහි බර උසුලන පිරිස ද බොහෝය.
නිවස වටා රවුමක් ගිය අපට එහි නිසසල බව සිත් ගත්තේය. මෙය දෙල්ගහ කනත්ත මහගෙදර ලෙස හඳුන්වන බව අප හා පැවැසුවේ එහි හිමිකරු වූ අජන්තය. ඔහු විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකි. මෙය තවත් ජනප්‍රියම ටෙලි නාට්‍ය කිහිපයක ලොකේෂන් බවට පත්වූ අයුරු ද ඔහු අප හා පැවැසීය.
සොබාදහමට නොදෙවෙනි අයුරින් මිනිස් ක්‍රියාකාරකම්වලින් මෙම කාර්යයට බාධා ඇති වන බවට හඟවමින් කිහිප විටක්ම විදුලි බලය ඇනහිටි බැවින් අප දවස නිමා කරන්නට සිතුවෙමු. ලද විරාමයේ සිනා පිරි රස කතා නැවත එළියට එන්නට වූයෙන් සිනහව අතරින් අප වාහනය දෙසට එද්දී අපට හමුවූයේ එහි ප්‍රවාහන පහසුකම් සපයන ප්‍රියන්ත ආරියදාසය. “ඔයා ඔහොම හිටියට කලා තරු රැසක් බිහි කරපු කෙනෙක්.“ පිටුපසින් සිටි සියල්ලෝම කීවේ එකා මෙනි. වසර 15ක් තිස්සේ කලාවට සේවය කරන ඔහුගේ උදවුවෙන් කලා ලොවට පෑයූ තරු අද දීප්තිය විහිදුවමින් බැබළෙන බව ඔහු පැවැසුවේ ද ආඩම්බරය මුසු නිහතමානී හැඟීමකිනි. තවත් අමතක නොවන රසවත් දවසක අවසානය එසේ සනිටුහන් කරමින් අපි එන්නට පිටත්වීමු.
මායාවී දායකත්වය
අධ්යක්ෂ – සඳුන් රාජකරුණා
නිෂ්පාදක – ලලිත් වසන්ත, සුගන්ධිකා
ජයනාත්, නීල් රුක්මන්
තිර පිටපත – මහේෂ් රත්සර මද්දුමආරච්චි
සංස්කරණය – වජිර පෙරේරා
කැමරා අධ්යක්ෂ – දිලීප
ගායනය සහ සංගීතය – දෙනුවන් කෞෂික, දිලුම් තේජන
රංගන දායකත්වය – සුධීක්ෂා සමාධි, හෂාන් රත්නායක, ධනුෂ්කා ජයරත්න, ශාන්ත ගාල්ලගේ, චානුක ප්රබුද්ධ, දුශේනි මියුරංගි,ශෙනායා වැන්හොෆ් ඇතුළු රංගන ශිල්පීන්
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න
නාමලී ගමගේ