14නා නා විධ අර්බුද මැද දිවෙන සිරිලක සිනමාව විෂයෙහි ප්රමුඛ චරිතම නිරූපණය කරමින් වසර ගණනාවක් තිස්සේ නොදැවී සිටින්නට සමත් වූ නළුවකු හෝ නිළියක හඳුනා ගැනීම එපමණටම පහසු නැහැ. මෙවැනි විටෙක පෙරට එන්නේම රසාලිප්ත විනෝදාත්මක සිනමාව වන බව සැබෑවක්. මන්ද සිනමා විචාරය කවර පිවිසුම් පෙන්නුම් කළද සිරිලක සිනමා කලාපය පුරාම තවදුරටත් රජයන්නේ එබඳු සිනමාපට නිසා. සිනමා කලාපයක යහපැවැත්ම උදෙසා හැම මාදිලියකම සිනමාපට ඇවැසි වනවා. එසේ හෙයින් රසාලිප්ත විනෝදාත්මක සිනමාපට බැහැර නොකිරීම අතිශයින්ම තර්කානුකූලයි. එසේම ඒ ඔස්සේ දත හැකි සමත්කම් ආදිය නොපැකිලව ඉස්මතු කරලීමද අත්‍යවශ්‍ය වූවක්.
මෙසේ විසි හය වසරක් පුරාවටම නොදැවී සිනමාපට හතළිහකට අධික සංඛ්‍යාවක පළමු පෙළ චරිත නිරූපණය කළ අර්ජුන් කමලනාත් මෙදවස හමුවන්නේ අකිලා සඳකැළුම් නිර්මාණය කළ ‘හදගැස්ම’ සිනමාපටයෙන්. අර්ජුන් ‘හදගැස්ම’ නිපැයුමටද දායක වී තිබෙනවා. එක්තරා සමයක උත්සන්න වූ සිනමා අර්බුද ජය ගනු පිණිස සිනමා නළු නිළියන් සේම සිනමාව හා බැඳුණු ශිල්පීන් සිනමා නිෂ්පාදනයට සපැමිණි වග අමතක කරන්නට බැහැ. එසේම සිනමා නිපැයුම සිය වගකීමක් කොට සැලකූ සිනමා නළු නිළියන්ගේ තීන්දු තීරණද මෙතැනදී සිහිපත් වනවා. විජය කුමාරතුංග, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, සෝනියා දිසා, නීටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස් මෙසේ සිනමා නිපැයුමට පැමිණ කළ මෙහෙවර නිර්මාණාත්මක වශයෙන් සේම සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්ද කැපී පෙනෙනවා. වෘත්තීය සිනමා නිපැයුම්කරුවන් හිඟ සිරිලකට මෙවැනි පිවිසුම් අත්‍යන්තයෙන්ම වැදහත් වන බව වෙසෙසින් කිව යුතු නැහැ.
‘හදගැස්ම’ නිපැයුමට පෙර අර්ජුන් නිපැයූ ‘ඝරසරප’, විද්වත් සිනමා රසික සමාජය පුරා පැතිර ගිය උණුසුම් කතිකා පොහොසත් කළේ නවමු ආකාරද සහිතව. අර්ජුන් බඳු රසාලිප්ත විනෝදාත්මක සිනමාවේ පළමු පෙළ නළුවකු ජයන්ත චන්ද්‍රසිරි වැනි සිනමාවෙන් ජීවිතය හා සමාජය විනිවිද දකින්නට උත්සුක වන සිනමාකරුවකු වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීම එක අතකට විරල සිදුවීමක්. මෙය තීව්ර වන්නේ ‘ඝරසරප’ හි කවර චරිතයක් වුව නිරූපණයට ඔහු නොපැමිණීම මේ යහපත් සිනමා නිපැයුම්කරුවකුගේ ලකුණක් වනවා. නිපැයුම්කරුම පළමු පෙළ චරිතයක් නිරූපණයට ගොස් රසික නොකැමැත්තට බඳුන් වූ අවස්ථා නිදසුන් ගණනාවකින් වුව ඉදිරිපත් කරන්නට පුළුවන්.
සිනමා තිරයේ විරුවකු හෝ සදාදරණීය පෙම්වතකු වීමේ සියලු සුදුසුකම් සපුරාගෙන සිටියද ‘හදගැස්ම’ හිදී අර්ජුන් නිරූපණය කරන්නේ කිසියම් සානුකම්පිත ලකුණු රැසක් සහිත චරිතයක්. මේ මැදිවියේ ධන හිමියෙක්. ව්‍යාපාර ජාලයක්ම ඔහු සතුයි. ඒවා ගොඩනඟා ගන්නේ අපරිමිත වෙහෙසකින් බවයි කියැවෙන්නේ. දයාබර පියඹට ඔහු කාරුණික සැමියෙක්. තමාට වඩා වයසින් බෙහෙවින් බාල යොවුන් නැඟෙනියට ඔහු සෙනෙහස දක්වන්නේ පියකු මෙන්. නැඟෙනියගේ හිතුවක්කාර ආදර කතාවට එකඟ නොවීමේ ඔහුගේ තීරණය දුර දිග යන්නේ ශෝචනීය ආකාරයෙන්. විජේමාන්න නමැති මේ ධනහිමියා අවසනදී වෙඩි තබාගෙන සිය දිවිය නිමා කර ගන්නවා.
මේ සමඟම මොහුගේ සීමිත හා අසීමිත මධු ලෝලිත්වය හුවා දැක්වීමටද සිනමාකරු තැත් කරන්නේ කිසිදු විරාමයකින් තොරව. තනිවම මත්පැන් තොලගාන විට කටගැස්ම සපයන්නේ පියඹ. සිය පුද්ගලික නීතිඥවරිය සමඟ නිවසේදීම මත්පැන් තොලගාන්නටද ඔහු සූදානම්. කාරුණික සැමියකු, ආදරබර සොහොයුරකු වන අතරතුර මෙවැනි චර්යාද අවධාරණය කිරීමෙන් අර්ජුන් අපේක්ෂා කරන්නේ දුලබ චරිත නිරූපණයකට ඇති කැමැත්ත විය යුතුයි.
පෙම්වතා හා විරුවා යන චරිත දිගින් දිගටම නිරූපණය කරමින් සිටි අර්ජුන් මෙවැනි විකල්ප ලකුණු සහිත චරිතයක් නිරූපණයට පැමිණීම දෙස විවෘතව බැලීම වැදගත්. වඩා ගැඹුරු හා සංකීර්ණ චරිත නිරූපණයට ඔහු කිසියම් උනන්දුවන් දක්වන බවද මේ ඔස්සේ රසිකයාට හැඟෙනවා. මෙවැනි චරිත රසිකයා හා අනන්‍ය නොවන තරම්. ඒ වග අර්ජුන් හොඳාකාරවම වටහාගෙන ඇති බව පැහැදිලියි. සිනමාපටයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පැවතියද අර්ජුන් මෙසේ පළ කරන අදහස සමකාලීන සිනමා නිපැයුම්කරුවනට සංජානනය වන්නට පුළුවන්.
වසර 2010 දී මුල්වරට ප්‍රදර්ශිත ‘සුදු හංසි’හි අර්ජුන් පළමු චරිතය නිරූපණය කරන්නේ තමා සතුව යම් රූපණ සමත්කමක් තිබෙන වග අවධාරණය කරමින්. මෙහිදී සේමිනි ඉද්දමල්ගොඩ ලබා දුන් සහයද කැපී පෙනෙනවා. ‘සුදු හංසි’ හෝ එහි අදියුරු මොහොමඩ් ෂෆ්රාස් සිනමා විචාරයේ ප්‍රමාණවත් සැලකිල්ලකට ලක් නොවීම අභාග්‍යයක්.
තුසිත ජයසුන්දර