දකුණු පළාතේ පාතාල කල්ලි අතර දිගින් දිගටම සිදුවන වෙඩි තබා ගැනීම් තවම ඉවරයක් නැත. මාස කීපයක නිහැඬියාවකින් පසු අම්බලන්ගොඩදී වෙඩි තැබීමේ සිදුවීමක් නැවත වාර්තා විය. ඒ, ඉකුත් 10 වැනිදා දහවල් කාලයේදීයි. දකුණු පළාතේ විශේෂයෙන්ම අම්බලන්ගොඩ, හික්කඩුව, බළපිටිය, කොස්ගොඩ, අහුන්ගල්ල, කරන්දෙණිය, ඌරගහ සහ රජ්ගම ප්‍රදේශ මූලිකකොට ක්‍රියාත්මක වන පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් දකුණු පළාතේ සිදුවන වෙඩි තැබීම්වලට හේතුව බව පොලිසිය සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
එලෙස දකුණු පළාතේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල නායකයන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරන වැටලීම්වලට බියෙන් ඩුබායි ඇතුළු රටවලට පලාගොස් එහි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් යොදවා මෙරට තුළ තුවක්කු පිස්තෝල භාවිත කරමින් මිනිස් ඝාතන සිදු කරමින් සිටී. විශේෂයෙන්ම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුම්වලට මුල් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි.
මෙලෙස ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් අතර දකුණු පළාත මුල්කොට සිදුවූ වෙඩි තැබීම්වලින් ඉකුත් වසර දෙකක පමණ කාලය තුළදී මනුෂ්‍ය ඝාතන 20කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.
මේ අතර ඉකුත් 10 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් ද අඹුසැමි යුවළක් එම ස්ථානයේදීම මිය ගියහ. ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුවූ එම වෙඩි තැබීමෙන් මිය ගියේ 47 හැවිරිදි එච්. වයි. රන්ජන් සහ ඔහුගේ බිරිය 50 හැවිරිදි නාමල් මල්ලිකා යන අඹුසැමියෝය.
එදින දහවල් එම යුවළ අම්බලන්ගොඩ සිට මාදම්පේ, උස්මුදලාවේ පිහිටි සිය නිවෙසට මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් තවත් මෝටර් බයිසිකලයකින් පැමිණි නාඳුනන දෙදෙනකුගෙන් පසුපැදිකරු විසින් එම අඹුසැමියන්ට වෙඩි තබා පලාගොස් තිබුණේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවමිනි.
එම වෙඩි තැබීම සඳහා ටී56 වර්ගයේ ස්වයංක්‍රිය නවීන ගිනිඅවියක් භාවිතකර ඇතැයි ඒ පිළිබඳ විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කරයි. එලෙස ඝාතනය කළ එම යුවළට දරුවන් තිදෙනෙක් සිටිති. රන්ජන් සහ නාමල් මල්ලිකා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇප මත මුදාහැර නිවසට පැමිණ තිබුණේ මීට දින කීපයකට පෙරදීය. ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැර නිවසට පැමිණීමෙන් පසු නිවෙසේ සිටියදී පසුගිය දිනවල දුරකතන ඇමතුම් දෙමින් ඇතැම් පුද්ගලයන්ගෙන් එම දෙපළට තර්ජන ද එල්ල වී තිබී ඇතැයි වාර්තා වේ.
දැනට පොලිසිය සිදුකරන විමර්ශන අනුව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි සිටින පාතාල නායකයකු විසින් කුලී ඝාතකයන් දෙදෙනෙකු යොදවා මෙකී ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කෙරේ. ඒ අනුව එම යුවළ ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි 26 හැවිරිදි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා විසින් කොන්ත්‍රාත්තුවක් දී සිදු කරන ලද්දක් බවට සැක කෙරේ.
සමන් කොල්ලා නමැත්තා විදේශගතව සිටින බවට සැල වේ. ඉකුත් මාර්තු මාසයේ 14 වැනිදා අලුයම සමන් කොල්ලාගේ අම්බලන්ගොඩ නිවෙසට ද වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල වී තිබිණි. එම ප්‍රහාරයෙන් සමන් කොල්ලාගේ පවුලේ ඥාතින් කිසිවකුටත් හානියක් සිදුවී තිබුණේ නැත.
එසේම ගිය වසරේ සමන් කොල්ලාගේ ගෝලයකු වන දොයියා නමැත්තා ද කපා-කොටා ඝාතනය කර තිබිණි. එම ඝාතනය සිදුකර තිබුණේ මෙදින ඝාතනය වූ රන්ජන්ගේ වැඩිමහල් සොහොයුරියගේ පුතුන් විසිනි. එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස රන්ජන්ගේ බිරිය මල්ලිකාගේ සොහොයුරකු ද අම්බලන්ගොඩ, කුලීගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී සමන් කොල්ලාගේ පාර්ශ්වය විසින් ඝාතනය කර තිබුණේ එම කාලවකවානුවේදීමය.
එම ඝාතනවල දිගුවක් මෙන්ම මත්ද්‍රව්‍ය ආරවුල් මත රන්ජන් සහ මල්ලිකාගේ ඝාතන ද සිදු වන්නට ඇතැයි විමර්ශන සිදු කරන නිලධාරින්ගේ සැකය එල්ල වී තිබේ.
එසේම රන්ජන් සහ මල්ලිකා අඹුසැමියන් ඝාතනය කළ ස්ථානයට මීටර් 50ක් පමණ දුරින් පිහිටි ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ වාහල්කඩ ඉදිරිපිටදී මෝටර් බයිසිකලයකින් යමින් සිටියදී වසන්ත සොයිසා නමැති පුද්ගලයා ද මෙලෙසම වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2022 වසරේ ජූලි මාසයේ 26 වැනිදාය. ඒ, ඊට මාස නවයකට පමණ පෙරදී බෙනට් අජිත් හෙවත් මාළු අජිත් නමැත්තකු වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙසිනි. අනතුරුව වසන්ත සොයිසා ඝාතනයට පළිගැනීමක් ලෙස වසන්තගේ පාර්ශ්වය විසින් බෙනට් අජිත්ගේ සොහොයුරු තිරිමාදුර විජිත් සහ අජිත් සුදර්ශන නමැති දෙදෙනා ඝාතනය කරන ලදි. ඒ වසන්ත සොයිසා ඝාතනය කළ දිනට පසු දිනය. එලෙස බෙනට් අජිත් සහ වසන්ත සොයිසා දෙපාර්ශ්වයේ ගැටුමෙන් ද ඉකුත් කාලය තුළ අම්බලන්ගොඩ ප්‍රදේශය මූලිකකොට ඝාතන සිදුවීම් 10කට ආසන්න සංඛ්‍යාවක් සිදු විය.
ඝාතනය කරන ලද රන්ජන් සහ මල්ලිකාගේ මළසිරුරු පිළිබඳව මෙන්ම ස්ථානීය පරීක්ෂණය බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේදී සිදු කෙරිණි.
මේ අතර රන්ජන් සහ මල්ලිකා අඹුසැමියන් ඝාතනයට නාඳුනන තුවක්කුකරුවන් පැමිණි බවට සැක කරන කළු පැහැති WP BBO 4765 දරන මෝටර් බයිසිකලයක් මීටියාගොඩ, වේරගොඩ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී මීටියාගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබිණි. එම මෝටර් බයිසිකලය මීට මාස හතරකට පමණ පෙරදී කඩවත ප්‍රදේශයෙන් සොරාගත් යතුරුපැදියක් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මේ ඝාතනයට සම්බන්ධ සිදුවීම්වල සුලමුල සෙවීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය සහ අවට පොලිස් ස්ථාන ඇතුළු දකුණු පළාතේ විශේෂ පොලිස් ඒකක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයෝ ද විමර්ශන සිදු කරමින් සිටිති.
ඡායාරූප – කරන්දෙණිය සමූහ
අනුරාධ ප්‍රියදර්ශන
අමිල මලවිසූරිය