පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දිගින් දිගටම සිදු කරන මෙහෙයුම් නිසා ඩුබායි ඇතුළු රටවලට පලාගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි නායකයන්ගේ සංඛ්‍යාව සියයකට වැඩිය. මෙවැනි පුද්ගලයන් 136 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය මේ වන විට රතු වරෙන්තු ද නිකුත් කර තිබේ.
මෙසේ ඩුබායි ඇතුළු විදෙස් රටවලට පලාගොස් සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් එම රටවල සිට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදු කරන්නේ ඔවුන්ගේ පැවැත්ම උදෙසාය. මෙලෙස මෙරට සිටින ගෝලබාලයන් මේ ජාවාරම්කරුවන්ගේ ජාවාරම් මෙහෙයවන්නේ විශාල මුදලක් ඔවුන්ට මේ ජාවාරම්වලින් ලැබෙන බැවිනි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විදෙස්ගත ජාවාරම්කරුවන්ගේ මෙරට සිටින ගෝලබාලයන් ගැන ඇස ගසාගෙන සිටින්නේ ද ඔවුන් සිදු කරන ජාවාරම්වලට වැට බැඳීම සඳහාය.
විදෙස්ගත මහා පරිමාණ මත් ජාවාරමුන්ගේ මෙරට සිටින ගෝලබාලයන් රොත්තක්ම පොලිස් අත්අඩංගුවට ගෙන මේ වන විටත් සිටින්නේ ‘ඇතුළේය’. එහෙත් ඒ අඩුපාඩු පිරවීමටත් තව තවත් ගෝලබාලයන් සූදානම් කිරීමට විදෙස්ගත මහා පරිමාණ ජාවාරමුන් කටයුතු යොදා ඇති බවක්ද පෙනෙන්නට තිබේ.
බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ද එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරන්නේද මේ වාගේම වැඩකි. මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය ඇතුළු රටපුරා බන්ධනාගාරවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් සංවිධානාත්මක අපරාධකරුවන් සහ කුලී ඝාතකයන් සැලකිය යුතු පිරිසක් රඳවා සිටින අතර, ඔවුන්ගේ ගෝලබාලයන් එළියේ සිට ක්‍රියාත්මක වන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ.
මෙරට ප්‍රකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන සිටින රූබන්ද මේ වන විට රැඳී සිටින්නේ ප්‍රංශයේය. ඔහුට ප්‍රංශ රූබන් යැයි කියන්නේද ඒ නිසාය. ප්‍රංශයේ සිටින රූබන් මෙරට සිටින සිය ගෝලබාලයන් යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යන්නේද කාලයක සිටය. ඒ කිසිවකුට හසු නොවන ලෙසයි.
ප්‍රංශ රූබන් ගැනත් ඔහු එරට සිට මෙරට සිටින ගෝලබාලයන් යොදවා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම ගැනත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් ‘ඇස ගසාගෙන’ සිටින්නේ අද ඊයෙක සිට නොවේ. ප්‍රංශ රූබන් එහි සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ‘ඉත්තන්’ ගැන එස්.ටී.එෆ්. බුද්ධි නිලධරයන් සොයා බැලුවේ එම ජාවාරම මුළුමනින්ම නවතා දැමීම සඳහාය.
ප්‍රංශ රූබන් මෙරට සිටින සිය ප්‍රධාන ගෝලයකු යොදාගෙන සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන සියලු තොරතුරු සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කඳවුරේ බුද්ධි නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය. එම නිලධාරීන් ඒ වන විට ප්‍රංශ රූබන්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන ප්‍රබල පුද්ගලයකු දෙස ඇස යොමාගෙන සිටියේ ඔහු කුමන මොහොතකදී හෝ අත්අඩංගුවට ගැනීම සඳහාය.
ප්‍රංශ රූබන්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයා ව්‍යාපාරිකයෙක් ලෙසද පෙනී සිටින බව එස්.ටී.එෆ්. බුද්ධි නිලධාරින් ඒ වන විටත් තොරතුරු හෙළි කරගෙන තිබිණි. සැකකරු මත්ද්‍රව්‍ය සමඟම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සැලසුම් සකස් කරන්නේ ඒ අනුවය.
අදාළ ව්‍යාපාරිකයා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටින බව එස්.ටී.එෆ්. බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබෙන්නේ අනතුරුවය. ඔහු වත්තල ප්‍රදේශයේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටින බවට ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ එස්.ටී.එෆ්. නිලධාරීන් ඔහු ගමන් කරමින් සිටි වාහනය හඳුනාගෙන එය පසුපස හඹාගොස් අත්අඩංගුවට ගන්නේ වත්තල අල්විස් ටවුන් මාර්ගයේ පාලම අසලදීය.
එසේ නැවැත්වූ සුඛෝපභෝගී වාහනය පරීක්ෂා කළ එස්. ටී. එෆ්. නිලධාරින් මුලින්ම සොයා ගන්නේ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 258 කි. තවදුරටත් එම වාහනය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් එහි තිබී සොයාගන්නේ රුපියල් අටලක්ෂ හැටනව දහස් අටසිය අනූවක මුදලකි. එම මුදල සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවට සැක කෙරිණි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධරයන් හෙළි කරගන්නේ සැකකරු කොලොන්න, පොතුවිල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය. ඔහු වත්තල කෙරවළපිටියේ තාවකාලිකව පදිංචි වී සිටින අයකු බවද හෙළි වන්නේ ඒ අනුවය.
සැකකරු සමඟ වත්තල කෙරවළපිටිය අදාළ නවාතැන් පොළට යන පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධරයෝ එම නවාතැන් පොළ පරීක්ෂා කරද්දී එහි සඟවා තිබුණ රුපියල් විසි දෙලක්ෂයක මුදල් සොයා ගන්නා ලදි. එම මුදල්ද මේ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ඒවා බවට සැක කෙරේ. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 41කි.
සැකකාර ජාවාරම්කරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු ප්‍රංශයේ වෙසෙන ප්‍රංශ රූබන් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය මෙරටදී බෙදාහරින පුද්ගලයන්ගෙන් එක් අයකු බවය.
සැකකරු වත්තල පොලිසියට භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසරය ලැබී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි කටයුතු විශේෂ මෙහෙයුම්, සංවිධානාත්මක අපරාධ මර්දන කටයුතු භාර සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකරගේ මෙහෙයවීමෙන් එස්. ටී.එෆ්. බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වාගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක ආර්. එම්. ඒ. පී. බී. රාජනායක ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
දීපාල් සමරසේකර