– ලංකාවේ බැංකු ණය දෙන්නේ දැනුමට නෙවෙයි. දේපළවලට…
– තමන්ගේ රටේ දේ මිලදී ගන්න. එවිට කර්මාන්තයක් හිස ඔසවනවා. රැකියා හැදෙනවා. ගමට රටට ආර්ථිකයක් හැදෙනවා…
– අපේ රටේ පාසල් දරුවන් ආපහු කැන්වස් සපත්තු පලඳින යුගය ඇති කළ යුතුයි…
– කොළඹ හතේ නෝනලාත් දැන් හොයන්නේ අපේ මල් බූට්ස්…
ඔබට ඕනේ දෙපා ආරක්ෂා කරන හොඳම වර්ගයේ බූට් සපත්තුවක් ද… එහෙමත් නැතිනම් ඔබේ බිරිඳගේ තරුණ දූගේ දෙපා ආරක්ෂා කරන ගමන් වෙනම පෙනුමක් ලස්සනක් එකතු කරන මල් ඉහිරුණු ෆැෂන් බූට්ස් දෙකක් ද… ඒත් නැත්නම් තරුණ පුතුගේ කඩවසම් බව වැඩි කරන ස්මාර්ට් බූට් සපත්තු යුගළයක් ද…
පිට රටවලින් එන මේ කොයික වුණත් දැන් ගිනි ගණන් ගෙවලා ගන්න අවශ්‍ය නැහැ. මොකද, මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන සහ ජාත්‍යන්තරයට තරගයක් දෙන්න පුළුවන් 100%ක් දේශීය සමාගමක් අපේ රටේම තිබෙනවා. එහි නිෂ්පාදනය වන්නේ වැඩබිම්වල හෝ අපිරිසුදු කානු පද්ධති සුද්ද කිරීම වැනි කඨෝර රාජකාරිවල දී දෙපා ආරක්ෂාවට පලඳින බූට් සපත්තු විතරක් නෙවෙයි. නව යෞවනයට ගැළපෙන Fashion Boots වර්ග ගණනාවක් ම ප්‍රථම වතාවට අපේ රටට ඔවුන් හඳුන්වා දී තිබෙනවා.
තවත් විදියකට කිව්වොත් Oleema කියන්නේ, අවුරුදු 20ක් තිස්සේ සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය Gum Boots වගේම, ආරක්ෂිත පාවහන් ගණයට වැටෙන සියලුම Safety Shoes, පාසල් දරුවන් සහ ක්‍රීඩාවේ යෙදෙන අය පලඳින Canvas Shoes මෙන්ම, සපත්තු නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන්ට අවශ්‍ය Rubber Shoe Sole නිෂ්පාදනය කරන අපේ රටේ දේශීය කර්මාන්තයක්. අපේ රටේ Gum Boots නිෂ්පාදනයේ සහ අලෙවියේ Market leader ඔවුන්.
එතෙකින් නොනැවතී ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ සියලුම පුද්ගල ආරක්ෂිත උපාංග නිෂ්පාදනය කරන සහ ගෙන්වා බෙදා හරින ආයතනයක්. 2012 වසරේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පිදුම් ලද ‘ජාතික රජත සම්මානයෙන්’ පටන් ගෙන මේ වන විට සම්මාන ගණනාවක් දිනා ගන්නා ලද විශිෂ්ට ආයතනයක්.
2016 – Flame Enterpreneur Awards, 2019 – Industrial Development Board (Smidex National Award Ceremony ) National Gold Winner, 2022 – Footwear, Leather, Leather Products And Allied Industries.
(Medium & Large Category) Gold Winner, 2023 – National Industry Excellence Award (Footwear Manufacturing Sector) Gold Award සහ 2024 – ජාතික සැපයුම් දාම කළමනාකරණ හෙවත්, National Supply Chain Excellence Awards Small Scale (Manufacturing) – 1St Runner Up… කියන්නේ, සිය කර්මාන්තය ඔස්සේ රටේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය උදෙසා ඔවුන් ලද විශිෂ්ට සම්මාන ඇගැයුම්.
රබර් බූට්ස් සහ PVC බූට්ස් ජෝඩු 25,000කට ආසන්න ප්‍රමාණයක් මාසිකව නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාව තුළ 80 දෙනකුට රැකියා අවස්ථා බිහි වී තිබෙනවා. හැම වර්ගයකම සපත්තු කන්ටේනර් ගණන් පිටරටවලින් ලංකාවට එද්දී, Gum Boots වෙළෙඳපොළ ස්ථාවරත්වය රැක ගන්නට Oleema සමාගමට හැකි වී තිබීම තවත් විශේෂත්වයක්.
හැමදේම පිට රටින් ගේන කාලෙක සහ මහ දැවැන්ත සමාගම් සපත්තු වෙළෙඳපොළ විසිරී පැතිරී තිබෙන කාලෙක මධ්‍ය පරිමාණ කර්මාන්තයක් වූ Oleema තරග කරන්නේ වෙනස්ම පරාසයකින්.
කරට කර සිද්ධවෙන මේ තරගය සුළුපටු එකක් නොවුණත් විශාල අයිතම පරාසයක් සතු,100%ක් දේශීය කර්මාන්ත ශාලාවක් ලංකාවට තියෙනවා කියන එක ම මොන තරම් ආඩම්බරයක් ද…
ඒ විතරක් නෙවෙයි, ‘ලංකාවටම එකයි…’ කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් බවට Oleema පත් වන්නේ තවත් විශේෂතා ගණනාවක් හින්දා.
Oleema සමාගමේ සභාපති, එස්.කේ. අජිත් ප්‍රියදර්ශන ඒ ගැන කියන්න සුදුසුම කෙනා. ඔහු රබර් සහ පොලිමර් කර්මාන්තයේ 20 වසරක අත්දැකීම් ඇති ප්‍රාමාණිකයෙක්. නවෝත්පාදකයෙක්.
“අප ලද සම්මාන ඇගැයුම් අතර, ආසන්නයේම හිමි කරගත් ජාතික සැපයුම් දාම කළමනාකරණ සම්මානය අපට විශාල ශක්තියක්. මොකද දේශීය කර්මාන්තයක් විදියට රැකී රක්ෂා උත්පාදනය කරමින් තරගකාරීත්වයට මුහුණ දෙමින් නවීන තාක්ෂණය මුසු යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් අප කරන මේ නිෂ්පාදන තුළ දේශීය සැපයුම් ජාලයට සාධනීය බලපෑමක් එක් කරන්නට හැකි වී තිබෙනවා. ඒ වගේම අපේ රටේ රබර් කර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙන්නටත් හැකි වී තිබෙනවා.
රබර් කියන්නේ මගේ ළමා කාලයත් එක්ක බැඳුණු දෙයක්. මේ දොම්පෙ, දෙල්ගොඩ අවට එදා ඕනෑ තරම් රබර් වතු තිබුණා. අපි ඔට්ටපාළුවලින් රබර් බෝල හැදුවා. වෙසක් කාලෙට කූඩු හදන්න රබර් පටි එකතු කළා. මම උසස් පෙළ අවසන් වුණාම, දෙහිවල කාර්මික විද්‍යාලයේ Diploma Academy පාඨමාලාව කළා. ඒ වෙලාවේ රජය ප්‍රාදේශීය විශ්වවිද්‍යාල හඳුන්වා දුන්නා. යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයට මාව තේරුණත් රටේ භීෂණ සමය නිසා ඒකට නොයා රජයෙන් ලබා දුන් NIBM උසස් අධ්‍යාපන ආයතනයේ පාඨමාලාව තෝරා ගත්තා. කළමනාකරණ පුහුණුව හැදෑරුවාට මගේ හිත තිබුණේ යම් නිෂ්පාදන කර්මාන්තයකට. එදා NIBM එකේ ඉගැන් වූ ගුරුවරු හිතට ධෛර්යය දුන්නා. මගේ නායකත්ව ගුණාංග අගය කළා. නිෂ්පාදන අංශයකට මාව යොමු කළේ ඔවුන්. ඒ අනුව NIBM ආයතනයෙන් සපත්තු පිටරට යවන කුඩා රබර් නිෂ්පාදන ආයතනයක පාර්ට් ටයිම් වැඩ කරන්න අවස්ථාව හදලා දුන්නා.
වාණිජ විෂයන් කරපු මම, අන්තිමේ මොරටු විශ්වවිද්‍යාලයේ පොලිමර් සයන්ස් ඉගෙන ගන්න ගිහින් රසායන විද්‍යාවත් හැදෑරුවා. ඒ වෙනකොටත් මම තව පොඩි ආයතනයක වැඩ කළා, පඩිය රුපියල් 2100යි. හැම මාසෙම ඒ මුළු මුදලම වගේ විශ්වවිද්‍යාල පාඨමාලාවට ගෙවලා රබර් තාක්ෂණ පාඨමාලාව හැදෑරුවා. පොලිමර් අංශයේ මහාචාර්ය ඊබට් සිල්වා මහත්මයා ඒ සඳහා මට අවස්ථාව දුන්නා. මොරටු විශ්වවිද්‍යාලයේ ලැබ් එක පැය පහක් නම් මට ලැබෙන්නේ, මම පැය පහළොවක් තිස්සේ ඒ ලැබ් එකේ වැඩ කළා. අලුත් වට්ටෝරු හදන්න රබර් තාක්ෂණය අත් හදා බැලුවා. අදටත් මට පුළුවන් යම් රබර් නිෂ්පාදනයක් දුටු පමණින් එහි අන්තර්ගතය කියන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අවුරුදු පහ හයකට වඩා දැනුම මම උකහා ගත්තා. වෙන කිසිම දෙයක් නෙවෙයි එතැන තිබුණේ මගේ උනන්දුව. අවුරුදු 25 ඉඳලා 32 වෙන කල් අවුරුදු හතක්ම මම මහන්සි වුණේ දැනුම උකහා ගන්න.
ව්‍යාපාරයක් කරන්න කිසිම අදහසක් තිබුණේ නැතත්, මම පුළුවන් හැම තැනින්ම තාක්ෂණය පිළිබඳ දැනුම ලබා ගත්තා. වැහිලා පාඩු වෙච්ච ආයතනවල මැෂින් විකුණන තැන්වලින් කිලෝ ගාණට ඒවා මිලදී ගත්තා. සමහර ඒවා යකඩවලට විකුණන්න දාපු පොඩි යන්ත්‍ර සූත්‍ර. අවුරුදු 38දී මං පොඩියට බිස්නස් එක පටන් ගත්තේ එහෙම එකතු කරපු පරණ මැෂින් කෑලි කිහිපයකින්. ලක්ෂ තුන හතරක ආයෝජනයක් වුණත් එතැන ලක්ෂ පහළොවක විස්සක වටිනාකමක් සහිත මැෂින් වර්ග තිබුණා.
මම හැම වෙලාවෙම බැලුවේ කඩවල්වල විකුණන්නේ නැති රබර් ආශ්රිත නිෂ්පාදනයක් කරන්න. ආරක්ෂිත පාවහන්වලට ඒ වෙලාවේ වෙළෙඳපොළ හිඩැසක් තිබෙන බව තේරුම් ගියේ ඒ සොයා බැලීම්වලින්. ඒ අනුවයි 2004 අවුරුද්දේ ගම්බූට් ආරක්ෂක සපත්තු හදන්න ගත්තේ.
හැබැයි ඒ අවුරුද්දේම දෙසැම්බර් මාසේ සුනාමිය ආවා. සුනාමියට පහුවදා මම බූට්ස් කුට්ටම් හතරක් බයිසිකලේ බැඳගෙන ජාතික රූපවාහිනියට යන්න පිටත් වුණේ සෞඛ්‍ය අංශයට ඒවා පරිත්‍යාග කරන්න. ඒත් ඒ ගමන මට යන්න වුණේ නැහැ. පිටකොටුවේ දී කෙනෙක් මාව නතර කළා. බයිසිකලේ බැඳලා තිබුණු.මගේ බූට්ස් ටික බලලා, ‘තව තියෙනවා ද…’ කියලා ඇහුවා. ඒ වෙනකොට මට විකුණා ගන්න බැරුව බූට්ස් ජෝඩු 300ක් ෆැක්ටරියේ තිබුණා.
‘හෙටම ලොරියක් එවනවා, මට ඒ තුන්සීයම දෙන්න. මේ හතරත් මට ඕනේ. හෙට ඉඳන් ඔයා අපිට බූට්ස් හදන්න…’ මං ආපහු හැරිලා ගෙදර ආවා. දෙසැම්බර් 28 වැනි දා මගේ ෆැක්ටරියේ ආයෙමත් වැඩ පටන් ගත්තා. හදන ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි කළා. මාව ප්‍රතික්ෂේප කරපු ලංකාවේ ලොකුම කොම්පැනිත් ආපහු කතා කරලා මගේ බූට්ස් ඉල්ලුවා. ඊළඟ අවුරුද්ද ජනවාරි වෙනකොට මං වාහනයකුත් ගත්තා. ඒ පටන් ගත් ගමන තමයි අවුරුදු 20 තවමත් මේ හැල්මේ එන්නේ.
අපේ රටේ මේ වෙනකොට PU හෙවත් Polyurethane සපත්තු වැහි වැහැලා. ඒවා ප්‍රතිචක්‍රීය කරන්න බැහැ. මාස හය පැන්න ගමන් කුඩු හැලෙන්න ගන්නවා. මේ කුඩු පරිසරයට එකතු වෙනවා. රබර්වලින් හැදුවාම සපත්තුව නැවත පාවිච්චියට ගන්න පුළුවන්. අපේ රබර්වලට හොඳ ඉල්ලුමක් පවතිනවා. මේ වෙනකොට අපි රබර් ෂීට් කිලෝවක් ගන්නේ රුපියල් 750 කට. රබර් ප්‍රධාන අමු ද්‍රව්‍යය වුණාට එහි Volume එක වැඩි කරන්න පිරවුම් කාරකයක් ලෙස කැල්සියම් කාබනේට් ඇතුළු තවත් අමුද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කරනවා. එවිට කිලෝ 4-5ක ඝනත්වයක් හැදෙනවා. ඒක තමයි බූට්ස් ඇතුළු ආරක්ෂිත පාවහන්වල අපේ ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය වන්නේ.
මේ දොම්පේ අවට රබර් තිබෙනවා. අවිස්සාවේල්ල සහ කළුතරින් තවත් දේශීය අමුද්‍රව්‍ය ගේනවා. රබර් මිල ඉහළයි. PU මිල අඩුයි හැබැයි හානි වැඩියි. හොඳම දේ තමයි PVC. එය, අතරමැදි අමුද්‍රව්‍යයක්. එය අපේ රටේ දේශගුණයට ගැළපෙන අමුද්‍රව්‍යයක්.
අද ක්ෂේත්රයේ තිබෙන ලොකුම ගැටලුව තමයි රේගු දැලෙන් රිංගා හොර රහසේම ලංකාවට කන්ටේනර් ගණන් විදේශීය සපත්තු එන එක. ඒවා අපේ නිෂ්පාදන මිලටත් අඩුවෙන් වෙළෙඳපොළේ තිබෙනවා. ඉතින් අපි කොහොමද දේශීය කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ. අපිට තරග කරන්න වෙන්නේ මහා පරිමාණ රටවලින් මේ විදියට හොර රහසේ ඇවිත් අඩුවට විකුණන ආරක්ෂිත පාවහන් එක්ක. අපි චීනෙන්වත් ඉන්දියාවෙන් වත් බඩු ගේන එක තහනම් කරන්න කියන්නේ නැහැ. ඒක දෙරටේ මිත්‍රත්වයට සුහදතාවට බලපානවා. අපි රජය අපහසුතාවට පත් කරන්න කැමැති නැහැ. හැබැයි අපි කියන්නේ කොලිටියෙන් උසස් බඩු ගේන්න. නියමිත බදු මුදල් අයකර වෙළෙඳපොළට දාන්න. අපි බදු ගෙවලා අමාරුවෙන් කර්මාන්තයක් ඇදගෙන යද්දී, මේ විදියට නිෂ්පාදන මිලටත් අඩුවෙන් කන්ටේනර් ගණන් හොර පාරෙන් එනකොට අපේ කර්මාන්ත පවත්වාගෙන යන්නට බැහැ. එවිට නැතිවෙන්නේ කර්මාන්තය විතරක් නෙවෙයි. රැකී රක්ෂා සහ පවුල් අසූවකගේ ආර්ථිකයක්.
එන අභියෝගවලට අපි කොහොම කොහොම හරි මුහුණ දුන්නා. බූට් හදන ගමන් කැන්වස් සපත්තු හදන්න සිතූ විට මම තෝරා ගත්තේ කොලිටියෙන් ඉහළ Vulcanized Shoes. මොකද එය ආනයනය කරන්න හිතාගෙන අත ගහපු වැඩක්. ශක්තිමත් නම්‍යශීලී සහ සැහැල්ලු රබර් පිටත තට්ටුවකින් සමන්විත ඒ කැන්වස් සපත්තුවලට පිටරට හොඳ ඉල්ලුමක් තිබුණා. නමුත් ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුඑවලින්, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්රයෙන් දිගින් දිගටම ආ ආරක්ෂිත පාවහන් ඉල්ලුම නිසා එය අපට මඟ හැරුණා.
ව්‍යාපාරය පටන්ගෙන අවුරුදු දහයක් විතර යද්දී, චීනෙන් PVC බූට්ස් ගලා එන ගත්තා. අපේ ව්‍යාපාරයත් වෙනස් වෙන්න ඕන තැනට ආවා. මම අති නවීන PVC මැෂින් ලංකාවට ගෙනාවා. ටිකෙන් ටික පිටරටින් ගේන බූට්ස් ප්‍රමාණය අඩු වෙන්න ගත්තා. අද වෙනකොට තරගකාරී මිලක් පවත්වා ගනිමින්, සැපයුම තවත් වර්ධනය කරන්න සහ වෙනස්ම මානයකට බූට් සපත්තු කලාව යොමු කරන්න මට හැකි වී තිබෙනවා.
ඒ අනුව මල් ඉහිරුණු හැඩැති බූට්ස් හඳුන්වා දුන්නා. කොළඹ හතේ නෝනලාත් වතු වැඩ කරන කොට දැන් පාවිච්චි කරන්නේ අපේ මේ මල් බූට්ස්. ඒ සඳහා විතරක් නෙවෙයි ෆැෂන්වලදී ත් බොහෝ අය දැන් මේ වර්ණ සහ රටාවලින් හැඩ වූ අපේ බූට්ස් පාවිච්චි කරනවා.
මම බිස්නස් කරද්දී System එකට යනවා කියලා පැත්තකට වෙලා ඉන්නේ නැහැ. හැම වෙලාවෙම Research and Development කරනවා. අපේ ඒ නිරන්තර පර්යේෂණ සහ සංවර්ධන ක්රියාවේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ විනිවිද පෙනෙන මල් බූට්ස් එළිදක්වන්න අපිට පුළුවන් වුණේ. චීනෙට කොරෝනා එද්දී මම හිතුවා මේක ලංකාවටත් එනවා කියලා. සෞඛ්‍ය අංශවලට නැතිවම බැරි දෙයක් වන බව මම සුනාමි අත්දැකීමෙන් ඉගෙන ගෙන තිබුණා. මම ඒ සඳහා විශාල ණයකට චීනෙන් අලුත් මැෂිමක් ගෙනාවා. ඒක වරායෙන් බාද්දී ලංකාව ලොක් ඩවුන් කරලා. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට අවස්ථාව ලැබුණා පිටරටවලට පවා අපේ බූට්ස් සහ ආරක්ෂිත පාවහන් යවන්න. ඒ නිසාම චීන සමාගමේ ණයත් ඉක්මණින් ගෙවලා ඉවර කළා.
පරම්පරාවෙන් ආ කිසි දෙයක් මට තිබුණේ නැහැ. අපේ අම්මා තාත්තට දෙන්න තිබුණේත් නැහැ. පොඩි ප්‍රාග්ධනයක් හොයාගෙන මං මේ බිස්නස් එකට අත ගැහුවේ මගේ දැනුම ගැන විශ්වාසයෙන්.
ලංකාවේ බැංකු දැනුමට ණය දෙන්නේ නැහැ. දේපළවලට විතරයි ණය දෙන්නේ. ඒ තමයි මේ රටේ කුඩා ව්‍යවසායකයන් මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය. කුඩා ව්‍යවසායකයන්ට ණය දෙන්න ඕනේ ව්‍යාපාරයක් නැඟිටින වෙලාවේ. දියුණු වුණාට පස්සේ ගෙදරට ඇවිත් ණය දුන්නත් වැඩක් නැහැ. අපේ රටේ බැංකු පද්ධතිය මේ මානුෂීය ක්‍රියාවලිය තේරුම් ගත යුතුයි. වෙනස් කළ යුතුයි.
මොකද, ව්‍යාපාර කරන කවුරුත් කාලෙන් කාලෙට විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටීමත් සමඟ අපේ ව්‍යාපාර යම් පමණකට ඇද වැටුණා. fashion boots සහ කාන්තාවන්ට ගැළපෙන ආකර්ෂණීය බූට් හැදුවේ එහි ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම සපත්තු දෙකයි කලිසමේ පහත කොටසයි ආරක්ෂා වන ආකාරයෙන් නිර්මාණය කළ බූට් එකක් අපි හඳුන්වා දුන්නා. එය බයිසිකල්වල වැඩට යන යට හුඟක් ප්‍රයෝජනවත් බූට් සපත්තුවක්. මේ විදියට විවිධ නවෝත්පාදන අපි නිරන්තරයෙන් සිදු කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටියේ පොලිමර් අංශයේ සිසුන් මගේ කර්මාන්ත ශාලාවේ වැඩ කරනවා. ඔවුන් මගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා වගේම, මමත් ඔවුන්ගෙන් බොහෝ දේ උකහා ගන්නවා. ලංකාවේ තරුණ ව්‍යවසායකත්ව මනස හදන්නට මේ සහසම්බන්ධතාව ඉතා වැදගත්. මම ඒ අවස්ථාව රටට දෙන්න සූදානම්.
මගේ එකම දුව යෙනුලි මිනුපමා. මම එයාටත් ඉගැන්නුවේ Industrial Management. ඒ වගේම එයා රබර් තාක්ෂණය සහ පොලිමර් සයන්ස් පිළිබඳ උපාධියක් හදාරනවා. මම කියන්නේ පුළුවන් තරම් කර්මාන්ත ක්ෂේත්රවල ඉන්න තරුණ අය පිටරට ප්‍රදර්ශනවලට යවන්නට ඕනේ. ඒවා දකින්නට සලස්වන්න ඕනේ. මේ මහ පොළොවේ කර්මාන්තයක් අරඹන්න, පවත්වාගෙන යන්න, රැකී රක්ෂා උත්පාදනය කරන්න, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න ඔවුන් තුළ ආශාව සහ දැනුම ඇති කරවන්න ඕනේ. මම මගේ කර්මාන්තය තුළ පුළුවන් උපරිම ලෙස එය කරනවා.
අනෙක තමයි මේ රටේ කර්මාන්ත කරුවන් මේ අලුත් රජය පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා. විශේෂයෙන් ජනාධිපති ලේකම්තුමා රේගුවේ හිටපු නිලධාරියකු නිසා ඔහුට කර්මාන්තය වෙනුවෙන් කළ හැකි දේ බොහෝයි. ලංකාවට බදු නොගෙවා හොර රහසේ එන බාල දේ නතර කරන්නට වැඩ පිළිවෙළක් හැදිය යුතුයි.
ඒ වගේම මේ රටේ ජනතාවත් තමන්ගේ රටේ දේ මිලදී ගන්නා ආකල්ප ඇති කර ගන්නට ඕනේ. රට වෙනස් වෙන්න ඕනේ කියලා කිව්වත් තමන්ගේ රටේ දේ මිලදී ගන්නේ නැතිනම් දේශීය කර්මාන්තයක් පවතින්නේ කොහොමද… රැකී රක්ෂා පවතින්නේ කොහොමද… ජනතාවත් තමන්ගේ දේ අගය කරන්න පුරුදු වෙන්නට ඕනේ.
මුළු රටක් දැන ගන්න ඕන වැදගත්ම දේ තමයි, ඉස්සර මේ රටේ පාසල් දරුවෝ කකුලට දාපු කැන්වස් සපත්තු තරම් හොඳ දෙයක් තවත් නැහැ. වැරැදි ආකල්පයක් සමාජ ගත වෙලා, ළමයින්ගේ පයට ඇඟිළිවලට සුවපහසු, දහඩිය උරා ගන්නා කැන්වස් සපත්තු වෙනුවට රෙක්සින් සපත්තු පුරුදු කරලා. මේවායින් ළමයින් අපහසුතාවට පත්වනවා. සමේ රෝග ඇති වනවා. සෑම පාසල් දරුවෙක්ම ආපහු කැන්වස් සපත්තු දෙකක් දාන යුගයට යා යුතුයි.
ලෝකයේ බොහෝ රටවල් පාසල් දරුවන්ට කැන්වස් සපත්තු නියම කර තිබිය දී, අපේ රටේ නොදන්නා කමට මේ වැරැදි ප්රවණතාවට නැඹුරු වෙලා. කර්මාන්ත කරුවෝ විදියට අපිට පුළුවන් සහන මිලට මේ දේ නිෂ්පාදනය කරන්න. හැබැයි රජයේ වැඩපිළිවෙළක් තිබෙන්නට ඕනේ, රටේ සෑම දරුවකුටම එය නිසි ලෙස ලැබෙන්න සලස්වන…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර