Home » පාඨක හඬ

පාඨක හඬ

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

‘අධ්‍යාපන අමාත්‍යතුමියනි’ ඔබේ අවධානය පිණිසයි!

අධ්‍යාපන අමාත්‍යතුමිය හා ජාජබ රජය මහජන කේන්ද්‍රීය වැඩ පි‍ළිවෙලකට අවතීර්ණව සිටින නිසා පහත කරුණ ගැන ඉක්මන් අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පෙර වසරවල මෙන්ම මෙවරද උසස් පෙළ සඳහා නගරයේ පාසල්වලට දරුවකු ඇතුළත් කිරීමේ දී රු. 12000 සිට 25000/ක අතර මුදලක් දෙමාපියන්ගෙන් අය කරයි. මේ වන විටත් බොහෝ පාසල්වල මුදල් අය කර ගෙන අවසන්ය. අදාළ මුදල නොගෙවා ඇතුළත් කර ගැනීමට නම් අඩු ආදායම් පවුලක් බවට ග්‍රාම නිලධාරී සහතිකයක් ඉල්ලා සිටිති.

දෙමාපියන් සිතන්නේ මෙය රජයේ නියමයක් ලෙසයි. දරුවන්ගේ පාසල් ගාස්තු සොයා ගැනීමට වෙහෙසෙන්නේ බොහෝ විට මව්වරුන් ය. කුලී වැඩ කරන අම්මා කෙනෙකුට රු 12000ක් වුව දැරිය නොහැකි මුදලකි. මේ මුදල ගෙවිය නොහැකි නිසා උසස් පෙළ අතහැර රැකියා සොයා යාමට ඇතැම් දරුවන්ට සිදු වී තිබේ.

එම නිසා මේ සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

‘දරුවන්ට රටක්’ ජාතික සංවිධානයේ සභාපති දයාසිසිර හේවා ගමගේ


සුන්දර උණවටුන අසුන්දර නොකරනු!

හබරාදුව සංචාරක කලාපයට අයත් උණවටුන නගරය හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන්නකි. එහි සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවීමෙන් මහජනයාට විවිධ දුෂ්කරතා විඳීමට සිදු වී ඇත.

උණවටුන නගරය තුළ සෑම පාරිභෝගික භාණ්ඩයක්ම ඇති සුපිරි වෙළෙඳසල් තිබුණ ද නගරය දෙපස පදික වේදිකාවක් නොමැති නිසා විදේශීය සංචාරකයන් මෙන්ම පොදු මහජනතාවද මහත් අපහසුතාවලට මුහුණ පෑමට සිදු ව තිබේ. එසේම පොදු ජල කරාමයක් හෝ පොදු වැසිකිළි, කැසිකිළි නොමැති නිසා විදේශීය සංචාරකයන් මහත් අපහසුතාවලට මුහුණ දෙති. අතුරු මාර්ග සඳහා කානු පද්ධතියක් නොමැති නිසා වැසි දිනවල දී පොදු මහජනතාව විවිධ අපහසුතාවලට ලක්වේ.

එසේම ගාල්ල දෙසට තිබෙන ඓතිහාසික වැල්ල දේවාල හන්දියේ තිබෙන බස් නැවතුම්පොළෙහි මගී ආවරණයක් නොමැති වීමද බලවත් අඩු පාඩුවකි. විදේශීය සංචාරකයන් රැඳී සිටින සහ විදේශීය සංචාරකයන් පැමිණෙන සුන්දර උණවටුන නගරය අසුන්දර නගරයක් නොකිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. මේ සම්බන්ධයෙන් කටයුතු නොකරන බලධාරීන් පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කරන මෙන් රජයෙන්ද ඉල්ලා සිටිමු.

වසන්ත ද සිල්වා – වැලිගම


රත්නපුර දිසාවේ ජනප්‍රිය පාසල් සහ රටබීම සාප්පු

රත්නපුර දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළේ ගැටලු ගණනාවකි. රත්නපුර, කහවත්ත, පැල්මඩුල්ල යන ප්‍රධාන බස් නැවතුම් පොළ පියැසි නොමැතිව වැස්සට තෙමෙයි. බස් නැවතුම්පොළ පරිශ්‍රය එකම මඩ වගුරකි. කුණු කසළ තැන තැන ය. වැස්සකදී හිරිකඩ නිසා එහි ඇතුළත නිතර ජලයෙන් පිරී තිබේ. මේවා පසුගිය සමයේ කොන්ත්‍රාත්කරුවන්ට පවරා ඇත්තේ අතයට ගණු දෙනු ලබාගනිමින් බව පැහැදිලිය. මේ තත්ත්වය මෙහි ඉදිකර ඇති සියලු බස් නැවතුම්පොළවලට පොදුය. මහජන මුදලින්‘ආත්තු’ වූ දේශපාලකයින් කොන්ත්‍රාත් වැඩ ‘වාත්තු’ කළ ආකාරය හෝ නිසි අධීක්ෂණක් නොකිරීම මේ ඉදිකිරීම්වල දෘශ්‍යමාන සත්‍යය යි.

එනමුදු රටබීම සාප්පු නම් සිත් ඇදගන්නා ආකාරයෙන් ජනප්‍රිය පාසල් වටා ස්ථානගත කර තිබේ. පැල්මඩුල්ල නගරයේ බස් නැවතුම්පොළ වටා බලපත්‍ර හිමි මත්පැන්හල් කිහිපයක් ම පිහිටා තිබේ. ඒවාට බලපත්‍ර දුන්නේ කොයි කාලයේ කවර දේශපාලනඥයාගේ උවමනාවටදැයි මෙහි ජනතාව හොඳින් දනිති. ඇතැම් රටබීම සාප්පු අන් අයෙකුගේ නමින් බලපත්‍රය ලබාගෙන දේශපාලකයන් විසින් මෙහෙයවමින් සිය ආදායම් මාර්ග පෝෂණය කර ගන්නා බව ජනතාව පවසති.

මෙම නගර තුනෙහිම ප්‍රධාන බැංකු, රෝහල ඇතුළු විවිධ සේවාවන් සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ද පිහිටා තිබේ . එහෙත් දැනට දශක ගණනාවකට පෙර සිටම අදාළ පළාත් පාලන ආයතන විසින් මේවා නඩත්තු කිරීම හෝ නඩත්තු කළ යුතු ආයතන නියාමනය කිරීමක් හෝ කළ බවක් දක්නට නැත. නගරවල බාහිර පරිසරය කුණු වූ ස්වභාවයක් ගනියි.

පැල්මඩුල්ල නගරාසන්න ජනප්‍රිය පාසල්වලට සහ ඉරිදා දහම් පාසල්වලට නුදුරින් රටබීමහල් පිහිටුවා තිබීම පැල්මඩුල්ලේ සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ. මේ නිසා පාසලකට හෝ ඉරිදා පැවැත්වෙන දහම් පාසලකට මීටර් 500ක් දුර නැති මත්පැන්හලකට බලපත්‍ර ලබාදෙන්නේ කෙසේ දැයි බලධාරීන්ගෙන් ජනතාව විමසති.

පැල්මඩුල්ල නගරයේ පිහිටුවා තිබෙන බලපත්‍ර හිමි වයින් ස්ටෝර්ස්හි ලිපිනයන් සහ බලපත්‍රලාභීන්ගේ නම් හා ලිපිනය හැර පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ඒ හා සම්බන්ධයෙන් වෙනත් කිසිදු තොරතුරක් නොදනියි.

පැල්මඩුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයට ඇති දුර මීටර් 300කටත් අඩු යැයි විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයකු අප සමඟ පැවැසීය. ගැටලුව වන්නේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපසම අරක්කු තැබෑරුමක් ස්ථාපිතව තිබීමය. අනෙක් අතට අරක්කු තැබෑරුමේ සිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට මහින්ද විදුහලට තරම්වත් දුරක් ඇත්තේ නැත. යථෝක්ත පාසල් දෙකම වසර 75කට වඩා පැරණි පාසල් දෙකකි. ප්‍රශ්නගත අරක්කු තැබෑරුම් එතරම් පැරණි නොවන බව ප්‍රදේශවාසීහු පවසති. පෙර සඳහන් කළ පැල්මඩුල්ලේ ධර්මෝලෝක විද්‍යාලය සම්බන්ධයෙන් ද ප්‍රස්තූත මත්පැන් අලෙවිසැල් කැටගරිය එපරිදිම ය.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් විෂයමාලා ප්‍රතිසංස්කරණය මතු නොව, ශිෂ්‍ය විනය සමඟ බැඳෙයි. එනිසා මෙබඳු කරුණු කෙරෙහිත් රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු ය.

අරක්කු බාර් සහ පාසල් අතර නිශ්චිත දුර සීමාව මීටර් 500 නම්, එයට ව්‍යාතිරේක වශයෙන් අරක්කු බාර් ස්ථාපනය නොවිය යුතු ය. එවැනි දුර සීමාවක් දැනට පැනවී නැත්නම් වහා ම ජාතියේ දරුවන්ගේ නාමයෙන් නිර්ණායක මූලික ක්‍රමවේදයකට අනුව දුර සීමාව නියම කළ යුතුය. දුර සීමාව දැනටමත් නීත්‍යනුකූලව පැනවී තිබේ නම් ප්‍රස්තූත ගැටලුව වූ මත්පැන් අලෙවිසල් වහාම ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

තුසිත් සාගර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division