විස්සයි 20 තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමට නවසීලන්ත ක්‍රිකට් පිල මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී. එම තරග අතුරින් මේ වෙද්දී එක්දින තරගාවලියේ පළමු තරගය අවසන් වී ඇති අතර, ඉතිරිව ඇත්තේ පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැනි හා තුන්වැනි එක්දින තරග පමණි. දෙපිල අතර දඹුල්ලේදී පැවැති තරග දෙකකින් යුතු විස්සයි 20 තරගාවලිය 1-1කින් සම විය.
වසර 1979 දී එංගලන්තයේ පැවති පෘඩන්ෂල් ලෝක කුසලාන එක්දින තරගාවලියේදී පළමු වරට නවසීලන්තය සමඟ එක්දින තරගයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව (මෙවර තරගාවලියේ පළමු එක්දින තරගයට පෙර) තරග 102කට ක්‍රීඩා කර ඇත. ශ්‍රී ලංකාව ඉන් තරග 41ක් ජයගැනීමට සමත් වූ අතර, තරග 52ක් පරාජයට පත්ව තිබේ. තවත් තරගයක් අවසන් වූයේ ලකුණු සම වීමෙනි.
දෙපිල අතර 1979 ලෝක කුසලානය යටතේ එංගලන්තයේ නොටින්හැම් නුවර පැවැති පළමු තරගයෙන් එවකට කෝඩුකාර කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුවද, පසුකාලීනව ශ්‍රී ලංකාව වෙතින් නවසීලන්තයට එල්ල වූයේ ප්‍රබල තර්ජනයකි. පළමු තරගයේ සිට 2016 ජනවාරිය දක්වා එක දිගට එක්දින තරග 5කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට නවසීලන්තය සමත් වූ අතර, ශ්‍රී ලංකා පිල සිය පළමු ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවේ 1983 ලෝක කුසලාන තරගාවලියේදීය. එවර ද එංගලන්තයේ පැවැති එම තරගාවලියේ ඩර්බි නුවර තරගයෙන් ශ්‍රී ලංකා පිල ජය ගත්තේ කඩුලු 3කිනි. එවකට එක්දින තරග එක් ඉනිමකට ඕවර 60ක් දක්වා ඇදී ගිය අතර, පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ඕවර 58කුත්, පන්දු 2කදී ලකුණු 181කට දවාලීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ වේග පන්දු යවන අසන්ත ද මෙල් කඩුලු 5ක් දවාලීමේ ස්වර්ණමය මතක සටහනත් සමඟිනි. ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කරමින් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 62ක් ද, රෝයි ඩයස් ලකුණු 64ක් ද රැස්කළ අතර, ශ්‍රී ලංකා පිල තරගය ජය ගත්තේ ඕවර 52කුත්, පන්දු 5කදී කඩුලු 7ක් වැය කරමිනි.
ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය කාලපරිච්ඡේදය
අනතුරුව දෙපිල අතර වරින් වර දෝලනය වූ එක්දින තරග ජයග්‍රහණය 1997 මැයි 20 වැනිදා ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර පැවැති ඉන්දීය 50 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් පැවැති තරගාවලියේදී ලැබූ ලකුණු 52 ක ජයග්‍රහණයේ සිට 2001 පෙබරවාරි 8 වැනිදා නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැති තරගයෙන් ලැබූ ලකුණු 3ක තියුණු ජයග්‍රහණය දක්වා අඛණ්ඩව තරග 8ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීම කැපී පෙනිණි. එම කාලසීමාව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ද විය. එම ජයග්‍රහණ වාර්තා වූයේ විශේෂයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයත් සමඟ අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, හෂාන් තිලකරත්න, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, කුමාර් ධර්මසේන, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ දස්කම් මතිනි. අනතුරුව 2010 අගෝස්තුවේ දඹුල්ලේ පැවති තරගයෙන් කඩුලු 3ක් ජයක් ලබමින් 2012 නොවැම්බරය දක්වා තරග 6කදී සිය ප්‍රතිවාදියාට හිස එසැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ නොතැබූහ. එවර කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ නායකත්වයත් සමඟ තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ඇන්ජෙලෝ මැතිව්ස්, රංගන හේරත්, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ. එහෙත් 2016 ජනවාරියේ සිට මෙවර තරගාවලිය දක්වා (පළමු එක්දින තරගයට පෙර) අඛණ්ඩව තරග 8ක් ජයගැනීමට නවසීලන්තය සමත් විය.
කීර්තිය අත්කර ගැනීමේ අභියෝගය
එබැවින් මෙවර දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට නැවත සිය ගෞරවය රැක ගනිමින් එක්දින තරග බිමේ කීර්තිය අත්කර ගැනීමේ අභියෝගය කරපින්නා ගැනීමට සිදුව තිබූ අතර, මේ වන විට ශ්‍රී ලංකා පිල පෙර නොවූ විරූ අයුරින් යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස ජාත්‍යන්තර පිටියේ දස්කම් අතර පසුවීම ඊට ප්‍රබල සාධකයක් බවට ද පත්වනු නිසැකය. විශේෂයෙන් කාලයක් පුරා නවසීලන්ත පන්දු යවන්නන්ට හිසරදයක් ගෙනදුන් ‘මාස්ටර් බ්ලාස්ටර්‘ සනත් ජයසූරිය වර්තමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා පිලට හැම අතින්ම වාසිදායක තත්ත්වයක්ද, ක්‍රීඩකයන්ට අවශ්‍ය නිසි දිරිගැන්වීමක්ද ලැබී තිබේ.
එතෙක් මෙතෙක් දෙපිල අතර පැවැති 100කට වැඩි එක්දින තරගවලදී වැඩිම ලකුණුලාභියා බවට පත්වී සිටින්නේ කුමාර් සංගක්කාර ය. ඔහු නවසීලන්තයට එරෙහිව එක්දින තරග 47කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 1568කි. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 12ක් ඇතුළත් ය. මීට අමතරව සනත් ජයසූරිය ද තරග 47කදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් සමස්ත ලකුණු 1519ක් රැස් කිරීමට සමත්වූ අතර, එහිදී ශතක 5ක් සහ අර්ධ ශතක 8ක් ලබා ගැනීමට සමත් විය. තුන්වැනි තැන පසුවන මහේල ජයවර්ධන තරග 50කදි ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 1326ක් ද, සිව්වැනි තැන සිටින තිලකරත්න ඩිල්ෂාන් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමඟ මුළු ලකුණු 1308ක් ද, මාවන් අතපත්තු තරග 30කදී අර්ධ ශතක 8ක් සමඟ මුළු ලකුණු 908ක් ද රැස් කිරීමට සමත් වූ අතර, නවසීලන්ත පිතිකරුවකු එම ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නේ 6 වැනියා හැටියටය.
නවසීලන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 34කට ක්‍රීඩා කළ රොස් ටේලර් මුළු ලකුණු 881ක් රැස් කළ අතර, ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් ඇතුළත්ය. දෙපිල අතර එතෙක් මෙතෙක් වැඩිම එක්දින කඩුලුලාභියා වන්නේ මුත්තයියා මුරලිදරන් ය. ඔහු නවසීලන්තයට එරෙහිව තරග 41කට ක්‍රීඩා කරමින් කඩුලු 74ක් දවාගනිද්දී, චමින්ද වාස් තරග 35කට ක්‍රීඩා කරමින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 49කි. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සනත් ජයසූරිය කඩුලු 38ක් ද, ලසිත් මාලිංග කඩුලු 36ක් ද බිඳ දමා ඇති අතර, එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්ව සිටින නවසීලන්තයේ කයිලි මිල්ස් තරග 21කදී කඩුලු 32ක් දවාලීමට සමත් වී තිබේ.
වාර්තා පොතට අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග ඉතිහාසයේ වැඩිම ගෞරවය හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවටය. ජයග්‍රහණ අතින් නවසීලන්තය තරග 11ක් ඉදිරියෙන් පසුවූවද, මෙවර තරගාවලියේදී ජයග්‍රහණ පරතරය තවදුරටත් අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ වැඩි ඉඩකඩකි. දෙපිල අතර දෙවැනි එක්දින තරගය ඉරිදා (17) පැවැත්වෙන අතර, අවසන් තරගය ලබන 19 වැනිදා පැවැත්වෙනු ඇත.
ඡායාරූප – ශාන් රූපස්සර