ලාංකේය ගීත ක්ෂේත්රයේ කිරුළ හිමි රාජිනිය ඇයයි. මේ රට සුවහසක් ශ්‍රාවකයන් අදටත් සිය මනමෝහනීය හඬින් ආනන්දයට පත් කරන ගීත කෝකිලාව ද ඇයයි. මෙරට ගීත ක්ෂේත්රයේ දශක හතකුත් ඉක්මවා ගිය කාලයක ගී ගයන්නේ නම් ඒ ද කලාශූරී ලතා වල්පොළ පමණක්ම විය හැකිය.
ප්‍රේමණීය හැඟුම් දනවන්නට ද ඈ තරම් සමත් තව කෙනෙකු නැතැයි යනුවෙන් සිතෙන තරමට ඒ හඬ ආදරණීය වනු අපට කිසි විටෙකත් නොඅසා සිටිය නොහැකිය. ජීවන ගංගාධරයේ, ආදරයේ රන් විමනේ වැනි ගීත නිතැතින්ම මතකයට නැගේ. ලතා ග්රැමෆෝන් ගී, ගුවන් විදුලි ගී, චිත්‍රපට පසුබිම් ගායනයෙන්ද සිය අනන්‍යතාව තහවුරු කළාය.
මෙරට නව පරපුර දෙස ඇය බලන්නේ ඉතා ලෙන්ගතුවය. ඇගේ ගී ගයමින් ක්ෂේත්රයට පැමිණ නමක් හදාගන්නා අය මෙන්ම එළිමහන් ප්‍රසංගවල දී ඇගේම ගීත ගයා ඇයටත් වඩා ලොකු මුදලක් අය කරන ගායිකාවන් පිළිබඳව කිසිඳු තරහක් ඇයට නැත. ඒ සියල්ල දෙස උපේක්ෂා සහගතව ඇය බලන්නීය. ඒ අනාගත පරපුරක් බිහි වීමට ඉඩ හසර සලසා දිය යුතු බවට ඇය දරන මතය නිසාය.
ලාංකේය චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්රයට සේම සමස්ත ගීත ක්ෂේත්රයටම ලතා වල්පොළ නම් වු ගීත කෝකිලාව තිළිණ කළ ගීත දහස් ගණනකි. ඒ වෙනුවෙන් ඈ මෙරටදී හිමි කරගත් සම්මාන ද අති මහත්ය.
ආදරණීය මෑණියකු, මිත්තණියක, මී මිත්තණියක ලෙස ජීවිතේ සැඳෑ සමය ගෙවන ඇය ධර්මයට ද ඉතා ළැදිව විවේකීව නිදහසේ කාලය ගෙවන්නීය. ඒ විවේකයේදී තම ගීයක් ඉඳ හිටද මුමුණමින් සියල්ල දෙස සතුටින් උපේක්ෂාවෙන් බලා හිඳිමින් ජීවිතය ගෙවන්නීය.
සිය දිවි ගමනේ අනූ වැනි වියට එළැබි ලාංකේය ගීත කෝකිලාවෙනි,
ඔබට චිරං ජයතු !
මගේ නීරෝගි බවට රහස හිතේ සැහැල්ලුවයි කියලා මම විශ්වාස කරනවා
තවමත් චිත්‍රපට පසුබිම් ගීත ගායනාවලට මට ඇරයුම් ලැබෙනවා
ලතා වල්පොළ නම් වූ හෙළයේ මහ ගීත කෝකිලාවිය පසුගියදා ජීවන ගමනේ අනූවැනි වියට පා තැබුවාය.
මේ ඇය සමඟ සිළුමිණ කළ සාකච්ඡාවකි.
උප්පැන්ෙනට අනුව රීටා ජෙනිවි ප්‍රනාන්දු නම් වූ ඇය උපන්නේ පවුලේ තෙවැනි දරුවා ලෙසින් වර්ෂ 1934 නොවැම්බර් මස 11 වැනි දා කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේදීය. සිය ජීවන ගමනේ අනූවැනි විය නිදුක් නීරෝගීව සමරන ඇයගේ මවුපියන් වූයේ බම්බලපිටියේ ජෝසෆ් ලීනස් ප්‍රනාන්දු සහ මාතර එලිසබෙත් මියුරියල් යුවළයි. ඇයට වැඩිමල් සොයුරියක සහ සොහොයුරෙකු ද විය.
සිය පියාගේ පියානෝව, එකෝඩියනය, වයලීනය සහ ග්රැමෆෝනය ඇයගේ ගායන ජීවිතයට යටිසිත් පුබුදු කරවූ හේතු සාධක විය. ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ සිප් සතර හැදෑරූ ඇය පාසලේදී ගායනයට, නර්තනයට සේම රංගනයට ද දස්කම් පෑවාය. එසේම ඇය පල්ලිය ආශ්රිත ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක ද වූවාය. 2005 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් කලාශූරී සම්මානයත්, 2017දී දේශමාන්යත්වයත් පිරිනමනු ලැබූ ඇයට රටේම ගෞරව බහුමානය කිසිදු අඩුවකින් තොරව එදා මෙදාතුර හිමිව ඇත්තේ ඇය සතු සැබෑ කෞෂල්‍යය සහ ඇයට ම ආවේණික වූ හඬ පෞරුෂයත් නිසාමය. චිත්‍රපට 600ක පමණ පසුබිම් ගීත ගයා ඇති ඇය සරසවිය, සුමති ඇතුළුව දෙස් විදෙස් සම්මාන ගණනාවක් හිමිකරගෙන සිටින්නීය. හෙළ සිනමාවේ ගී රැජන, ගීත කෝකිලාවිය වන ඇය අන් කවරකු නොව අපේ ආදරණීය ගායන ශිල්පිනී ලතා වල්පොලයි.
ලතාගේ කලා පරම්පරාව
“දැන් මට වයස අනූවයි. මම පුතුන් තුන් දෙනෙකුයි, දියණියන් එක්කෙනෙකුයි හදා වඩා ගත්තා. එයාලාගේ දරුවෝ ඒ කියන්නේ මගේ මුනුබුරු මිනිබිරියන් දැන් මාව ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. එයාලාත් ගායන ක්ෂේත්රයට යොමු වීම ගැන මට ගොඩාක් සතුටුයි. මගේ ලොකු පුතා සුනෙත් වල්පොල, එයාගේ බිරිඳ සුභද්‍රා, ඒ දෙන්නාගේ පුතා හෙලන්ක ගීත ගයනවා. එතකොට මගේ දෙවැනි පුතා අමිත් වල්පොල, එයාගේ පුතා චමිත් වල්පොල සහ දුව ගඟුලි වල්පොළ ගීත ගයනවා. අමිත්ගේ බිරිඳ ගංගානි නම් සින්දු කියන්නේ නැහැ. ඊළඟට තුන්වැනියා දුව ධම්මිකා බණ්ඩාර කවුරුත් දන්නවා. ධම්මිකා විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ සංගීතඥ මහින්ද බණ්ඩාර එක්කනේ. ඒ දෙන්නාට පුතාලා තුන්දෙනයි. ගීතාන් බණ්ඩාර වැඩිමල් එක්කෙනායි. තිසර බණ්ඩාර දෙවැනියා. තිසර විවාහ වෙලා ඉන්නේ ක්‍රිස්ටිනා එක්කයි. ක්‍රිස්ටිනාත් දැන් ගොඩාක් ජනප්‍රියයි. එතකොට ධම්මිකාගේ බාල පුතා මයුර බණ්ඩාරයි. එයාලා හැමෝම ගීත ගායනා කරනවා. මගේ බාල පුතා චමින්ද වල්පොලයි. එයා විවාහ වුණේ ප්රීතිශා සමඟයි. ඒ දෙන්නාත් ගීත ගායනා කරනවා. එයාලා වැඩි දෙනෙක් විදේශ රටවල ජීවත් වුණත් මං ගැන නිතරම බලනවා. මට කතා කරනවා. සංගීත ප්‍රසංග පවත්වනවා.
“ ලොකු පුතා ලංකාවේ ඉන්නවා. එයත් මං ගැන බලනවා. ප්‍රසංගවලට සහභාගි වෙනවා. මගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ විවිධ වැඩසටහන්වල, සංගීත ප්‍රසංගවල ගීත ගයනවා. මට ඒ සතුටම ඇතිනේ. ඒ වගේම මට මී මිනිබිරියක් ඉන්නවා. එයා මගේ දුව ධම්මිකාගේ මිනිබිරියයි. මේ හැමදෙයක් ම නිසා මම බොහොම සතුටින්, නිදහසේ සැහැල්ලුවෙන් ඉන්නවා. උදව්වට කවුරු හිටියත් නැතත් මම මගේ වැඩ තනියම කර ගන්නවා. මම කන්න කැමති දේවල් බොහෝ වෙලාවට මමම හදා ගන්නවා. ගීත ගයන්න ලැබෙන ආරාධනාත් පිළිගෙන මට පුළුවන් විදිහට ඒවාටත් සම්බන්ධ වෙනවා. පසුගිය දවස්වල “මොණරවිල” කියලා අලුත් චිත්‍රපටයකට ගීත ගායනා කළා. ඒක ඉදිරියේදී තිරගත වේවි. තවමත් චිත්‍රපට පසුබිම් ගීත ගායනාවලට මට ඇරයුම් ලැබෙනවා. මම ඒවාටත් සම්බන්ධ වෙනවා. ඒක මගේ සතුට වගේම මගෙන් ඒ දේ බලාපොරොත්තු වන අයගේත් සතුටයි.
“ ඊට අමතරව අලුත් ළමයි එක්ක එකතු වෙලා කළ නිර්මාණයකටත් මම පසුගිය දිනවල සම්බන්ධ වුණා. අලුත් දරුවෝ හරි ලස්සනට අතීතයේ මම ගැයූ ගීත ගයනවා. සමහරු මාව හමුවෙන්න ඇවිත් ඒ ගැන කතා කරනවා. මම බොහොම සතුටින් එයාලා ගීත ගයන හැටි රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා බලාගෙන අහගෙන ඉන්නවා. මම කාටවත් වෛර කරන්නේ නැහැ. අපි එදා ගීත ගායනා කරන කාලේ ගායන ශිල්පීන් හිටියේ ඉතාම අඩුවෙන් කිහිපදෙනෙක් විතරයි. ඒ නිසා වෙන්න ඇති මේ තරම් විශාල ප්‍රමාණයක් ගීත ගයන්න මට අවස්ථාව ලැබුණේ. මට එක අතකින් පුදුමත් හිතෙනවා මම මෙච්චර ගීත සංඛ්‍යාවක් ගායනා කළා ද කියලා. කොහොම හරි ගායනා කරලා තියෙනවා. අද දක්ෂ දරුවෝ බොහෝ පිරිසක් ඉන්නවා. එයාලට අපට වඩා අවස්ථාත් බොහෝමයක් තියෙනවා. තමන්ගේ ම අනන්‍යතාවන් ඇති කර ගනිමින් ඒ දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ නීරෝගි බවට රහස හිතේ සැහැල්ලුවයි කියලා මම විශ්වාස කරනවා.”
සංගීත ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ ඇසුර
සී. ඒ. ෆොන්සේකා විසින් ඇයව ගුවන්විදුලි අත්වැල් ගායනයට සම්බන්ධ කරවන විට ඇයගේ වයස අවුරුදු 12කි. ගුවන්විදුලියට ඇය ගැයූ ප්‍රථම ගීතය වූ ‘කඳුළු දෙනෙතේ වෑහෙනා’ ඇය ගැයුවේ වින්සන් ද අල්විස් සමඟය. සරත් විමලවීර විසින් රචනා කළ එය එඩ්වඩ් පෙරේරා විසින් සංගීතවත් කරන ලදි. ඒ වයස අවුරුදු 13දීය. ගුවන්විදුලියේදී ඇයට සංගීත ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ ඇසුර සහ ගුරුහරුකම් නොඅඩුව ලැබිණි. ඒ අතර මොහොමඩ් ගවුස් මාස්ටර්, වින්සන්ට් ද අල්විස්, පී. එල්. ඒ. සෝමපාල, බී. එස්. පෙරේරා වැනි ප්‍රවීණයින් ද විය.
“මගේ උප්පත්ති නාමය වෙනස් කළේ සුසිල් ප්‍රේමරත්නයි. ඔහු මාව හැඳින්වූයේ ‘ලතා ප්‍රනාන්දු’ කියායි. මම ලතා මංගේෂ්කාර්ගේ ගීතයක් ඒ ආකාරයෙන්ම ගායනා කළා කියලා ඔහු මට කිවුවා ‘ලංකාවේ ලතා ඔබයි. මීට පස්සේ ඔබ ලතා ප්රනාන්දුයි’ කියලා. ඒ නමින් තමයි ඊට පස්සේ හැමෝම මට කතා කළේ. ඔහු සමඟ මම ගීත බොහෝමයක් ගායනා කළා. මගේ ජනප්‍රිය බව ඇති වීමට ඔහු සමඟ ගැයූ ගී හේතු වුණා. ඔහු මට ගුරුවරයෙකු හා සමාන වුණා. මම කවදාවත් ගුරුවරයකුගෙන් සංගීතය ඉගෙනගෙන නැහැ. නමුත් සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගීත බොහොමයක් පුහුණු වෙමින් පටිගත කිරීම් කරද්දි ඔහු මට ගුරුවරයා බවට පත් වුණා.
“රූ රැසේ අඳිනා ලෙසේ.., රන්වන් දුන් කරලින් පැසිලා…., කළු කැලණි නදී… වැනි ගීත සුසිල් සමග මම ගැයූ ගීත අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව සී.ටී. ප්‍රනාන්දු සමඟ එම කාලයේදී ම මම ගැයූ මල්බර හිමිදිරියේ…, ලෝ අඩ නින්දේ… වගේ ගීතත් ඒත් එක්ක ම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. සිනමාස් සමාගමෙන් මට ‘සුජාතා’ චිත්‍රපටය සඳහා ගීත ගායනා කරන්න ඇරයුම් ලැබුණා. නමුත් තාත්තා මට යන්න දුන්නේ නැහැ. සිනමාස් සමාගමේ අධිපතිතුමා අපේ ගෙදරට ම ඇවිල්ලා තමයි ඒ ආරාධනය කළේ. තාත්තා විරුද්ධ වුණු නිසා ඒ අවස්ථාව මට අහිමි වුණා. මම එදා හොඳට ම ඇඬුවා. ඒ අවස්ථාව මට නොලැබීම ගැන මම හරියට දුක් වුණා. ඊට ටික කාලෙකට පස්සේ ශාන්ති කුමාර් අධ්යක්ෂවරයා අපේ ගෙදර ආවා. එදා අපේ තාත්තා ගෙදර හිටියේ නැහැ. එතුමා මට ‘එදා රෑ’ චිත්‍රපටයට ගීත ගයන්න එන්න කියලා ආරාධනා කළා. තාත්තට හොරෙන් අම්මගේ උදව්වෙන් කොහොම හරි මම ‘එදා රෑ’ චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට සම්බන්ධ වුණා. මගේ දෛවය වෙනස් වෙන්න පටන් ගත්තේ එතැන් සිට යි. එවැනි අවස්ථා දිගින් දිගටම ඊට පස්සේ මට ලැබුණා.”
චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස 1952 දී ‘එදා රෑ’ චිත්‍රපටයට සම්බන්ධ වූ ඇයට එම වසරේදීම චිත්‍රපට තුනක ධර්මදාස වල්පොලයන් සමඟ පසුබිම් ගී ගයන්නට අවකාශ උදා විය. ප්‍රේම තරගය චිත්‍රපටයට ලතා සම්බන්ධ වන්නේ 1953 දීය. ලතාට ධර්මදාස වල්පොල හමුවන්නේ එම චිත්‍රපට පසුබිම් ගායනයේදී ය. එතැන් සිට චිත්‍රපට ගණනාවකට ධර්මදාස වල්පොල සමඟ යුග ගී ගැයූ ලතාට ගී පටිගත කිරීම් සඳහා නොයෙක්වර ඉන්දියාවට ද යාමට සිදු විය. එතැන් පටන් ලතා සහ ධර්මදාස යුග ගී අතිශය ජනප්‍රිය වන්නට වූයෙන් ඇයටත්, ඔහුටත් කිසිදු විවේකයක් නොලැබිණි. ලතා මේ සියලු ගායනා සහ පටිගත කිරීම්වලට සම්බන්ධ වූයේ සිය පියාට රහසිගතව ය.
“මේ දේවල්වලට තාත්තාගෙන් පුංචි ඉඩක්වත් ලැබුණේ නැහැ. තාත්තාට හොරෙන් තමයි ගීත පටිගත කිරීම්, පුහුණුවීම් හැමදේකටම ගියේ. එක අවස්ථාවක ඉන්දියාවේ තිබුණු පටිගත කිරීමකට ගිහින් එද්දි තාත්තා මුළු නිවසටම ගිනි තබලා විනාශ කරලා දාලා තිබුණා. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතැන ඉඳලා මම ගීත ගයලා ලැබෙන මුදලින් අපේ මුළු පවුලම ආයෙමත් ජීවත් වෙන්න පටන් ගත්තා.”
එදා මෙදා ලැබූ සම්මාන
ලතා සහ ධර්මදාස වල්පොල සිනමා ගී ලොව බැබළෙමින් තිබුණු යුගයක ඔවුන් දෙදෙනා යුග දිවියට එළඹුණි. ඒ 1956 වසරේදී ය. විවාහ වන විට ඇය විසි පස් වැනි වියෙහි පසු වූවා ය. විවාහයෙන් වසර විසි හතරක ඇවෑමෙන් ධර්මදාස වල්පොල මියගිය නමුදු ඇය නොපසුබට උත්සාහයෙන් දරුවන් ද රැකබලා ගනිමින් ගීත ගායනා ප්‍රසංග ආදිය ද අත් නොහැර ජීවන ගමන සාර්ථක කර ගත්තා ය. එදා මෙදා තුර ඇය ගැයූ ගී අතර රන්වන් දුල් කරලින්, පොකුරු පොකුරු මල්, ගලනා සීත ජලේ, පෙම් කැකුළ පිපී, අම්මලා දුක් ගන්නේ, නමෝ මරියනේ, හිම රේණු වැටෙනා, රොන් සොයා, සඳ කොමළී, රතු ගුරු පාරේ, සැලළිහිණි කොවුල්, කුල්ලෙන් පොළා පොළා, හීන හතක් මැද ආදි වශයෙන් වූ ගීත රැසක් අතිශය ජනප්‍රිය විය.
“මට මුලින්ම චිත්‍රපට පසුබිම් ගායනයක් වෙනුවෙන් සම්මානයක් ලැබෙන්නේ ‘ගැටවරයෝ’ චිත්‍රපටයට මම ගැයූ ‘හීන හතක් මැද විමනක් සැදුණයි…’ ගීතය වෙනුවෙනුයි. ඊට පස්සේ සරසවිය සම්මාන පහක්, ජනාධිපති සම්මාන දෙකක්, දීපශිකා සම්මානය, රණතිසර සම්මානය, කලාශූරී සම්මානය, වීරවිධාන රන්සිළු සම්මානය, ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය, ලතා රන්රස ප්රණාම 1998, පනස් වසරක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් පිදෙන රන්සිළු සම්මානය යන සම්මාන මට හිමි වෙලා තියෙනවා. ඒ හැමදේකට ම වඩා මට මගේ ගීත රසවිඳින අයගෙන් ලැබෙන ආදරය ගොඩාක් වටිනවා. එයාලා මට ගොඩාක් ආදරෙයි කියා මට දැනෙනවා. හැමෝගෙන්ම ලැබෙන ආදරය මගේ ආයුෂ සහ නීරෝගි බව පවත්වාගෙන යන්න හේතු වෙලා තියෙනවා.”
නිදුකින් සතුටින් නීරෝගි සුවයෙන් චිරාත් කාලයක් අප හා දිවි ගෙවන්නට ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාව ලතා වල්පොල කලාශූරියට වාසනාව පවතීවායි අපි පතමු.
තුෂාරී කළුබෝවිල