Home » එක්සත් වීමකින් තොරව පැවැත්මක් නැති දෙමළ මුස්ලිම් පක්ෂ

එක්සත් වීමකින් තොරව පැවැත්මක් නැති දෙමළ මුස්ලිම් පක්ෂ

by sachintha
November 16, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ දමිළ, මුස්ලිම් පක්ෂවල ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී එය ඉතා සංකීර්ණ හා බහුවිධ සාධක මත පදනම් වූවක් බව සඳහන් කළ යුතුය. මෙම පක්ෂවල වර්ධනය හා දේශපාලන ක්‍රියාකාරකම් රටේ ජාතික, ආගමික හා දේශපාලන පසුබිම මත බෙහෙවින් බලපා ඇත.

බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ කාලයේ දමිළ හා මුස්ලිම්වරු ප්‍රධාන වශයෙන් මෙරට අනෙකුත් දේශපාලන පක්ෂ තුළ ක්‍රියාකාරී වූහ. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳීමටය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු දමිළ හා මුස්ලිම්වරු වෙනමම දේශපාලන පක්ෂ පිහිටුවීමට පටන්ගත්හ. මෙම පක්ෂවල ප්‍රධාන අරමුණ වූයේ තම ජන කොටසේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සංවර්ධනය සඳහා කටයුතු කිරීමය.

1980 දශකයේ ආරම්භ වූ ජාතික ගැටුම් දමිළ, මුස්ලිම් පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් බෙහෙවින් බලපා ඇත. මෙම කාලය තුළ මෙම පක්ෂවලට තමන්ගේම ආරක්ෂාව සහ දේශපාලන අවකාශය සඳහා අරගල කිරීමට සිදු විය. තවද 21 වැනි සියවසේ මුල් දශකයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන පිටියේ විශාල වෙනස්කම් සිදු වූ අතර, ඒවා දමිළ මුස්ලිම් පක්ෂවල දේශපාලන ක්‍රියාකාරකම් මත ද බලපෑවේය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දා සිටම දමිළ දේශපාලන පක්‍ෂ රටේ බලතුලනය සඳහා ප්‍රබල බලපෑමක් එල්ල කළ නමුත් 1977 වසර වන තුරුම මුස්ලිම් දේශපාලඥයන් ඒ සඳහා තනිව කටයුතු කරන ආකාරයක් දැකගත නොහැකි විය. ඒ අනුව මුස්ලිම් නායකයන් දේශපාලනයට අවතීර්ණ වී ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ හරහාය.

අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල වැනි ප්‍රධාන සිංහල දේශපාලකයන් බව පිළිගන්නා තත්ත්වයක් තුළ 1970 සමගි පෙරමුණු රජයේ මේ තීරණය බරපතළ දේශපාලන තීරණයක් වූ බව පිළිගැනීම වරදක් නොවේ.

දමිළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල බිහිවීම

1948 නිදහසට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවැති ඇතැම් සාකච්ඡාවල දී මුස්ලිම් ජන කණ්ඩායම දෙමළ භාෂාව කථා කරන කාණ්ඩයක් ලෙසින් දෙමළ දේශපාලනයත් සමඟ බැඳී සිටිය යුතු බව යෝජනා කරමින් ඒ වෙනුවෙන් උත්සාහ කළේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. මෙය ජී.ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා දෙමළ සංගමයත් චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්‍ෂයත් පිළිගත් තර්කය විය. දෙමළ භාෂාව කථා කරන ජනවර්ගය එකක් ලෙසින් විශාල කර පෙන්වීමේ දේශපාලන ක්‍රියාදාමයට මුස්ලිම් ජනතාවත් එක්කර ගණන් ගැනීමේ උත්සාහය මේ රටේ මුස්ලිම් දේශපාලනයට මුලදීම එල්ල වූ අභියෝගයක් බව සඳහන් කිරීම යෝග්‍ය වේ. ඒ අනුව 1976 වසර වන විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නමින් නව සංවිධානයක් ගොඩනඟන ලද්දේ සමස්ත ලංකා දෙමළ සංගමයත් ෆෙඩරල් පක්‍ෂයත් එකතු කිරීමෙනි. මොවුන් 1977 මැතිවරණයට තරග කළේ මුස්ලිම් ජාතිකයන් යනු දෙමළ කතා කරන ජන කොටසක් නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු යැයි තර්කය මත පදනම්වය. ඒ අනුව පසුකාලීනව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ එම්.එච්. එම්. අෂ්රෆ් මහතා ද 1977 මැතිවරණයේ දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේය. ඔහු ෆෙඩරල් පක්ෂයේ වේදකාවේද කතා කළ අතර 1976 මැයි මාසයේ දී ඓතිහාසික වඩුක්කෝඩෙයි සම්මේලනයට ද සහභාගි වී සිටියේය. අෂ්රෆ් 1977 මැතිවරණයේ දී තරග නොකළ නමුත් ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නිරත වූ අයෙකි. මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ නැඟෙනහිර පළාතේ මන්ත්‍රී ආසන තුනක් හැරෙන්නට අනෙක් ඒවායේ බහුතරය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කර නොතිබූ බවත්ය. මෙම තත්ත්වය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ අෂ්රෆ් ගේ සම්බන්ධතා ක්‍රමයෙන් අඩාළ වීමට හේතු විය.

1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් දෙමළ අපේක්ෂකයන් ඡන්දයට ඉදිරිපත් විය. මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක හතරේම මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් එම ප්‍රදේශවලින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අෂ්රෆ්ට අවශ්‍ය විය. ඒ අනුව දෙමළ හා සිංහල දේශපාලනයෙන් ස්වාධීනව වෙනම දේශපාලන ගමනක් මුස්ලිම්වරුන්ට අවශ්‍ය බව අෂ්රෆ් තේරුම් ගත්තේය.මේ නිසා ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් වෙන්වී නව දේශපාලන පක්ෂයක් ලෙස 1981 සැප්තැම්බර් 21 වැනිදා කාත්තන්කුඩියේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කළේය. මෙය මුස්ලිම් ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට වඩා සමාජ, සංස්කෘතික කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන නැඟෙනහිර සංවිධානයක් විය. කෙසේ නමුත් පක්ෂය ආරම්භ කරන ලද මුල් කාලයේ මුස්ලිම් ප්‍රජාව තුළ පක්ෂය කෙරෙහි ප්‍රසාදයක් නොවීය. ඔවුන්ගේ පිළිගැනීම තිබුණේ ප්‍රධාන වශයෙන් දෙමළ පක්ෂ වටාය.

එහෙත් 1985 දී කල්මුණේ සහ අවට ප්‍රදේශවල මුස්ලිම් ජනයාට එල්ල වූ කොටි ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඒ තත්ත්වය වෙනස් විය. අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට නැඟෙනහිර මුස්ලිම් ජනයා තුළ පක්‍ෂයක් වශයෙන් පිළිගැනීමක් ලැබිණි. ක්‍රමයෙන් දෙමළ පක්ෂවලින් මුස්ලිම් ප්‍රජාව ඈත් වූ අතර පසුකාලීනව මුස්ලිම් කොංග්‍රසයේ සභාපති වශයෙන් කටයුතු කළ බෂීර් සේගු දාවුද් පවා දෙමළ දේශපාලන පක්‍ෂවලට සමු දුන්නේ මේ කාලයේදීය.

අෂ්රෆ් ක්‍රමයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිවයිනේම ප්‍රචලිත පක්‍ෂයක් බවට පත් කිරීමට පක්‍ෂ ව්‍යවස්ථාව නැවත සකස් කිරීමට කටයුතු කළේය. මැතිවරණ කොමසාරිස් විසින් 1988 පෙබරවාරි 11 වැනිදා නිල වශයෙන් පක්ෂයක් ලෙස පිළිගත් අතර, පක්‍ෂයේ ලාංඡනය ලෙස ”ගස” සලකුණ ලෙස පිළිගත්තේය. අෂ්රෆ්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1988 දී පළාත් සභා මැතිවරණයට තනිවම තරග කළ අතර, එහි දී ඡන්ද 168, 038ක් ලබා ගනිමින් ආසන 17ක් දිනා ගත්තේය. එවකට අගමැතිවරයා වූ ආර්.ප්‍රේමදාස මහතා 1989 මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයට සහාය දෙන මෙන් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉල්ලා සිටියේ මුස්ලිම් කොංග්‍රසය ලැබූ එම ජයග්‍රහණය නිසාය. ප්‍රථම වරට ජාතික පක්‍ෂයකට සහාය පල කරමින් අෂ්රෆ් මහතා කොන්දේසි කිහිපයක් ප්‍රේමදාස මහතාගෙන් ඉටුකර ගත්තේය. එම මැතිවරණයේ දී මුස්ලිම් කොංග්‍රසය රටපුරා ඡන්ද 202, 016ක් ලබා ගනිමින් ආසන හතරක් දිනා ගත්තේ පක්‍ෂ නායක අෂ්රෆ් ටද, පාර්ලිමේන්තුවට තේරී පත් වීමට ප්‍රථම වරට අවස්ථාව උදාකර දෙමිනි. ඉන් පසුකාලීනව පැවැති පළාත් සභා මැතිවරණවල දී මුස්ලිම් කොංග්‍රසය අත්කර ගත් ජයග්‍රහණය හේතුවෙන් කේවල් කිරීමේ බලවත් පක්‍ෂයක් බවට වර්ධනය වූ බව සඳහන් කළ යුතුය.

දෙමළ ජාතික සන්ධානය නිර්මාණය වූයේ එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මකව තිබූ අවසන් සමයේය. එල්ටීටීඊ විනාශ වූ පසු ද එම සන්ධානය අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සහ ඊපීආර්එල්එෆ් යන පක්ෂ හතර එකතු වීමෙන් දෙමළ ජාතික සන්ධානය බිහි විය. ඊපීආර්එල්එෆ් සංවිධානය කලකට පෙර දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ අතර ඉතිරි වූයේ පක්ෂ තුනකි. එම පක්ෂ තුනෙන් ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ පොදු අපේක්ෂකයාට සහාය පළ කළ අතර, විශාල පක්ෂය වූ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රී ධරන් ද දමිළ පොදු අපේක්ෂකයාට සහාය පළ කළේය.

වෙනම රාජ්‍යයක් හෙවත් තමිල් ඊළමක් වෙනුවෙන් සටන් කළේ එල්ටීටීඊය පමණක් නොවේ. එල්ටීටීඊයට පෙර පෙඩරල් පක්ෂය ද පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද දෙමළ ඊළමක අවශ්‍යතාව ගැන නිරතුරුව හඬ නැඟීය.1977 මැතිවරණයෙන් ටික දිනකට පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඒකපාර්ශ්වීය ස්වාධීනත්වය (ඊළම) ප්‍රකාශ කිරීමට සූදානම් විය. එකළ එල්ටීටීඊ ය පසු වූයේ ළදරු වියේය. ඊළමේ අගනුවර ලෙස ත්‍රිකුණාමලය තෝරා ගත්තේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසිනි.1978 වෙද් දී වෙනම රටක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මඟින් සකසා තිබිණි. පසුකාලීනව එල්ටීටීඊය විසින් මෙම සියලුම දමිළ නායකයන් මරා දමා ඊළම් සටනේ තනි අයිතිය තමා වෙත පවරා ගත්තේය. වර්තමාන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය යනු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ශේෂ වූ කොටස්වලින් සැදි වර්තමාන ප්‍රකාශනයයි.

මුස්ලිම් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය

1989 වසරේ සිට 1994 වසර දක්වා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය නියෝජනය කළ අතර අනතුරුව අෂ්රෆ් මහතා සහ චන්ද්‍රිකා මැතිනිය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. ඒ අනූව 1994 මැතිවරණයේ දී මුස්ලිම් කොංග්‍රසය පොදුජන එක්සත් පෙරමුණට සහාය දැක්වීමට එකඟ වී පොදුජන එක්සත් පෙරමුණට බලය ගෙන ඒමට කටයුතු කරන ලද අතර එම මැතිවරණයෙන් ආසන 07ක් දිනා ගැනීමට හැකි විය. එම රජයෙන් ප්‍රබල අමාත්‍ය ධූරයක්ද අෂ්රෆ් මහතාට හිමිවිය. විවිධ කොන්දේසි මත 1999 ජනාධිපතිවරණයේ දී සහ 2000 මහමැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වී මුස්ලිම් කොංග්‍රසය තරග කළේය. නමුත් 2000 වසරේ සැප්තැම්බර් 16 වැනිදා සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රෆ් මහතා ජීවිතක්‍ෂයට පත්විය. ඔහුගේ මරණයෙන් පසුව පක්‍ෂ නායකත්වයට පත්වූයේ රවුෆ් හකීම් මහතාය.

මුස්ලිම් කොංග්‍රසය හකීම් ගේ නායකත්වයෙන් 2002 හා 2004 මහමැතිවරණවල දී සහ 2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයට සහාය දැක්වීය. නමුත් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණ කළ පසු මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී.ල.නි.ප යට එක් විය. එම ආණ්ඩුව යටතේ දැරූ අමාත්‍යධූර අත්හල මුස්ලිම් කොංග්‍රසය 2006 දී නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්‍ෂය සමඟ ඉදිරිපත් වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පක්‍ෂ නායක එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ

ද අම්පාර දිස්ත්‍රික්කයට පක්‍ෂ සභාපති බෂීර් සේගු දාවුද් සහ මඩකලපුවට මහ ලේකම් හසන් අලි යන මහත්වරුන් අපේක්‍ෂකයන් වෙමිනි. පළාත් සභාවේ ජයග්‍රහණයෙන් පසු නැවත මොවුන් 2008 වර්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. මේ කාළය වන විට රිෂාඞ් බදියුදීන් ප්‍රමුඛ කණ්ඩායමක් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී වෙනම පක්‍ෂයක් පිහිටුවාගෙන තිබිණි. එමෙන්ම 2008 වසරේ දී කොංග්‍රසයෙන් ඉවත් වූ හිස්බුල්ලා මහතා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එක් විය. මේ අනූව අෂ්රෆ් මහතාගේ කාලය තුළ දී කිසිදු පාක්‍ෂිකයෙක් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී පක්‍ෂයට අභියෝග නොකළ අතර හකීම් මහතාගේ නායකත්වයෙන් පසු පක්‍ෂය කල්ලි කණ්ඩායම් කිහිපයකට කැඩී ගියේය. පසුගිය කාලයේ මුස්ලිම් කොංග්‍රසය මුහුණ දුන් සෑම ගැටලුවක් පිටුපසම නායකත්වයේ බල ඒකාධිකාරය සඳහා මෙහෙය වෙමින් පැවැති බව දේශපාලන විචාරක මතයයි.

2010 ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට සහාය දක්වමින් සිටි කොංග්‍රසය මහමැතිවරණයෙන් මාස දෙකට පසු මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූර කිහිපයක් ලබා ගත්තේය. එම ආණ්ඩුව යටතේ 2015 ජනාධිපතිවරණය දක්වාම මුස්ලිම් කොංග්‍රසය සිටියත්, සෑම පළාත් සභා මැතිවරණයක්ම තරග කරන ලද්දේ ප්‍රධාන පක්‍ෂය සමඟ සන්ධානගත වීමකින් තොරවය. 2015 ජනාධිපතිවරණය ප්‍රකාශ කරන තෙක් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බවට විවෘතව ප්‍රකාශ නොකළ මුස්ලිම් කොංග්‍රසය අවසානයේ දී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළේ එක්සත් ජාතික පෙරමුණට එක්වෙමිනි.

දමිල දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය

2001 පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරු නැඟෙනහිර දෙපළාතෙන්ම ඡන්ද තුන් ලක්ෂ හතළිස් අටදහසක් ලබාගත් ටීඑන්ඒ මන්ත්‍රී ආසන 15ක් හිමිකර ගත්තේය. 2004 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඡන්ද හය ලක්ෂ තිස්තුන් දහසක් ලබා ආසන 22ක් ලැබීය.

ඔවුන් ලැබූ ඉහළම ඡන්ද ප්‍රමාණය වූ මෙය ලැබුවේ එල්ටීටීඊය උතුරු පළාත පාලනය කළ සමයේ වීම විශේෂිතය. ඉන්පසු එතරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට කිසිදා ලබාගත නොහැකි විය.එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු බොහෝ ජනයා අවතැන් කඳවුරුවල සිටි 2010 මහා මැතිවරණයේ දී දෙපළාතෙන්ම ඡන්ද දෙලක්ෂ තිස්තුන් දහසක් ලබා ආසන 14ක් හිමිකරගත් අතර 2015 මහා මැතිවරණයේ දී ඡන්ද පන් ලක්ෂ පහළොස් දහසක් ලබා ආසන 16ක් හිමිකර ගත්තේය. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙද් දී උතුරේ තනි දේශපාලන බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී තිබිණි. ඔවුන්ට දෙපළාතෙන්ම ලැබුණේ ඡන්ද තුන් ලක්ෂ විසිහත් දහසක් පමණකි. ලැබුණු ආසන ගණන 10කි.

දෙමළ ජාතික සන්ධානය 2010 ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයාට එරෙහිව විපක්ෂ අපේක්ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කළේය. 2015 දී ද ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කළේය. එවර පොදු අපේක්ෂකයා ජයගත් හෙයින් දෙමළ සන්ධානය ද ආණ්ඩුවේ පාර්ශ්වයක් ලෙස සැලකිණ. එහෙත් මහ මැතිවරණයේ දී ආණ්ඩුවේ බලපෑම මත ඔවුන්ට විපක්ෂ නායක පදවිය හිමිවිය. විපක්ෂ නායක වූයේ ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාය. 2019 ජනපතිවරණයේ දී විපක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කළේය. 2024 ජනාධිපතිවරණයේ දීද දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කළ අතර මෙවර විශේෂත්වය වන්නේ 2019 තිබූ තත්ත්වයට වඩා එම පක්ෂයේ බලය අඩු වී තිබීමය. 2020 මහා මැතිවරණයේ දී තමිල් අරසු කච්චි පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ ඡන්ද 112, 967 කි. එහි දී යාපනයට තරග කළ ශ්‍රීලනිප අපේක්ෂකයා වූ අංගජන් රාමනාදන් තනිවම ඡන්ද 36, 365 ක් ලබා ජයග්‍රහණය කිරීම දෙමළ සන්ධානයේ බලය අඩු වී ඇති බවට හොඳම උදාහරණය වේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය බිහිවූයේ 1949 දී එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ නායකත්වයෙනි. උතුරේ ලාංකික දමිළයන්ගේ පක්ෂය ලෙස සැලකුණු ජීජී පොන්නම්බලම්ගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබුණු ද්‍රවිඩ කොංග්‍රසයේ මතභේදයක් මත ඉවත්ව ගිය චෙල්වනායගම් අභිනව පක්ෂය පිහිටුවීය. පසුකාලීනව උතුරේ වඩාත් ජනතා ආකර්ශනයට ලක්වූයේ චෙල්වනායගම්ගේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයය. එදා සිට අද දක්වාම එම පක්ෂය සියලු පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කර ඇත.

වර්තමානය වනවිට උතුරේ දමිළ දේශපාලනය ද, නැඟෙනහිර මුස්ලිම් දේශපාලනය ද, දකුණේ දේශපාලනය සේම කල්ලි හා කණ්ඩායම්වලට කැඩී තිබෙන බව රහසක් නොවේ.1994න් පසු ශ්‍රීලනිප ආණ්ඩු තම පරම සතුරා ලෙස තෝරාගත් එජාප නායකයාට එල්ල කළ ප්‍රධානම ප්‍රහාරය වූයේ අලි-කොටි ගිවිසුම්ය. යුද සමයේත් ඉන් පසුවත් සිංහල දේශප්‍රේමය ඇවිස්සීම සඳහා නිරතුරුවම එල්ල කළ අලි-කොටි ගිවිසුම් නමැති ප්‍රහාරයෙන් 2019 දක්වාම ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණු ආණ්ඩු පාලන බලයේ රැඳී සිටීම සඳහා වාසි ලබා ගත්තේය. එසේ චෝදනා කළත් එජාප නායකයා ජනාධිපතිවරයා බවට පත්වූවත් 2022 වසරෙන් පසු උතුරේ දමිළ සංවිධාන ඔහුගේ රජයටත් ඔහුටත් සහාය පළ කළේ නැත.

කෙසේ වුවද 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන සන්ධානයේ කොටස්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිස්ත්‍රික් හතක් සඳහා සමගි ජන සන්ධානය හා එක්ව තරග කළ අතර, නැඟෙනහිර පළාතේ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවලට ස්වාධීනව තරග කළේය.

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ. දැනට අතරමඟ නතර වී ඇති උතුරු නැඟෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඊපීඩීපී සංවිධානය සාකච්ඡා කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී ඊපීඩීපී සංවිධානය සහාය ලබා දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

lඑම්. තාරික්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division