Home » යුරෝපයේ දරුණුතම ගංවතුර ස්පාඤ්ඤයෙන්

යුරෝපයේ දරුණුතම ගංවතුර ස්පාඤ්ඤයෙන්

by sachintha
November 16, 2024 12:30 am 0 comment

21වන ශත වර්ෂය, මානව ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵල ඉතා සුලභවම භුක්ති විඳින සියවසක් බවට පත්වී හමාරය. ස්වාභාවික ව්‍යසනවල ධාරිතාව පෙර නොවූ විරූ ආකාරයෙන් තීව්‍ර වීමට මානව ක්‍රියාකාරකම් ඉතාම තදින් බලපා ඇති බව ගෝලීය පරිසර හා දේශගුණික විද්‍යාඥයන්ගේ ස්ථිර ප්‍රකාශයයි.

දේශගුණික විපර්යාසය මේ වන විට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉතා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා සාකච්ඡා වන අතර, නොවැම්බර් 11 වැනිදා සිට නොවැම්බර් 23 දක්වා අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන Cop 29 සමුළුව ඊට කදිම නිදසුනකි. ගෝලීය රාජ්‍ය නායකයන් 200ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව දේශගුණික විපර්යාසය වත්මන් ලෝක රාජ්‍යයන්ගේ ඉතා ප්‍රමුඛතම අවශ්‍යතාවක් ලෙස සලකා බැලෙනු ඇත.

මෙම සියවසේ යුරෝපයේ දරුණුතම ගංවතුර තත්ත්වය වාර්තා වූයේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපය එකම මඩ ගොහොරුවක් බවට පත්කරමින් පුද්ගල ජීවිත 200ක් පමණ බිලිගත් මෙම දරුණු ගංවතුර තත්ත්වය තවමත් ස්පාඤ්ඤය අඳුරේ ගිල්වා ඇත. පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අතුරුදන්ව ඇති අතර, පොදු දේපළ විනාශ වී සියලු ආකාරයෙන් ජන ජීවිතය අඩාළ වී ඇත.

වැලෙන්සියා කලාපයේ අනතුර

ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ නායක වූ කාලෝස් මේසන් (Carlos Mazon) මේ වන විට ජනතාව වෙතින් අප්‍රසාදයට හා ප්‍රතික්ෂේප වීමට ලක්වී හමාරය. මෙවැනි මාරාන්තික විපතකින් වැලෙන්සියා කලාපය කල්තියා බේරාගැනීමට පෙර දැනුම් නොදීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී ඇත. මිලියන 5ක් පමණ වන වැලෙන්සියා ජනතාව බොහෝ පිරිසක් වීථි බැස ස්වකීය විරෝධතාව පළ කර ඇති අතර, කොන්සවේටිව් නායක මේසන් හඳුන්වා ඇත්තේ “ඉතාම අප්‍රසාදජනක ලෙසයි” යනුවෙනි. විදෙස් මාධ්‍ය දිගින් දිගටම මෙම දරුණු ගංවතුර තත්ත්වය වාර්තා කරනු ලැබූ අතර, ගෝලීය රාජ්‍යතාන්ත්‍රික පිරිස් මෙම තත්ත්වය විස්තර කරනු ලැබුවේ මෙම සියවසේ දරුණුතම හා මාරාන්තිකම ගංවතුර තත්ත්වය ලෙසය. මධ්‍යධරණී වෙරළ හා යාබදව පිහිටි වැලෙන්සියා X කලාපයට අමතරව Murcia හා Malaga නගරවලින් ද මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, මේ වන විටත් පුද්ගලයන් 80ක් පමණ අතුරුදන්ව ඇත. උද්ඝෝෂකයන් දිගින් දිගටම දේශීය අධිකාරීන්ට චෝදනා කර සිටින්නේ පූර්ව අනතුරු දැනුම් දීම ඉතා ප්‍රමාද වීමෙන් මේ තත්ත්වය ඇති වූ බවය.

රොයිටර් පුවත් ඒජන්සියට, විරෝධතාවට සම්බන්ධව සිටි කාන්තාවක් පවසා ඇත්තේ, මේ උද්ඝෝෂණ ඔස්සේ ඉතා දුර්වල පරිපාලනය පිළිබඳ ඔවුන්ගේ අප්‍රසාදය හා අකමැත්ත පෙන්නුම් කිරීමට අවශ්‍ය බවය. එමෙන්ම පසුගිය සතියේදී ස්පාඤ්ඤ රජු හා රැජන ගංවතුරින් විපතට පත් වූවන් බැලීමට Paiporta නගරයට ගිය අවස්ථාවේ ඔවුන්ට මඩවලින් දමා ගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වැලෙන්සියා කලාපයේ නායකතුමා ප්‍රකාශ කොට ඇත්තේ, ස්පාඤ්ඤ මධ්‍යම රජයෙන් කල්තියා අනතුරු ඇඟවීමේ නිවේදනය හා ව්‍යසනයේ ධාරිතාවය පිළිබඳ නිසි වේලාවට තමන් දැනුම්වත් නොකළ බවය.

ස්පාඤ්ඤය, රජය පාර්ශ්වයෙන් මෙම දරුණු ගංවතුර තත්ත්වය පිළිබඳ දක්වන ප්‍රතිචාරය පිළිබඳ විස්තර වන්නේ, මධ්‍යම රජය මෙම ව්‍යසනයේ සම්පූර්ණ වගකීම මේසන් හට භාර දී ඇති සැටියකි. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර මේ සම්බන්ධයෙන් වගකීම නොදරන බවත් කලාපීය අධිකාරීන් ඒ වෙනුවෙන් පෙළගැසිය යුතු බවත්ය. වැලෙන්සියා කලාපයේ නායක මේසන් ඔහුට විරුද්ධව එල්ල වන චෝදනා හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඔහු පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අදහස් දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවය. ස්පාඤ්ඤ අගමැති Pedro Sanchez ඇතුළු රජය හා මේසන් අතර ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ඒකීය ප්‍රවේශයක සිට කටයුතු කිරීමක් දක්නට නොලැබේ.

ස්පාඤ්ඤය පූර්ව ගංවතුර අත්දැකීම ඇති රටක් ද?

ඔක්තෝබර් 29 වැනිදා වැලෙන්සියා කලාපයට ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව කෙතරම් ද යත් එය විස්තර වන්නේ, වැලෙන්සියා කලාපයේ කොටසකට පැය 8කදී ලැබුණු වර්ෂාපතනය, අවුරුද්දකදී ලැබෙන වර්ෂාවට සමාන වූ බවය. වැලෙන්සියා කලාපයේ ජනතාවගේ ගේ දොර, වාහන සියලු දේ විශාල ජල ධාරාවකින් ගසාගෙන යන ආකාරය ඉතාම විස්මිතය. එම තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයකු පවසා ඇත්තේ, ගංගාවක් තමන් දෙසට ගලා එන ආකාරයක් දිස් වූ බවයි. මීටර 2ක් උසට නැඟි ජල ක‌ෙඳන් බේරීමට තමා විශාල ප්‍රයත්නයක් දැරූ බවය.

ස්පාඤ්ඤයට 1957 දී ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, එහිදී ද පුද්ගලයන් 81ක් පමණ මිය ගොස් ඇත. එවකට සිටි ස්පාඤ්ඤ රජය Plan Sur (“ස” සැලැස්ම) මඟින් නගරයේ ප්‍රධාන ගංගාව වූ Turia නැවත හරවා යැවීමට කටයුතු කර ඇත. 1996 අගෝස්තු 7 වැනිදා ද ස්පාඤ්ඤයේ Aras Basin කලාපයේ ගංවතුර තත්ත්වයක් පැන නැඟී ඇත. නමුත් ඔක්තෝබර් 29 වැනිදා ඇති වූ ගංවතුර තත්ත්වය මේ සියලු තත්ත්වයන් පරදවා ස්පාඤ්ඤ ඉතිහාසයේ පැන නැඟුණු මාරාන්තිකම ගංවතුර ව්‍යසනය ලෙස ඉතිහාසයට එක් වී හමාරය. ස්පාඤ්ඤය තවමත් එහි ඛේදවාචකය අත්දකිමින් සිටී.

ගංවතුර තත්ත්වය ස්පාඤ්ඤ ආර්ථිකයට බලපෑම

ගංවතුර තත්ත්වය ඉතාම අහිතකර බලපෑමක් ස්පාඤ්ඤ වාරිමාර්ග පද්ධතියට එල්ල කර ඇත. එමෙන්ම ස්පාඤ්ඤ ආර්ථිකයට ද ඉදිරියේදී දිගින් දිගටම බලපාන්නා වූ අනතුරක් මින් එල්ල වී ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රකාශයයි. වැලෙන්සියා කලාපයේ ප්‍රධාන නිෂ්පාදනයන් ලෙස වී හා දොඩම් වගාවන් පවතින අතර ගංවතුර හේතුවෙන් එම වගාවන් මුළුමනින්ම පාහේ විනාශ වී ඇත. වැලෙන්සියා කලාපයේ වැදගත්ම කර්මාන්තය ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මෝටර් රථ කර්මාන්තයය. වාහන ඉතාම විශාල ප්‍රමාණයක් ගංවතුරට ගසාගෙන ගිය ආකාරය විදෙස් මාධ්‍ය දසුන් ඔස්සේ අපට දැක බලා ගැනීමට හැකියාව ලැබිණි. වෙලෙන්සියා කලාපයේ ඉතා විශාල ජනගහනයක් මෙන්ම ප්‍රධාන ආදායම් මාර්ග පැවති කලාපයක් මෙවැනි අනතුරකට ලක්වීම සමස්ත ස්පාඤ්ඤයටම දැඩි අනතුරකි.

ස්වාභාවික ව්‍යසනය තුළ ගෝලීය බලපෑම

ගෝලීය දේශගුණික විද්‍යාඥයන්ට අනුව ස්පාඤ්ඤ ගංවතුර තත්ත්වය ඔවුන් විස්තර කරනු ලබන්නේ එය මානව වර්ගයාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ දේශගුණික විපර්යාසයේ බලපෑමක් ලෙසයි. එනම්, වායුගෝලීය උෂ්ණත්වය ඉතා දැඩි ලෙස ඉහළ යාම හේතුවෙන් ඒවා වායුගෝලයේ ඉහළ ස්තරයට මුසු වී නැවත වර්ෂාපතනය ලෙස පහළට පතිත වීමක් වන බවය. මෙම ක්‍රියාවලිය ස්පාඤ්ඤයට පමණක් නොව සමස්ත ලෝක රාජ්‍යයන්ටම දැඩි අනතුරු ඇඟවීමකි. ගෝලීය වශයෙන් ගත් කල 2024 වර්ෂය සලකනු ලැබෙන්නේ වායුගෝලීය උෂ්ණත්වය වැඩිම අගයක් වාර්තා කළ වර්ෂය ලෙසය. (Hottest year) එය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක (154C0) අගයක් වාර්තා කොට ඇත. ලෝක රාජ්‍යයන් වර්තමානයේ මුහුණ දෙන ස්වාභාවික ව්‍යසනවල ධාරිතාව අන් කවරදාකටත් වඩා ඉහළ යාමටත් කිසිදු ආකාරයකින් තුලනය කිරිමට නොහැකි වීමත් කැපී පෙනෙන ප්‍රවණතාවකි.

එක්සත් ජාතීන්ගේ මහාලේකම් ඇන්ටෝනියෝ ගුටාරස් පවසා ඇත්තේ, දේශගුණික විපර්යාසයේ අහිතකර බලපෑම නොකඩවා ඉදිරියට යන අතරම එමඟින් අසමානතාවන් පුළුල් වීම, තිරසර සංවර්ධනය මාවතට හානියක් වීම, සාමයේ පදනමට බාධා පැමිණවීම අනිවාර්යයෙන්ම සිදු වන බවය. ගෝලීය වශයෙන් පරිසර උෂ්ණත්වය වැඩි වීම ස්පාඤ්ඤය මුහුණ දුන් ආකාරයේ ගංවතුර තත්ත්වයන්ට ඉතාම නරක අතට බලපාන අතරම, කාලගුණික තත්ත්වයන් පෙර නොවූ විරූ ආකාරයෙන් අසාමාන්‍ය ලෙස වෙනස් වීම ඒ පිළිබඳ පෙර විනිශ්චයන් කිරීමට ද බාධා පමුණුවනු ලබයි. වාර්තා පිට වාර්තා තබමින් ඇද හැලෙන මහා වර්ෂාව, ගංවතුර තත්ත්වයන්, සුළි කුණාටු, මාරාන්තික උෂ්ණත්වයන්, නියඟයන්වලට මුහුණ දෙන ආකාරය සිතා ගැනීමට පවා අපහසු වන ආකාරයක් උද්ගත වී ඇත.

මේ තත්ත්වය හුදු පාරිසරික බලපෑමක් පමණක් නොව ජාතික රාජ්‍යයන්ගේ ආර්ථික, දේශපාලන, සමාජයීය යන අංශ 3ට ම එකකු ලෙස බලපෑම් ඇතිකරනු ලැබේ. ස්පාඤ්ඤය ලොව සංවර්ධිත රාජ්‍යයක් ලෙස පවතිද්දීත් ඔවුන්ට ද ඇති වූ ගංවතුර තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වීම පිළිබඳ ලෝක පාරිසරික, ආර්ථික විශේෂඥයන් විවිධ පැතිකඩ ඔස්සේ අදහස් පළ කර ඇත. ඉහළම ආර්ථික වර්ධනයක් හිමි ලෝක (දළ දේශීය නිෂ්පාදිතය (GDP)) අතින් යුරෝපයේ 6 වැනි ස්ථානයේ පවතින ස්පාඤ්ඤය ස්වකීය ජනතාව වෙනුවෙන් මෙවැනි විපතකදී ඉතා විශාල හා භාරදූර කාර්යයක් දුෂ්කරතාවකින් තොරව කළ හැකි රාජ්‍යයක්ව පවතිද්දී මේ වන විට දින 13ක් පමණ ගතව ඇති මේ මහා ඛේදවාචකය හමුවේ ස්පාඤ්ඤ ජනතාව මුහුණ දෙන අර්බුදය විය යුතු තත්ත්වයක් නොවන බව අවධාරණයෙන් පැවසිය යුතුය.

lපී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division