මේ වන විට නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත් වී අවසන්ය. ඒ බොහෝදෙනා දැනට දන්නා වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපතිවරයා වූ සුනිල් කුමාර ගමගේ මහතා ය. මෙරට ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් ගන්නා පියවර ඇතුළත් නව රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය නම් කර ඇත්තේ ‘ජවසම්පන්න පුරවැසියෙක් – ජයග්‍රාහී ජනතාවක්‘ යනුවෙනි. එය ප්රමුඛ කරමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්රය ජයග්රාහි සංධිස්ථානයක් කරා රැගෙන යනු ඇතැයි බලාපොරොත්තුවෙන් නව ක්‍රීඩා ඇමැතිවරයා වෙත මේ විවෘත ලිපිය සටහන් වන්නේ ශ්‍රී ලංකාව වැනි සිහින බිඳවැටුණු රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවැතියත්, ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බවට ප්‍රතිපත්ති ප්රකාශනයේ මුලින්ම තබා ඇති සටහන ද මතකයට නංවමිනි.
අද වනතුරු ක්‍රියාත්මක නැහැ
ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වාදීම නව ක්‍රීඩා ඇමැතිවරයා හමුවේ ඇති වැදගත් කර්තව්‍යයකි. එවැනි ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් මීට දශකයකට පමණ පෙර හඳුන්වා දී තිබුණ ද, එය මෙතෙක් ක්‍රියාත්මක නොවන බාලගිරි දෝෂයක් බඳුය. 2012 මැයි මාසයේ 16 වැනිදා නිකුත් කරනු ලැබූ 1758/23 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් එම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබිණි. ඒ සඳහා එවකට ජාතික රාජ්‍ය සභාවේ සාමාජිකයන්ගේ අනුමැතිය ද ඒකමතිකව ලැබී තිබිණි. එහෙත් කිසියම් අදෘෂමාන හේතු මත එය අද වනතුරු ක්‍රියාත්මක කිරීමට බලධාරීහු උත්සුක නොවූහ.
ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට බවට පත් කිරීමේ දැක්මෙන් යුතුව ශක්ති සම්පන්න විනයගරුක අභිමානවත් ජාතියක් බවට පත් කිරීමේ අභිමතාර්ථයෙන් යුතුව හඳුන්වා දුන් එම ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට කුමක් වීදැයි සොයා බැලීම නව ක්‍රීඩා ඇමැතිවරයාගේ යුතුකම වන්නේය. එසේ නොවන්නේ නම් මැතිවරණ ප්රකාශනයේ සඳහන් වන පරිදි නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් පෙරට ගෙන යෑමට පියවර ගත යුතුව ඇත. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැති ලොව එකම රට ද ශ්‍රී ලංකාව විය යුතුය. තිරසර ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැති රටක් කිසිදිනෙක ක්‍රීඩාවේ ප්‍රගතිය කරා රැගෙන යෑමට නොහැකි බව ද සඳහන් කළ යුතුය. පසුගිය දශකය මුළුල්ලෙහිම නව ක්‍රීඩා ඇමැතිවරු රාජකාරී භාර ගැනීමේදී ප්‍රකාශ කරනු ලැබුවේ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දෙන බවය. එහෙත් ඒ ප්‍රකාශ සියල්ලම බොඳවී ගිය සිහින බවට අතීතයට එක්වී තිබේ.
මීට හොඳම නිදසුන අපේ අසල්වාසී ඉන්දියාවෙන්ම ගත හැකිය. ක්‍රීඩාවේ තත්ත්වය උසස් කිරීමේ පරමාර්ථය ඇතිව 1984 වසරේදී ඉන්දියාව Objective of Raising the standard of Sports in the Country නමින් සිය ක්‍රීඩා ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේය. එසේම වසර 5කට පසු එහි ප්‍රගතිය සමාලෝචනය කර අවශ්‍යම සංශෝධන ඇතුළත් කිරීමට ද පියවර ගත්තේය. ක්‍රීඩා ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු වර්තමානය වන විට ඉන්දියාව ක්‍රීඩාවේ ලෝක බලවතුන් සමඟ පෙරමුණට පත්වී සිටී. ඔවුන්ට අහිමි වී ගිය හොකී ආධිපත්‍ය නැවත අත්කර ගැනීම, මලල ක්‍රීඩා, දුනු විදීම, ඉලක්කයට වෙඩි තැබීම, බැඩ්මින්ටන්, මල්ලවපොර වැනි ක්‍රීඩාවලින් අද ඉන්දියාව පෙරමුණ ගෙන සිටි.
ඔලිම්පික් කමිටුව
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රීඩාව සම්බන්ධව ක්‍රියාත්මක වන ක්‍රීඩා පනත හඳුන්වා දී දශක 5කට අධික කාලයක් ගත වූව ද එහි අන්තර්ගත ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා බලධාරින්ට අදටත් නොහැකිවීම කනගාටුදායක කරුණකි. නව ක්‍රීඩා පනතක් හඳුන්වා දිය යුතු බව නව රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද සඳහන් වන බැවින් වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යෑමට හැකි නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට පියවර ගත යුතුව ඇත. එය නව රජයේ ක්‍රීඩා ප්‍රතිපත්ති මාලාවේ පළමු කරුණ ඉක්මනින්ම යථාර්ථයක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.
මේ දිනවල සමාජයේ ප්‍රධාන පුවතක් බවට පත්වී ඇති ජාතික ඔලිම්පික් කමිටුව ගැන ද සඳහන් කළ යුතුය. ක්‍රීඩා පනතේ 18 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ස්ථාපිත කර ඇති අතර, ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියානු හා දකුණු ආසියානු ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීම මත සිදු වෙයි. ඒ සඳහා වන අනුමැතිය සහ මූල්‍ය ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් සපයනු ලැබේ. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝග පිළිපදින හෝ අවනත වන බවක් පසුගිය කාලය මුළුල්ලෙහිම දැක ගත නොහැකි විය. ජාතික ඔලිම්පික් කමිටුව ස්වාධීන ආයතනයක් බව ඔවුන්ගේ අදහස වී ඇත. එහෙත් ජාත්‍යන්තර තරග සඳහා අනුමැතිය හා මූල්‍ය ප්‍රතිපාදන පමණක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙයි. ඔලිම්පික් කමිටුවේ සියලුම නිලධාරින් විදේශ සංචාර සහ ජාත්‍යන්තර සම්මන්ත්රණ සඳහා සහභාගි වීමේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා නොගනී. එමඟින් ක්‍රීඩා පනතේ නියෝග මුළුමනින්ම නොසලකා හැරීමක් සිදු වෙයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ජාතික ඔලිම්පික් කමිටුව මෙරට ක්‍රියාත්මක වන්නේ එසේ පූර්ණ ස්වාධීන ආයතනයක් බවට උපකල්පනය කරමිනි. මේ කරුණු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අවධානයට යොමු කර ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට අනුගත කරවීම නව ක්‍රීඩා ඇමැතිවරයා සතු ප්‍රධාන වගකීමක් වනු ඇත.
ජාතික සංගම් නියාමනය, ජාතික සංගම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලැස්වීම, සියලුම ක්‍රීඩා තරග නියමිත අයුරින් පැවැත්වීමට ස්ථීරවම ක්‍රියාත්මක වන ක්‍රීඩා දින දර්ශනය වසර ආරම්භයට පෙර සැකසීම, ජාතික ක්‍රීඩා අරමුදලින් ලබා දෙන ප්‍රතිපාදන සඳහා විවෘත හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් සකස් කිරීම, 2021 වසරේ සිට අක්‍රියව පවතින ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ නැවත ආරම්භ කිරීම වැනි බොහෝ කරුණු කෙරෙහි නව ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමු විය යුතුව තිබේ.
ගාල්ල ඕල්කට් විදුහලේ පාපන්දු කණ්ඩායමෙන් ක්‍රීඩාවට පිවිස ජනසතු සේවා බැඩ්මින්ටන් තරගාවලියට ද ක්‍රීඩා කර, ජාතික ජල සම්පත් මණ්ඩලයේ ක්‍රීඩා සභාවේ උපසභාපති ධුරය දරමින් ක්‍රීඩා පරිපාලනයට ද එක්වූ නව ක්‍රීඩා ඇමැතිවරයාට ක්‍රීඩාව තුළින් පොහොසත් රටක් බිහි කිරීම සඳහා තම විදුහල් මාතාවගේ ආදර්ශ පාඨය “රාජකාරිය හොඳින් කරන්න – Do The Duties Well” අනුව යමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්රය ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන අතර, උණුසුම් සුබ පැතුම් ද එක් කරමි.
සුසිල් රණසිංහ
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම්
ඡායාරූපය – විමල් කරුණාතිලක