“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ“
පුංචි දුවලා පුතාලා කාටත් මේ එළැඹෙන්නේ පාසල් නිවාඩු කාලයයි.
මීට කලකට පෙර ඒ කියන්නේ අපේ පුංචි කාලෙ නම් පාසල් නිවාඩු සමය කියන්නේ හරිම ආදරණීය මතකයක්. මම එහෙම කියන්න හේතුව අද පුංචි ඔයාලට වගේ නොවෙයි ඒකාලෙ පාසල් නිවාඩු සමය අපට මුළුමනින්ම නිවාඩු කාලයක් විදිහටම ගත කරන්න අවස්ථාව ලැබුණා. අම්මාගේ හරි තාත්තාගේ හරි ගමට යන්න, අත්තම්මා, සීයා වගේම අනෙක් වැඩිහිටියන් හමුවන්න, එහෙමත් නැත්නම් රටේ කොහේ හෝ වන්දනා ගමනක් යන්න, ලස්සන, සොඳුරු තැන් දැක බලා ගන්න ඒ කාලෙ අපට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. ඒත් අද මේ කාර්යබහුල සමාජය තුළ තියෙන තරගකාරි සමාජ ක්‍රමය නිසා පාසල් දරුවන්ට ඒ විදිහට ගත කරන්න නිවාඩු සමයක් නැති තරම්. අර අමතර පන්තිය කියයි. මේ අමතර පන්තිය කියයි. එහෙම නැත්නම් ‘ඔන්ලයින් ක්ලාස්‘ කියාවි. නිවාඩු කාලෙත් හරිම කාර්යබහුලයි.
ඒ කොහොම වුණත් පාසල් නිවාඩු කාලය උපරිමයෙන් විඳින්න දරුවන්ට ඉඩ ලබා දීම මවුපියන් වැඩිහිටියන් වන අපේ යුතුකමක්. දිනෙන් දින ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා එක එක සමාජ මාධ්‍යවල සැරිසරන්න ගියහම අපිට අහිමිවෙලා යන්නේ විවේකී මනසකින් දිවිගෙවන නිර්මාණශීලි දරුවෙක්.
නිරවුල් මනසකින් ලෝකය දකින දරුවාට අලුතින් සිතන්න , තමන්ගේ සිතුවිලිවලට අනුව ක්‍රියා කරන්න නිදහස තිබිය යුතුමයි. ගහකොළ, පරිසරය සමඟ ගැටෙන්න අවස්ථාව දිය යුතුයි. මේ හැමදේටම අවස්ථාව ලැබෙන්නේ මේ පාසල් නිවාඩු කාලය විතරයි.
ඉස්සර හැම ගෙදරකම වගේ දරුවන් එකට එකතුවෙලා සෙල්ලම් ගෙවල් දැම්මා. ඒක හරියට අනාගතයට පුංචි පෙරහුරුවක් වගේ. ඒ පුංචි සෙල්ලම් ගෙදරදි ඔවුන්ට ඉබේම ඉගෙන ගන්න ගොඩක් පාඩම් තිබුණා. එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරන විදිහ, අනෙකාට ගරු කරන විදිහ, අනෙකා සමඟ යමක් බෙදා හදාගෙන කන විදිහ වගේ දේවල් දරුවන් ඉගෙන ගත්තේ තමන්ගේ නිෙවසෙන් වගේම ඒ වගේ සම වයස් දරුවන් ඇසුරු කිරීමෙන්.
ඒ වගේම ඒ දරුවන් ගහ කොළ, පරිසරය ගැන වැඩියෙන් දැන කියා ගත්තෙත් මේ නිවාඩු කාලෙදි.
දරුවන් කියන්නේ මල් වගේ. ඔවුන් නිෙවසේ කොටු කරල හදන්න බෑ. ඔවුන්ට සමවයස් දරුවන් සමඟ ගැටෙන්න අවස්ථාව දිය යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් හුවමාරු කරගෙන අනාගතයට වැඩදායී දරුවන් සමාජයට දායාද කරන්න මේ පාසල් නිවාඩුව දරුවාට හරවත් ලෙස ගත කරන්නට අවස්ථාව සලසා දිය යුතුයි.
පාඩම් විෂය මාලාවටම හිර නොවුණු නිර්මාණශීලි දරුවන් බිහි වන්නේ එවිටයි. කාලය වෙනස් වුවද පාසල් නිවාඩු කාලය දරුවන්ට කොතරම් වටින්නේ ද යන්න අද වැඩිහිටියන් ද තේරුම් ගත යුතුය.
ඉසවි