ගම්පොළ යනු හිටපු ඇමැතිවරයකු අග්‍රාමාත්‍යවරයකු වන දි.මු. ජයරත්න සහ ඔහුගේ පුත්‍රයා වන හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සහ වත්මනෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරාධ ලංකා ජයරත්නට සින්න වූ දේපළක් ද යන ප්‍රශ්නය මතුවී තිබේ.
රාජ්‍ය දේපළ අවභාවිත කරමින් ඔවුන් සිදු කර ඇති වංචා දූෂණ දෙස බලන විට මෙම ප්‍රශ්නය මතුවේ. ගම්පොළ පිහිටි ‘අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල’ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන විගණන වාර්තා නිරීක්ෂණය කරන විට ඔවුන් විසින් සිදු කර තිබෙන මහා පරිමාණ වංචාවන් රැසක් හෙළිදරව් කරගත හැකිය.
මෙම ලිපියට පාදක කරගත්තේ වර්ෂ 2010 සිට වර්ෂ 2022 දක්වා වන විගණන වාර්තාවලින් උපුටා ගන්නා ලද තොරතුරුය.
2010 පළමු විගණන වාර්තාවේම සඳහන් සුවිශේෂි කරුණක් වේ. එම වාර්තාවේ 2.2 ඡේදයේ සඳහන් වන්නේ – 2010 දෙසැම්බර් 31 දින වන විට අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදලේ මූල්‍ය තත්ත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ තත්ත්වයන් පිළිබිඹු නොකරන බවය. මෙයින් පැහැදිලි වන්නේ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාව සකස් කිරීම සඳහා අම්බුළුවාව භාරයේ සභාපතිවරයා ඇතුළු පිරිස සත්‍ය තොරතුරු ලබාදී නැති බවය. මෙය 2010 පමණක් නොව එතැන් සිට 2022 වර්ෂයේ විගණන වාර්තාවන්හි ද දක්නට තිබෙන පොදු ලක්ෂණයකි.
පුදනකොටම කාපි යකා
2010 විගණන වාර්තාවේ සඳහන් තොරතුරු අනුව විගණනයේදී සාක්ෂි ඉදිරිපත් නොකළ ප්‍රශ්නගත මිල ගණන් පහත දැක්වේ.
ගෘහ භාණ්ඩ රුපියල් 1,500,000/=
මහා භාරකාර අරමුදල රු. 15,000,000/=
බැංකු ශේෂය I රුපියල් 1,246,669/=
බැංකු ශේෂය II රුපියල් 759,801/=
ඉදිකිරීම් වියදම් රුපියල් 509,470/=
මිලදී ගැනීම් රුපියල් 163,910/=
මෙයට අමතරව ගොවිජන චෛත්‍යය ඉදිකිරීම සඳහා රුපියල් 17,000ක් හා භාණ්ඩ වෙනුවෙන් රුපියල් 34,725ක් ගෙවා ඇතත් එය කාට ගෙවා ඇතිද යන්න හෙළිවී නැත.
රජයේ මුදලින් රුපියල් 1,800,000ක් වියදම් කර ඉදිකර ඇති කැපටේරියා අවන්හල බාහිර පාර්ශ්වයකට බදු දී තිබුණද ඉන් ලද ආදායමක් ගැන සඳහනක් නැත.
අම්බුළුවාව ශිෂ්‍ය නේවාසිකාගාරයේ කුලුනුවලට කලාත්මක අගයන් එකතු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ බිල්පතෙහි සඳහන් මුදල රුපියල් 107,745ක් වුවද එයට රුපියල් 130,785ක් ගෙවමින් වැඩිපුර රුපියල් 23,040ක මුදලක් ගෙවා ඇත.
මේ 2010 වර්ෂයේ සිදුකළ වියදම්ය. එනම්, මෙයින් වසර 14කට ඉහතදීය. එනිසා වත්මන් මුදල් වටිනාකම දෙස බලද්දී එය සුළු මුදලක් ලෙස ප්‍රදර්ශනය වුවද වසර 14කට සාපේක්ෂව එය විශාල මුදලක් බව සැලකිය යුතු වේ.
ඉදි කළ ගොඩනැඟිලි පියඹලා ගිහින්
මෙයට අමතරව උක්ත වර්ෂයේ ගිණුම් වාර්තාවල පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී ඇත.
රුපියල් 4,670,000ක් වියදම් කර ගොඩනැඟිලි 2ක් ඉදි කර ඇති බව සඳහන් වුවත් එවැනි ගොඩනැඟිලි ආයතන පරිශ්‍රය තුළ නැත.
2009 ඔක්තෝබර් 25 වැනිදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් 15,000,000 ස්ථාවර තැන්පතුව සඳහා එම වසරේ දෙසැම්බර් 31 දක්වා උපචිත 875,000 පොලී ගිණුම්ගත කර නොතිබීම හා උද්‍යාන සේවක වැටුප් සහ උද්‍යාන අලංකරණ ලෙස වියදම් කර ඇති රුපියල් 1,213,336 ආදී වියදම් ද ගැටලුසහගතය.
ඊට අමතරව වසර 2011දී රුපියල් 558,463ක් ගෙවා මිලදී ගෙන තිබූ මෝටර් රථය සඳහා බිල්පත සම්බන්ධයෙන් ද භාරය කිසිදු පිළිතුරක් සපයා නැත.
එමෙන්ම මහා භාරකාර අරමුදලින් අරමුදල වෙත ලබාදී තිබූ මුදල් අරමුදලට ලබා දීම වෙනුවට අරමුදලේ සභාපතිවරයාගේ (දි.මු. ජයරත්නගේ) වෛද්‍ය පහසුකම්, ගුවන් ටිකට්පත්, නවාතැන් ගාස්තු සඳහා ගෙවූ රුපියල් 4,251,044ක් සහ සිංගප්පූරු ඩොලර් 13,112ක් සම්බන්ධයෙන් අරමුදලේ ප්‍රකාශනවල ඇතුළත් කර නැති බව 2012 විගණන වාර්තාවේ සඳහන්ය.
2020 වසරේදී නිකුත් කර තිබෙන විගණන වාර්තාව අනුව විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන දෙකක් විකුණා තිබේ. අම්බුළුවාව භාරයේ භාණ්ඩාගාරිකවරයා විගණන නිලධාරින්ට පවසා ඇත්තේ 2019 වසරේදී මෙම වාහන දෙක රුපියල් මිලියන 7.5 කට විකුණූ බවය. එහෙත් ඊට අදාළ තක්සේරු ලේඛන හා එම මුදල අරමුදලට ලැබුණු බවට සඳහන් ලේඛන කිසිවක් විගණනයට ඉදිරිපත් නොකළ බව විගණන වාර්තාවේ සඳහන් වේ.
උක්ත විගණන වාර්තාවේ තවත් සැක උපදවන ගනුදෙනු ගැන සඳහන්ව ඇත. ඒ අනුව සහතික නොකළ වවුචර් 52ක් සඳහා රුපියල් 5,493,696ක් ද සහතික නොකළ තවත් වවුචර් 139ක් සඳහා රුපියල් 15,946,943ක්ද ගෙවා තිබේ. මේ අතර මුදල් ගෙවන ලද්දේ කාටදැයි සඳහන් නොවන වවුචර් 16ක් සඳහා රු. 2,427,180ක් ද ගෙවා ඇත.
ඒ අතරේ තොග සහතික අමුණා නැති වවුචර් වෙනුවෙන් රුපියල් 1,448,586ක්ද මුදල් ලැබුණ බවට කුවිතාන්සි නැති වවුචර් 70ක් වෙනුවෙන් ද ගෙවා ඇති මුදල රුපියල් 8,589,583කි.
මෙම විගණන වාර්තාවට අනුව රාජ්‍ය මුදල් රුපියල් 10,000,000ක් වියදම් කර ඉදිකර ඇති අංගසම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවෙන් කිසිදු ආදායමක් උපයා නැත. එසේම විගණන වාර්තාවට අනුව ගෙවීම් තුනක එකතුව වන රුපියල් 553,751ක් සඳහා එකදු වවුචරයක් හෝ විගණනයට ඉදිරිපත් කර නැත.
මෙහෙමත් සොරකම්
2021 වසරේ විගණනය සිදුකළ විගණන නිලධාරියා තැබූ අපූරු සටහනකි මේ.
“මෙම වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ඇතුළත් වීමේ අවසරපත්වල පිළිපත් ගිනි තබා විනාශ කර තිබීම නිසා ආදායම නිරීක්ෂණය කළ නොහැකි විය.”
විධිමත් ටෙන්ඩර් ක්‍රියාපටිපාටියකින් තොරව අරමුදල සතු වාහනයක් රුපියල් 3,500,000කට බාහිර පුද්ගලයකුට විකුණා තිබුණ ද ඊට අදාළ කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
අරමුදල සතු එකතුව රුපියල් 9,130,000ක් වටිනා ටොයොටා වර්ගයේ මෝටර් රථය හා විදුලියෙන් ක්‍රියා කරන යතුරුපැදිය භාරය සතුව හා භාරයේ කටයුතු සඳහා යොදවාගත් බවට තහවුරු කිරීම සඳහා තොරතුරු ඉදිරිපත් නොකෙරුණි. එසේ වුවද මෝටර් රථය අලුත්වැඩියාව සඳහා රුපියල් 608,089ක් ගෙවා තිබිණි.
සුළු මුදල් ප්‍රතිපූර්ණය කිරීමේ අවස්ථා 3කදී බිල්පත් වටිනාකම ඉක්මවා රුපියල් 29,100ක් හා අවස්ථා 08කදී කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් වෙත රුපියල් 260,000ක් ගෙවා තිබිණි. එයට අමතරව රුපියල් 55,000ක මුදල් ගෙවීම සම්බන්ධයෙන් ආදායකයා පිළිබඳ තොරතුරු නොවීය.
සේවකයන් 13 සිට 18 අතර සංඛ්‍යාවකට සේවක අර්ථසාධක අරමුදල් ගෙවා නැත. බලය දීම, ගෙවීම් අනුමත කිරීම හා සහතික කිරීම නොකළ වවුචර් 231ක් සඳහා රුපියල් 35,932,655ක් ගෙවා තිබිණි.
සමාලෝචන වර්ෂයේ ගෙවීම් වවුචර් 156ක් මඟින් ගෙවන ලද එකතුව රුපියල් 26,548,673ක් සම්බන්ධයෙන් එම මුදල් ලැබුණ බවට ආදායකයාගෙන් කුවිතාන්සි ලබාගෙන නොතිබිණි.
ප්‍රවේශ පත්‍ර හා වෙනත් ආදායම් ලැබීම් රුපියල් 21,466,760කින් රුපියල් 20,834,871ක් බැංකුවේ තැන්පත් කර තිබුණද අත ඉතිරි කරගෙන තිබූ මුදලෙහි රුපියල් 143,400ක අඩුවක් නිරීක්ෂණය වී තිබිණි.
රුපියල් 3,726,540ක් වියදම් කර කඳු සහිත ස්ථාන තැනිතලා කිරීම සහ ගල් කැඩීම සිදු කර තිබුණද මෙම කටයුතු සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ හා අනුමැතිය ලබාගෙන නොතිබිණි.
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගැහිලි
වර්ෂ 2022 විගණන වාර්තාව වෙතින් ජයරත්නලාගේ තවත් රහස් කෙළි සෙල්ලම්වල තොරතුරු එළියට පැමිණ තිබේ.
1. භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් හා එහි වෙනස්වීම්වලට අදාළ විස්තර ලේඛනයක් පවත්වා නොතිබීම.
2. පොදු ලෙජරයක් පවත්වාගෙන නොයෑම.
3. ගෙවීම් කිරීමේදී අදාළ වවුචර් පිළියෙල කර ඒවා අංක කර මුදල් පොතේ හා වැය ලේඛනයේ සඳහන් කර ගෙවිය යුතු වුවද එසේ වවුචර් පිළියෙල කිරීමකින් තොරව ඍජුවම චෙක්පත් ලියා ගෙවීම් කර තිබීම.
4. අත්තිකාරම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබීම.
5. ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබීම.
6. අවස්ථා 50 කදී ගෙවන ලද රුපියල් 6,621,322ක මුදල වෙනුවෙන් අදාළ වවුචර්පත් හෝ ලිපි ලේඛන නොතිබීම.
7. වාහන අනතුරු පිළිබඳව පොලිසියට දැනුම් දී නැත.
8. ගල්වැටි ඇල්ලීම සඳහා වර්ග අඩියකට රුපියල් 90 බැගින් පොරොන්දු වී ඒ සඳහා වන ගෙවීම රුපියල් 1,063,080 වුවත් රුපියල් 616,410ක් වැඩිපුර ගෙවා ඇත. මෙම කර්මාන්තය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා ඉංජිනේරු ඇස්තමේන්තුවලින් තොරව සිදු කර තිබීම, එසේම අම්බුළුවාව පාර්ශ්වයෙන් ගිවිසුමට අත්සන් කර ඇත්තේ එහි උපදේශකයාම වන අතර, ව්‍යාපෘතියේ මිනුම් ගෙන බිල්පත් සකසා ඇත්තේ ද ඔහුමය.
9. අම්බුළුවාව භාරයේ සම්මන්ත්‍රණ ශාලාව ටෙන්ඩර් කිරීමකින් හෝ ගිවිසුම්ගත වීමකින් තොරව පෞද්ගලික සමාගමකට බදු දී තිබීම.
10. මෙම විගණනයේදී අම්බුළුවාව භාරය පාර්ශ්වයෙන් පිළිතුරු දීමට හා කරුණු පැහැදිලි කිරීමට නිලධාරියකු නැති බවට සභාපතිවරයා සහ සාමාජිකයකු පිළිගෙන ඇති බවද ඉදිරියේදී එවැන්නකු යොදවන බවට ද භාරය පොරොන්දු වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් 2010 සිට 2022 දක්වාම අම්බුළුවාව භාරය නිසි පරිදි ගිණුම් වාර්තා පවත්වාගෙන ගොස් නැති බව පැහැදිලිය.
අනෙක් විශේෂ කාරණය වන්නේ, අම්බුළුවාව භාරයේ සියලු ඉදිකිරීම් සඳහා වැය කර ඇත්තේ රජයේ මුදල් වීමය. විශේෂයෙන්ම දි.මු. ජයරත්න ඇමැතිවරයකු මෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේදී ඔහු යටතේ පැවති විවිධ අමාත්‍යාංශවලින් මුදල් වෙන් කරගෙන මෙම ඉදිකිරීම් සිදු කර ඇත. 2010 සිට 2022 දක්වා විගණන වාර්තා නිරීක්ෂණය කළ විට එය පැහැදිලි වෙයි. අවශ්‍ය අයෙකුට විගණකාධි දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් ඒ බව දැනගත හැකිය.
එසේම අම්බුළුවාව භාරය සතු වාහන සම්බන්ධයෙන් සිදු කර ඇති අවභාවිතාවන් ද එම වාර්තාවලින් පැහැදිලි වේ.
රාජ්‍ය මුදල් නාස්තිය, අවභාවිතය, දූෂණය සහ වංචාව ඉහවහා ගිය තැනක් සඳහා හොඳම නිදර්ශනය අම්බුළුවාව භාරය වන්නේය. ජනතාව නව පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් පත්කර යැවිමේ අපේක්ෂාවන් තුළ මේවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ අපේක්ෂාවන් ද ගැබ්ව තිබෙන බව පමණක් පවසමි.
නිමල් අබේසිංහ