මහමැතිවරණයෙන් සිදු වූ ඓතිහාසික දේශපාලන පෙරළිය සහ ඊට ඇති අභියෝග සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ සිළුමිණ කළ කතාබහකි.
2024 ජනාධිපතිවරණය හා මහමැතිවරණය ගත් විට එය ලාංකේය දේශපාලයේ ඓතිහාසික සංධිස්ථානයක් සලකුණු කරනවා. විශේෂයෙන්ම පශ්චාත් යටත්විජිත දේශපාලනය සහ ඉන් පසුව බලලෝභි දේශපාලනය ප්‍රභූ පන්තියක් අතින් තමයි මේ බලය මාරු වෙන්නේ. මෙය ඔබ කියවා ගන්නේ කවර ආකාරයෙන්ද?
ජනාධිපතිවරණයෙත් පාර්ලිමේන්තු මැතිවරණයෙත් ඇති වෙච්ච මේ පරිවර්තනය සාමාන්‍ය ආණ්ඩු පෙරළියකට එහා ගිය දේශපාලන බලය පිළිබඳ මූලික පරිවර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ජනතාව මුල්වී සිය අපේක්ෂා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළත්; ඔබ කියූ පරිදි රාජ්‍ය විසින් ලබාගන්නා බලයෙහි පන්තිමය නැඹුරුවක් තිබෙනවා. මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගන්න අපට විවිධ ප්‍රශ්න නැඟිය හැකියි. මේ ලැබුණු රාජ්‍ය බලය භාවිත වෙන්නේ කවර සමාජ තීරුවක් වෙනුවෙන් ද? කාගේ වාසිය සඳහා ද? කාගේ අභිලාෂය වෙනුවෙන්ද; කවුද තීරකයෝ ?… මෙවැනි ප්‍රශ්න රාශියක් නැඟිය හැකියි. එසේ ප්‍රශ්න නැඟීමෙන් අපට පුළුවන් දේශපාලන බලයේ සමාජීය පදනම; නැත්නම් පන්තිමය පදනම පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න.
මේ ආකාරයට ගොඩනැඟෙන රාජ්‍ය බලයේ පන්තිමය පදනම තවදුරටත් විග්‍රාහ කළොත්?
හැමෝටම ඡන්ද බලය තිබුණට ඒ ඡන්ද බලයට පිටතින් සත්‍ය ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය බලයෙහි පන්තිමය නැඹුරුවක් තිබෙනවා. නමුත් දේශපාලන පරිවර්තනවලදී මේ පන්තිමය පදනම වෙනස් විය හැකියි. ලංකාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කරන විට යම් යම් අවස්ථාවල එවැනි දේ සිදුව තිබෙනවා.
1956ට පෙර කාලය අරන් බැලුවොත්; රාජ්‍ය බලය හැසිර විය හැකි ප්‍රධාන පිරිස් සිටියදී වෙනත් පිරිස්වලටත් බලය හැසිරවීමට යම් ඉඩකඩක් ලැබුණා. විශේෂයෙන් 56දී නව කණ්ඩායමක් අතට බලය මාරු වුණත් කලින් හිටිය අයගෙන් සම්පූර්ණයෙන් බලය මාරුවීමක් එයින් සිදු වූයේ නැහැ. එතෙක් පැවත ආ බලයේ අඛණ්ඩත්වය එලෙසින්ම පැවතියදී තමයි මේ බල පෙරළිය සිද්ද වුණේ. මෙහි යම් යම් ඛණ්ඩනයන් දකින්න පුළුවන්. මෙය මාර්ටින් වික්‍රමසිංහ විසින් ‘බමුණු කුලයේ බිඳවැටීම’ යනුවෙන් කළ සංස්කෘතික ප්‍රකාශයේ වුවත් එහි කිසියම් පන්තිමය ස්වභාවයක නැඟීම සංඥා වෙනවා. මෙම නව පන්තිය මැද මට්ටමේ ඉඩම් හිමි පන්තිය ලෙස හඳුනා ගන්න පුළුවන්. සඟ වෙද ගුරු ගොවි කියල හැඳින්වූයේ ඒ අයයි. බලයේ ආධිපත්‍ය ඉහළ පන්තීන් සතුව පැවතියත් ඔවුන්ට බලයේ කිසියම් පංගුවක් හිමිව තිබුණා. ඒ වගේම 1977 එවැනි යම් පරිවර්තනයක් සිදු වුණා. මෙවැනි සුළු වෙනස්කම් ඇති වුණත් මේවා දේශපාලනික අර්ථයෙන් එතරම් ගැඹුරු වෙනස්කම් නෙමෙයි.
නමුත් මේ පරිවර්තනයේ අපට ඊට වඩා වෙනස් නැඹුරුවක් දකින්න ලැබෙනවා නේද ?
ඔව්. නමුත් මේ වෙනස්කමේ ප්‍රතිඵල අපට කියන්න පුළුවන් වෙන්නේ කාලයක් ගියාට පසුවයි. එකපාරටම එය මෙහෙමයි කියන්න බැහැ. දේශපාලන බලය කියන්නේ ආණ්ඩුව විතරක්ම නෙමෙයි. රාජ්‍ය සතු සැබෑ බලය (Actual Power) හොබවන වෙනත් ආකෘති ගණනාවක් තියෙනවා. ඒවා විවිධ මට්ටම්වල විවිධ තලවල ක්‍රියාත්මක වෙනවා. ඒවායින් ආණ්ඩු බලය දරන පිරිස වෙනස් වූ පමණින් ඒක හැමතැනටම එකම ආකාරයෙන් බලපැවැත්වෙන්නේ නැහැ. නමුත් මෙහිදී සැලකිය යුතු වෙනසක් සිදුව තිබෙනවා.
ජාතික ජන බලවේගයේ කේන්ද්‍රයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ අයත් වන්නේ සාම්ප්‍රදායික බල ප්‍රභූ කවවලට(Power Circle) නෙමෙයි. ඒ අයගේ බලය කේන්ද්‍රගත වී තිබුණේ සාම්ප්‍රදායික බල ප්‍රභූ කවවලට පිටතින්. ඔවුන්ගේ අපේක්ෂා අරමුණු මේ පැවැති සාම්ප්‍රදායික බල ප්‍රභූ කවවලට වඩා වෙනස්. ඔවුන් අතට තමයි මේ බලය ලැබුණේ. ඒ නිසා මෙහි යම් වෙනසක් මා දකිනවා. නමුත් ඒ වෙනස කොතරම් දුර දිග යයිද කියන්න අප තවමත් දන්නේ නැහැ. ඒක ලේසි නැහැ. ඒ නිසා මේ අයට කොතරම් දුරට ගැඹුරු පරිවර්තනයක්(Deep Transformation) සිදු කරන්න හැකිවෙයිද කියලා අපි තවම දන්නෙ නැහැ.
ව්‍යුහාත්මකව ගත්තොත් පරිපාලන තන්ත්‍රය සම්බන්ධයෙන්; ආර්ථික සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන්; ජාත්‍යන්තර භූ දේශපාලනය හැසිරීම සම්බන්ධයෙන්; ආරක්ෂක යන්ත්‍රය සම්බන්ධයෙන්; වෙනත් දෘෂ්ටිවාදී යන්ත්‍රණ (ආගම, අධ්‍යාපනය, ජනමාධ්‍ය) සම්බන්ධයෙන්..ආදී වශයෙන් මේ බලය විශාල පරාසයක පැතිරී තිබෙනවා. මේවා ගැඹුරු පරිවර්තනයකට යොමු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒනිසා මේ ගැඹුරු පරිවර්තනය කොයිතරම් දුරට සිදු වුණාද? සාර්ථක වුණාද? යන කාරණය අපට බලන්න පුළුවන් වෙන්නේ අනාගතයෙදි. මේවන විට ඒ සඳහා කිසියම් නැඹුරුවක් ඇති වී තිබෙන බව පේනවා.
මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලනයෙන් දෙමළ ජනතාව කිසියම් ආකාරයක විතැන්වීමක් සලකුණු කර ඇති බව පේනවා. ඔබ එය දකින්නේ කොහොමද?
ඒ අයගෙ දේශපාලන අදහස් ලොකුවට වෙනස්වෙලා මේ ප්‍රතිඵලය ලැබුණා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ අයගේ දේශපාලන තෝරා ගැනීම්වල යම් වෙනසක් සිදුව ඇති බව පේනවා. මින් පෙර බොහෝ අවස්ථාවලත් එසේ සිදුව තිබෙනවා. පැරණි දේශපාලන පක්ෂ ගත්තොත් දෙමළ කොන්ග්‍රසය, විශේෂයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඒවගේම තරුණ සටන්කාමී කණ්ඩායම් මේ විදිහට දෙමළ තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වුණා. ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව මේ සටන්කාමී කණ්ඩායම් පක්ෂ බවට පත් වී ප්‍රධාන දේශපාලන ධාරාවට පැමිණියා. නැවත මේවා සන්ධානගත වුණා. දෙමළ ජාතික සන්ධානය බිහි වෙන්නේ ඒ ආකාරයට. මේ ආකාරයට ජාතිකවාදී නැඹුරුවකින් යුතුව මේ අය සංවිධානය වුණේ තමන් ජීවත්වන ප්‍රදේශවල දේශපාලන ස්වායක්තභාවය දිනාගැනීමයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන භූමිකාව හොබවන ජනතා විමුක්ති පෙරමුණ මේ දේශපාලන ස්වායක්තභාව පිළිබඳ අදහස ජාතිකවාදී පදනමින් පිළිගන්න පිරිසක් නොවීමයි. ඒ වගේම ඔවුන් තුළ දකුණේ සිංහල බෞද්ධ අන්තවාදීන් සමඟ පවතින්නේ දුරස්ථ සම්බන්ධතාවක්. නමුත් යම් යම් කාලවල ඔවුන් බොහෝම ළඟින් එකට කටයුතු කර ඇති ආකාරයත් අප දැක තිබෙනවා. නමුත් යම් දුරස්ථභාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම දකුණේ සිංහල බෞද්ධ අන්තවාදීන් තුළ ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ විවේචනාත්මක ආකල්පයකුත් තිබෙනවා. මේ වගේ පසුබිමක් තුළ උතුරේ ජනයා විසින් විශේෂයෙන්ම උතුරේ මධ්‍යම පන්තික ප්‍රජාව ජාතික ජන බලවේගය වෙත නැඹුරුවීම ඉතාම වැදගත් සංඥාවක්. ඒ අය ජාතිකවාදය අත්හැරල මෙතෙන්ට ආවා කියන්න තවම කාලය මදියි.
නමුත් මේ තුළ වෙනස් තත්ත්වයක් දැකිය හැකියි. යුද්ධයෙන් පසුව උතුරේ සමාජ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සිදු වුණා. විශේෂයෙන් යුද්ධය කාලයේ පැවති සමාජ වටපිටාව වෙනස් කර ගැනීම, අධිආරක්ෂිත කලාප, පාරවල් වසා තැබීම, ඉඩම් අත්පත් කර ගැනීම මෙන්ම තවමත් ඒ අය දිහා බලන්නේ සැකයෙන්. පරිපාලනයේ ප්‍රධාන අංගය බවට ආරක්ෂාව පත්ව තිබෙනවා. මේ දේවල පරිවර්තනයක් ඒ අය ඉල්ලා සිටිනවා. ඒක ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින කාරණයක්. නමුත් ආරක්ෂාව මූලික කරගත් රෙජිම් එකක් පවත්වාගෙන යන්න කියන දේ තමයි දකුණෙන් කියන්නේ. මීට වෙනස් ප්‍රවේශයක් උතුර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ පවතින බවක් ඔවුන් සිතනවා. ඒ පිළිබඳ සලකා බැලීමක් මේ ප්‍රතිඵලයෙන් අපට පේනවා.
ජනාධිපතිවරණයේදී නොදුටු තත්ත්වයක් මේ මහමැතිවරණයේදී අප දෙමළ දේශපාලන ප්‍රජාවෙන් දකිනවා. එය මෙරට මහමැතිවරණ ඉතිහාසයේ මෙතෙක් අත්නොදුටු තත්ත්වයක්. ඔබ එය කියවා ගන්නේ කොහොමද?
ජනාධිපතිවරණවලදී කලින් පැවැති තත්ත්වය වුණේ සිංහල බෞද්ධ අන්තවාදී මතවාදය නියෝජනය කරන අපේක්ෂකයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, සජිත් ප්‍රේමදාස වගේ අයට ඔවුන් ඡන්දය දුන්නේ ඒ පදනමින්. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ දෙන්නම ඒ තත්ත්වයේ නොසිටියත් ඔවුන් සජිත් ප්‍රේමදාසටයි ඡන්දය ලබා දුන්නේ. නමුත් ඔවුන් මහමැතිවරණයේදී සම්පූර්ණයෙන්ම අනික පැත්ත හැරී තිබෙනවා. මෙතෙක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි නොදැකපු තත්ත්වයක් මේ. මොකද ඔවුන්ගේ ප්‍රජාවෙම පක්ෂ නියෝජිතයින් මේ සඳහා ඉදිරිපත් වී තිබියදී තමයි මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසා මේ මැදිහත්වීම වඩා සැලකිල්ලට යොමු කළ යුතු තත්ත්වයක්.
මේ මහමැතිවරණයේදී වතුකරයේ දෙමළ ප්‍රජාවගේ හැසිරීමත් කිසියම් සන්ධිස්ථානයක්. ඒ ගැන ඔබේ විග්‍රහය මොකක්ද?
වතුකරයේ තත්ත්වය තරමක් සංකීර්ණයි. මෙහිදී මා කලින් සඳහන් කළ උතුරේ පවතින ගති වතුකරයේ දෙමළ ප්‍රජාව තුළත් තිබෙනවා. එසේ වුවත් වතුකරයේ සමාජය පසුගිය කාලයේ විශාල වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. අප සාම්ප්‍රදායිකව වතුකරය කියල හඳුන්වන්නේ වතුවල කටයුතු කරන ප්‍රජාව වුවත් දැන් ඔවුන්ගේ ප්‍රමුඛ වෘත්තිය වන්නේ වතුවල වැඩ කිරීමම නෙමෙයි. විශේෂයෙන් තරුණ ප්‍රජාව. ඒ අය වතුවලින් පිට රැකියාවලට යොමු වී තිබෙනවා. ඒ නිසා ඒ අයට තවදුරටත් ඔවුන්ට සාම්ප්‍රදායික වතු දේශපාලනය මත පදනම්ව කටයුතු කරන දේශපාලන නායකයෝ වැදගත් නැහැ. මේ නව ශ්‍රම සබඳතාවල වෙනස්කම් එක්ක තරුණ ප්‍රජාවේ දේශපාලන නැඹුරුවේ වෙනසක් ඇති වී තිබීම මේ ඡන්ද ප්‍රතිඵලයෙන් අපට දකින්න පුළුවන්. ඇත්තෙන්ම මෙය පුළුල් ලෙස අධ්‍යනයට යොමු විය යුතු කාරණයක්.
මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් පාලනයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනවා. ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතවාදය මොන වගේද?
මෙහිදී මූලිකව අවධානය යොමු කළ යුතු වන්නේ ආර්ථික ප්‍රශ්නය පිළිබඳයි. මේ ආර්ථික අර්බුදය ඉතා දරුණු අන්දමින් බලපා තිබෙන්නේ සමාජයේ පහළම පන්තියටයි. ආණ්ඩුවට සහාය දක්වන්නේ මේ පීඩිත ජන කොටසයි. ඒ අය තුළ කලකිරීමක් ඇති නොවෙන්න නම් ඔවුන්ට විසඳුම් ලබාදීම අත්‍යවශ්‍යයි. අනෙක් අතට අප පෙර සඳහන් කළ සාම්ප්‍රදායික බල ප්‍රභූ කව (Power Circle) මේ දේශපාලන පෙරළිය ගැන සතුටකින් නෙමෙයි ඉන්නේ. ඒ වගේම භූ දේශපාලන බලවේගත් ඉන්නේ සතුටින් නෙමෙයි.
මුල සිටම ඒ අය දැක්කා ජාතික ජන බලවේගයේ ඇති වූ වර්ධනය. මේක මුකුත් කරල නවත්වන්න බැහැ. ඒ නිසා විරුද්ධව කටයුතු කරනවට වඩා හොඳයි; ඔවුන්ට බලයට එන්න ඉඩදීලා ඒක හැසිරවීමට උත්සාහ කිරීම. ආණ්ඩුවට තිබෙන ඇත්ත අභියෝග මේවා. ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් සියලුම භූ දේශපාලන කණ්ඩායම්වල උපායමාර්ගය වී තිබෙන්නේ එයට විරුද්ධ නොවී ඒ අයව තමන් වෙත නතු කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ අය හිතනවා මේ අය දුර්වල පාර්ශ්වයක් ඒ නිසා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය එක්ක ඒ අයට වාසිදායක සම්මුතිවලට එළැඹීම මඟින් ආණ්ඩුව බිලිබා ගැනීමට හැකි බව. අමෙරිකානු, ඉන්දියානු උපායමාර්ගවල තිබෙන්නේ එවැනි කරණා. ඒවා මේ ආණ්ඩුවට තිබෙන අභියෝග. මොකද මේවා අමතක කර හෝ අපි පැත්තක් ගන්නේ නැතිව කටයුතු කරන්න බැහැ. මේ පිළිබඳ අවධියෙන් ඉඳීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ අභියෝග ජය ගන්න නම් ආණ්ඩුවට ලොකු ඥානයක්; දැනුමක් අවශ්‍ය වෙනවා.
රසික කොටුදුරගේ