10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පසුගිය 21 වැනිදා විවෘත කෙරුණේ මෙරට 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
සරලම පාර්ලිමේන්තු සැසිවාරය
ජාතික ජන බලවේගය මෙරට විධායක ජනාධිපති ධුරය ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් ජයග්‍රහණය කිරීමෙන් පසුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මීළග කාරණය වූයේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවටයි.
ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර, ජයමංගල ගාථා කිසිවක් නොමැතිව ඉතාමත් චාම් ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයක් ආරම්භ කිරීම මේ ආකාරයට ඉතිහාසයේ පැවැත්වූයේ පළමුවරටය.
මෙසේ පාර්ලිමේන්තු සැසිවාරය ඉතාමත්ම චාම් ආකාරයෙන් පවත්වන ලෙසට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට උපදෙස් ලැබී තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.
හැමෝම පුදුම කළ අනුරගේ පැමිණීම
මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීම සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පැමිණී ආකාරය බොහෝ දෙනෙකු පුදුමයට පත්කළ කාරණයක් විය.
විශේෂයෙන්ම එක් ආරක්ෂක ජීප් රථයක් සමඟ ජනාධිපතිවරයා පැමිණීම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුදුමයට කාරණයක් විය.
ඒ ගැන කතා කරමින් කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරන විරුද්ධ පක්ෂයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තවත් කොළඹ දිස්ත්‍රීක්කයේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙසේ කීවේය.
“ඒක තමයි. සරල වීම හොඳයි. නමුත් ඒකේ සීමාව හරියට අවබෝධ කරගත යුතුයි. මොකද ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වීම හොඳයි” යනුවෙන් අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.
විදෙස් තානාපතිවරුන්ගේ දැඩි අවධානය
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීමද විශේෂත්වයකි.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ගැලරිය දෙස් විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසකගෙන් පිරීගොස් ජනාධිපතිවරයාගේ කතාව දැඩි අවධානයකින් සවන් දී සිටින අයුරු දකින්නට ලැබිණ.
රටේ ආර්ථීකය ගොඩනැඟීමට තිබෙන අභියෝග, ජාත්‍යන්තරයේ සහයෝගිතාවය ලබාගන්නා ආකාරය, ජාත්‍යන්තර වෙළෙඳාම, සංචාරක, කෘෂිකර්මාන්තය, විදෙස් ආයෝජන පිළිබඳව ජනාධිපතිවරයා දැක්වූ කරුණු මෙම ආරාධිතයින් පිරිසගේ වැඩි අවධානය යොමුවීමට හේතු වී තිබුණි.
නැකැත් නොමැති වැඩ භාරගැනීම්
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනා සිය අමාත්‍යාංශ වෙත ගොස් වැඩ භාරගත්තේ කිසිදු නැකතක් හෝ විශාල පිළිගැනීම් උත්සව කිසිවක් සංවිධානය නොකර වීම තවත් විශේෂත්වයකි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි වැඩ භාරගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයට පැමිණියේ තම වාහනය තමන් විසින්ම පදවා ගෙනයි. මේ පිළිබඳ අමාත්‍යාංශයේ ඇතැම් සේවකයින්ද විමතියට පත්ව සිටිනු අයුරු දකින්නට ලැබිණි.
ගෑස් සිලින්ඩරය ගිනි ගනී
මේ ගෑස් සිලින්ඩරය ගිනිගත් සතියකි. ගිනි පුලිඟුව තැබුවේ රවී කරුණානායකයි. ගෑස් සිලින්ඩරයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවී හොර රහසේම ඩැහැගෙන තිබිණි. ඒ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ලවා ඔහුගේ නම ජාතික ලැයිස්තුවට යෝජනා කරමින් මැතිවරණ කොමිසමට ලිපියක් යැවීමෙනි. ඒ ඉකුත් 18 වැනිදාය.
රවී මේ ක්‍රියාව කර තිබුණේ ගෑස් සිලින්ඩරයෙන් තරග වැදුණු සියලුම පක්ෂවල අපේක්ෂකයන් කැඳවා සාකච්ඡා කොට ජාතික ලැයිස්තුවට සුදුසු නම් දෙකක් තීරණය කරන්නට පැය කිහිපයක් තිබියදීය.
ඒ තීරණය ගැනීමට නියමිතව තිබූ රැස්වීම රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
රවීගේ වැඩේ මුලින්ම දැනගත් හැටි
” අන්න රවිගෙ නම කොමිසමට යවලා” රනිල් මුලින්ම රවී කළ වැඩේ දැනගත්තේ හිතවත් මාධ්‍ය සගයකුගෙනි.
ලෝකෙ පෙරළුණත් කලබල නොවන රනිල් එම ආරංචියේ ඇත්ත නැත්ත සොයා බැලුවේය. අනතුරුව ගෑස් සිලින්ඩරයේ පක්ෂ නායකයන් සියලු දෙනා කොළඹට කැඳවන්නට කටයුතු කළේය.
ඒ රැස්වීම පැවැත්වුණේ 19 වැනිදාය. කවුරුත් පුදුම කරමින් රවීත් එම රැස්වීමට ඇවිත් වාඩි විය.
රවීට දොස්
” මේ මිනිහට විලි ලැජ්ජාවක් නැති හැටි” රැස්වීමෙන් පසු එජාප නායකයෙක් මාධ්‍ය සගයකුට එසේ පවසා තිබිණි.
එම රැස්වීම මඳක් උණුසුම් තත්ත්වයකට පත්වූයේ සිලින්ඩරේ සියලු පක්ෂ නායකයන් රවීට දෝෂාරෝපණය කරන්නට වූ බැවිනි.
” මෙයාට විරුද්ධව විනය පියවර ගන්න, හරිනම් පක්ෂයෙන් නෙරපන්න ඕන” පක්ෂ නායකයෝ රනිල්ගෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වුවද රනිල් මෙන්ම සෙසු පක්ෂ නායකයෝ ද රවී කළ වැඩේ හෙලා දුටුවෝය.
ගෑස් සිලින්ඩරයට හිමි ඉතිරි මන්ත්‍රී අසුන සඳහා යැවිය යුතු පුද්ගලයා සම්බන්ධයෙන් එහිදී පළ වූයේ බෙදුණු තීරණයකි.
“පලපුරුදු කෙනෙක් යවන්න ඕනෑ“ යැයි බන්දුල කියද්දී තරුණ කෙනෙක් යැවිය යුතු බව බහුතර පිරිසක් කීහ. එදින තීරණයක් නොගෙනම පිරිස විසිර ගියහ.
එදින සන්ධ්‍යාවේ රනිල් අමතමින් ලිපියක් ලියූ එජාප කොළඹ කළමනාකරු මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන, රවී එජාප ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට කෘත්‍යාධීකාරී මණ්ඩලය වහා කැඳවන්නැයි ඉල්ලා සිටියේය.
අනතුරුව රැස් වූ සිලින්ඩර පක්ෂ නායකයන් රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කර සති තුනක් ඇතුළත රනිල්ට වාර්තාවක් දෙන්නට සිවු පුද්ගල කමිටුවක් පත් කළේය.
බඳාදා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරමින් රවීගේ නම යැව්වේ රනිල්ටත් දන්වා යැයි පැවසුවාය.
ඊට පිළිතුරු සපයමින් එජාප සභාපති වජිර බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කළේය. එයින් කියවුනේ රනිල්ට දන්වා රවීගේ නම යැව්වා යැයි කියන කතාව අමූලික බොරුවක් බවයි.
කංචනට වැඩි කැමැත්තක්
කෙසේ වුවද අවසානයේ සිලින්ඩරයට හිමි ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචනගෙ නම යැවීමට එකඟතාවයකට පැමිණ තිබිණි.
රනිල්ගෙන් අනුරට හා විජිතට සුබ පැතුම්
රනිල් ඉකුත් සඳුදා ජනපතිටත් ප්‍රධාන ඇමැති ධුරයකට පත් වූ විජිතටත් දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේය. රනිල් ඒ ඇමතුම ගත්තේ අනුරගේ මෙන්ම විජිතගේ සරසවි සමකාලීන හිතවතකුගේ දුරකතනයෙනි.
” ඔන්න මම 2024ට ලොකු ආදායමක් ඉතුරු කරලා ආවා. ඒ නිසා වැඩිය හිතන්නේ නැතිව ආණ්ඩුවේ සේවකයන්ගේ පඩිය වැඩි කරන්න” රනිල් විජිත සමඟ කීවේය.
රනිල් අනුර ජනපති අමතමින් පැවසූයේ ” ඔබට ලොකු ජනවරමක් ලැබිලා තියෙනවා,දැන් වැස්සත් පෑව්වත් ඒ දෙකේම වගකීම පවරා ගන්න වෙනවා” යනුවෙනි.
අයි.එම්. එෆ් ගිවිසුම සම්බන්ධයෙන්ද රනිල් එහිදී අනුරට විශේෂ හෙළිදරව්වක් කළේය.
” ප්‍රශ්නවලට මුහුණ දීලා ආණ්ඩුව පවත්වාගෙන යන එක තමයි ලොකුම වැඩේ” රනිල් දුරකතනය තැබුවේ එසේ කියමිනි.
රනිල් ඉන්දියාවට
රනිල් 21 වැනිදා උදේ ඉන්දියාව බලා ගියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමටයි. අනතුරුව ඔහු ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක ද නිරත වෙයි. රනිල් නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදාය.
රනිල් ලංකාවට පැමිණි පසු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී රවී ගැන තීරණයක් ගනු ඇති බව දැනගන්නට තිබේ
රවී – සාගල ගැටුම
මහාමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා රවී වූ නමුත් රවී කියන විදිහට ඒක නාමමාත්රික නායකකමක් පමණක් විය. රවීට වඩා බලයක් සාගලට තිබී ඇත. කාලයක් එජාපයට වෙලා කොළඹ නියෝජ්‍ය නගරාධිපතිකම් කරලා, පස්සේ නගරාධිපති අපේක්ෂකකම නොදුන් නිසා රනිල්ව පළු ඇරලා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය අසාද් සාලි සාගලගේ කොළඹ ජය ගැනීමේ හීනය හැබෑ කරගන්න අවශ්‍ය මනාප ලබා දෙන පොරොන්දුව පිට අවසාන මොහොතේ ඇවිත් නාම යෝජනාවලට අත්සන් තබා ඇත. රවී කියන පරිදි එය කර ඇත්තේ රාත්‍රි 10ට පමණය. තමන් කණ්ඩායම් නායකයා නම් මේ දේවල් තමන් දැනගත යුතුය යන ස්ථාවරයෙන් රවී මේ පිළිබඳ සිය අප්‍රසාදය පළ කර, කොළඹින් තරග කරනවා වෙනුවට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව රනිල්ට පවසා තිබේ. රවී පවසන පරිදි එවිට රනිල් රවීට පවසා ඇත්තේ‘‘ප්ලීස් ඔයා තරග කරන්න” යනුවෙනි. රවී මෙසේ පැවැසුවද ශිරාල් ලක්තිලක පවසන්නේ සාලි අත්සන් කරපු දවසේ රෑ 12 නෙවෙයි. නොමිනේෂන් භාර ගන්නා අවසාන දවසේ දවල් 12 වන තෙක් රවී නොමිනේෂන් අත්සන් නොකළ බවයි. ශිරාල් පවසන පරිදි මේ හදිසි කෝපය මත ගත් තීන්දුවක් නොව පෙර සිටම රවී සැලසුම් සහගතව දියත් කළ මෙහෙයුමක් බවයි.
ගේමක් ගැසු බව රවී කියයි
නමුත් මේ එකක්වත් රවී පිළිගන්නේ නැත. රවී කියන්නේ රනිල් කූට විදිහට තමාට ගේමක් ගසන්න ගිය බවය. ඊට කලින් රනිල්ට ඔහු ගේම ගැසූ බවය. සඳුදා වනතෙක් රනිල් ජාතික ලැයිස්තුව පත් නොකළ නිසා NDF මහලේකම් ශර්මිලා උදේ 10.30ට පමණ ගොස් රනිල් හමුවී ගිවිසුම් ප්‍රකාරව NDF එකට අයිති ජාතික ලැයිස්තුවට එයාලා කෙනෙක් පත් කරන බව දැනුම් දී තිබේ.අනිත් මන්ත්‍රී ධුරයට පත් කරන කෙනා දන්වා එවන ලෙසද ඇය රනිල්ට පවසා තිබේ. ඒ වනතෙක් කවුද පත් කරන්නේ කියා රනිල් ඇතුළු පිරිසට එකඟතාවක් තිබී නැත. පිරිසක් දිනේෂ්ව යවන්න කියන විට තව පිරිසක් තලතා යවන ලෙසත්, තරුණ පිරිස කංචන යවන ලෙසත් ඉල්ලා තිබේ.
ශර්මිලා ගිය විගසින් රනිල් කරමින් සිටි සියලු වැඩ අතහැර රවී පත්කිරීම වළක්වන්න නීතිය පැත්තෙන් කරන්න පුළුවන් දේ කරන්න ගොස් තිබේ. මෙය ආරංචි වූ NDF ලේකම් මෙන්ම රවීගේ දිගුකාලීන මිතුරියක් ද වන ශර්මිලා රවීගේ නම මැතිවරණ කොමිසමට යවා තිබේ.
රනිල්-රවී ඇවිළේ
සියල්ල මෙසේ සිදු වෙද්දී පෙරෙදා උදේ සිරිකොත තිබුණු රැස්වීමට රවී කිසිවක් සිදු නොවූ ගානට ගොස් තිබේ. රවීව දැක්ක ගමන් සියලු දෙනා තුෂ්නිම්භූතව රවී දෙස බලා ඇති අතර හැම කෙනෙක්ම රවීට එක පදමට දෙහි කපා තිබේ
” කැත වැඩ කරන්න එපා ” රනිල් කේන්තියෙන් රවීට කියා තිබේ. රවීද සටන අතනෑර මහ හඬින් රනිල් හා එකට එක කීවේය. තමන් කාගෙවත් දෙයක් කොල්ල කෑවේ නැති බවත් තමන් ගත්තේ ගිවිසුම් ප්‍රකාරව තමන්ට හිමි දේ බවත් රවී මෙහිදී පවසා තිබේ.
රනිල්ගෙන් වජිරට වගකීමක්
පසුගිය සතිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනට වැඩ රාජකාරී කටයුතු අධික සතියක් විය. ඒ මන්ද යත් මහමැතිවරණයෙන් පසු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් හටගත් ප්රශ්නකාරී තත්ත්වය නිසාවෙනි.
රනිල් වික්‍රමසිංහ සන්ධානගතව සිටි සියලු පක්ෂ කැඳවා ඒවායේ නායකයින් කැඳවා මෙම ගැටලුව ගැන සාකච්ඡා කරන්නට විය.
මෙම සියලු සාකච්ඡාවලට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිරත් සහභාගි විය. එසේම මෙම ගැටලුකාරී තත්ත්වය රට තුළත් මාධ්‍ය තුළත් උණුසුම් පුවතක්ව තිබු බැවින් ඒ පිළිබඳ මාධ්‍යයත් ජනතාවත් දැනුම්වත් කිරීමේ වගකීම හිටපු ජනාධිපති රනිල් විසින් පවරා තිබුණේ වජිරටය.
ඒ අනුව ඉකුත් 18 වනදා මෙම රැස්වීම් අතරතුරදී වජිර විසින් වහාම මාධ්‍යයට ආරාධනා කොට මේ සම්බන්ධව කරුණු කාරණා පවසන්නට විය.
රවීට එරෙහිව වජිර කඩුව අතට ගනී
එසේම මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කටකතා කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බැවින් ඒවා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වෙනුවෙන් වජිර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන ලදි.
එහි මෙසේද වේ.
රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සදහා පත් කිරීම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට සම්පූර්ණයෙන්ම පටහැනිය. ගිවිසුම සහමුලින්ම උල්ලංඝනය කිරීමකි. ඊට අදාළව ගන්නා පියවර එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන රවි කරුණානායක මහතාට විරුද්ධවද ක්‍රියාත්මක වේ. මේ වන විටත් පත් කරගෙන තිබෙන සිවු පුද්ගල කමිටුවේ වාර්තාව ලැබුණු පසුව එහි නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් විය.
ජාතික ලැයිස්තුවට සජබයෙත් ගැටුම්
සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඔහුගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා එම පක්ෂයෙන් තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම, මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී පෙරමුණ, රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය හා දයාසිරි ජයසේකරගේ කණ්ඩායම ඉල්ලීම් කර ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පරාජයට පත් වූ එම පක්ෂයේ ප්‍රබලයන්ද ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොවැම්බර් 20 වැනිදා මාධ්‍ය අමතමින් පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඇයට ලබාදිය යුතු බව හා පක්ෂය වෙනුවෙන් කළ කාර්යභාරය නිසා ඒ සඳහා ඇයට සුදුසුකම් ඇති බවයි.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පරාජයට පත්වූ අපේක්ෂකයන් හා එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස ඉල්ලීම් කර තිබේ.
නොවැම්බර් 20 දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් පසු දෙමළ ප්රගතිශීලි පෙරමුණේ වී රාධක්‍රිෂ්ණන් පැවසුවේ එම පෙරමුණේ නායක මනෝ ගනේෂන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දැනුම්වත් කළ බවත්ය.
අනුර – සජිත් හමුවක්
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය විවෘත කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වුණි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායක, විපක්ෂ නායක මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපති හා මහකොමසාරිස්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හර්ෂද සිල්වා ඇතුළු ජනතා නියෝජිතයින් හා තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු පිරිසක් කතාබස් කළහ.
සම්ප්රදාය කැඩීමට විරෝධය
පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී සිටින අවස්ථාවේදී මැතිසබය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇතිවුයේ යාපනය දිස්ත්‍රීක්කයේ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය අර්ජුන රාමනාදන් විපක්ෂ නායක ආසනයේ අසුන්ගැනීම නිසාය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්රදායක් වන්නේ ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගේ අසුන්වල එම තනතුරු දරන ජනතා නියෝජිතයින් හැරෙන්න වෙනත් කෙනෙකු අසුන් නොගැනීමයි.
එසේ යම් කෙනෙකු අසුන් ගතහොත් එය තේරුම් කර දීම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයයි.
නමුත් අර්ජුන රාමනාදන් මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂ නායකයාගේ අසුනේ අසුන් ගනිමින් කියා සිටියේ තමන් සම්ප්රදාය කැඩූ බවයි.
එසේ සම්ප්රදාය කඩ නොකරන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ඉල්ලා සිටි විට ඔහු ද අපහසුතාවයට පත්වන ආකාරයෙන් හැසීරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු විය.
“එහෙම හිතෙන හිතෙන විදියට සම්ප්‍රදායන් කඩන්න දෙන්න බැහැ. මේක විනය විරෝධී වැඩක්. මේ මන්ත්‍රීතුමා කරපු වැඩේ මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක්” යනුවෙන් මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෛක්ම කතා කළහ.
බණ්ඩාරනායකවරුන්ටත් අභියෝග කළ සීනුවේ හේරත්
පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුවීමත් සමග එය වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් ප්‍රතිඵලයක් වීම විශේෂත්වයකි.
වාර්තා පිට වාර්තා තැබුවේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟ කළ විජිත හේරත්ය.
විජිත හේරත්ට කලින් වැඩිම මනාප ඡන්ද වාර්තාවක් ඊට පැය කීපයටකට පෙර තබා තිබුණේ ආචාර්ය හරිනි අමරසුරියයි. ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කළ හරිනි මනාප ඡන්ද 655289ක් ලබාගෙන බිඳ හෙළුවේ මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා තැබූ වාර්තාවයි ඡන්ද 716715ක් ලබාගෙන එම වාර්තාව තැබීමට විජිත හේරත් සමත් විය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ විගස එක් මාධ්‍යවේදියෙකු විජිත හේරත්ට කතා කරමින් සුබ පැතීය.
“2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරලා ඔබතුමා අනුර බණ්ඩාරනායක මහත්තයටත් වඩා මනාප ඡන්ද ලබාගත්තා. ඒ වෙලාවේ ඒක TV එකෙන් හෙඩ් ලයින් ගෙනිච්චේ බණ්ඩාරනායකවරුන්ටත් අභියෝග කළ සිනුවේ හේරත් කියලා” යනුවෙන් එම මාධ්‍යවේදියා කරපු කතාවට විජිත හේරත් නිහතමානීව ප්‍රතිචාර දැක්වුයේ තමන්ට එය මතක බව පවසමිනි.