Home » ඒ ආදරේ නම් පිස්සුවක්

ඒ ආදරේ නම් පිස්සුවක්

by thanushika
November 30, 2024 12:30 am 0 comment

තීක්ෂණ අනුරාධ කියන්නේ මේ වෙද්දී අමුතුවෙන් හඳුන්වා දිය යුතු ගායන ශිල්පියෙක් නෙවෙයි. “ඔබ තරම්“ ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට ආ තීක්ෂණ මේ වෙද්දී කාගේත් හිතේ රැඳුණු ගායන ශිල්පියෙක්. මේ දිනවල තීක්ෂණ, නදී එක්ක ගයන අලුත්ම ගීතය වෙන්නේ “මනමාලයි රෑ “. ඒ ගැන වගේම තවත් බොහෝ දේ ගැන තීක්ෂණ රසඳුන එක්ක කතා කළා…

ඇත්තටම තීක්ෂණ මනමාලයි ද රෑ?

ඔයාලා ඉතින් දන්නවානේ, මම හැමදාම හිනා වෙලා ජොලියෙන් ෆැමිලි එක එක්ක ආදරෙන් ඉන්න නිසා මගේ ජීවිතේ හැම රැයක්ම හරිම මනමාලයි.

අලුත්ම සින්දුවත් “මනමාලයි රෑ ” ඒ ගැන විස්තර කිව්වොත්?

මේක යුග ගායනයක්. නදී ධර්මසිරි එක්ක තමයි මම ගායනා කරන්නේ. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. නදී කියන්නේ අපි එක්ක ජපුරේම හිටිය සම වයස්වල යාළුවෙක්. හැබැයි ඒ කාලේ ලොකුවට කතාබහ කරලා නොතිබ්බට පසු කාලෙක ඇයව හඳුනා ගන්න ලැබෙනවා. ඒ අනුව තමයි ඇය මට ආරාධනා කරන්නේ මේ ගීතය ගයන්න. ඒ නිසා මේ ගීතය මම මූලික වුණු නිර්මාණයක් නෙවෙයි. ඇය මූලික වුණු නිර්මාණයකට මම සම්බන්ධ වුණු නිර්මාණයක්. මේක රචනා කළේ සගා ගුරුගේ. මියුසික් කළේ ෂෙනාල්. මේක ඇත්තටම මගේ තියෙන ගීත එක්ක ගත්තම වෙනස් ශෛලියක නිර්මාණයක්. ඒ හින්දා මම සතුටින් සම්බන්ධ වුණු නිර්මාණයක්.

සගා එක්ක මොන වගේ මිත්‍රකමක් ද තියෙන්නේ?

සගා ගුරුගේ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රචකයෙක්. ඔහු මට මුලින්ම රචනා කළේ ‘ආරේ ගති නෑරේ‘ ගීතය. ඔහු මට නිර්මාණය කරන තුන්වැනි ගීතය තමයි මේ ‘මනමාලයි රෑ‘ ගීතය. සගා එක්ක තියෙන මිතුදම ගැන කිව්වොත් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ‘ඔබ තරම්‘ ගීතය එළිදක්වපු දවසේ ඉඳන් මා එක්ක හොඳ මිතුදමක් තියෙන යාළුවෙක්. ඒ එක්කම හිත හොඳ කෙනෙක්. සමහර අය මිනිස්සු ආශ්‍රය කරන්නේ වාසියට. හැබැයි මම සගාගෙන් එහෙම දෙයක් දකින්නේ නැහැ. සගා කියන්නේ අවශ්‍ය වෙලාවේදී ඉන්න අවංක හොඳ යාළුවෙක්.

ගීතයේ එන රූප රචනාව ගැනත් කතා කරමු?

මෙහි රූප රචනාව හරි කලර් ෆුල්. ගොඩ දෙනෙක් සම්බන්ධ වුණා. ඩාන්සින් ටීම් එකක් එක්ක අපි කරපු ලස්සන වැඩක්. අපි සතුටින් මේ වීඩියෝ එක කළා. දැන් තියෙන්නේ බලන අයගෙන් කමෙන්ට් ලබා ගන්නයි.

ටික් ටොක් ඕඩියන්ස් එක ගැන මොකද හිතෙන්නේ?

ටික් ටොක් කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්. සමහරු අපෝ ටික් ටොක් කරන කොල්ලෝ කෙල්ලෝ කියලා උසුළු විසුළු කරපු වෙලාවල් තිබ්බා. ඒ දේවල් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. හැමෝටම හැකියාවන් තියෙනවා. ඒ දේවල් උරගා බලන්න පුළුවන් සෝෂල් මිඩියා කියන ප්ලැට්ෆෝම් එකත් එක්ක. එතකොට එන කමෙන්ට්ස් එක්ක හිතා ගන්න පුළුවන් අපේ තියෙන හැකියාවන් ගැන උරගා බලන්න තියෙන හොඳ ප්ලැට්ෆෝම් එකක් කියලා. අද වෙද්දී ට්‍රැවල්, අධ්‍යාපන සහ බිස්නස් ප්‍රමෝට් කරගන්න පැත්ත ගත්තම ලොකු පරාසයකට පැතිරුණු ප්ලැට්ෆෝම් එකක්. ඒ නිසා සංගීත ක්ෂේත්‍රයට මේ ප්ලැට්ෆෝම් එක මාර විදියට වැදගත්. අපේ මනමාල රැ එකටත් ලස්සන ටික් ටොක් ටිකක් හැදිලා තියෙනවා. ඒ හැමෝටම ස්තුතියි කියන ගමන් තව ටික් ටොක් කරන්න ආස අය ඉන්නවා නම් තව ලස්සන ලස්සන ටික් ටොක් කරන්න කියලා කියනවා.

ආදරණිය බිරිඳ එක්කත් ටික් ටොක් එකක් බලන්න ලැබෙයි නේද?

ඔව් අපි දෙන්නා ඉතින් කොහොමත් ඔය වගේ ජොලි වැඩ කරනවා. මේ දවස්වල එයාගේ රාධි චැනල් එක සහ මගේ තීක්ෂණ අනුරාධ කියන වොලොග් එකටත් අපි අපේ බබාලා දෙන්න එක්ක වීඩියෝ දානවා. අනිවාර්යයෙන්ම “මනමාලයි රෑ ” එකටත් ලස්සන ටික් ටොක් එකක් කරන්න තමයි ඉන්නේ. ඒකත් ළඟදීම බලාගන්න පුළුවන්.

2024 ඉවර වෙන්නත් මාසයක් වගේ තියෙන්නේ, මේ වසරේ ඉදිරි වැඩ මොනවද?

තව මාසයයිනේ තියෙන්නේ. අලුතින් පටන් ගන්න කියලා විශේෂ වැඩ ටිකක් නැහැ. 2024 අන්තිමට දාන ගීතය තමයි මනමාලයි රෑ කියන්නේ.

2025 අලුත් වැඩ ටිකක් බලන්න ලැබෙයි ද?

අලුත් වැඩ ගොඩක් බලන්න පුළුවන්. දැනට කරපු වැඩ දෙකකුත් තියෙනවා. තව ගීත කිහිපයක් නිර්මාණය කරන්නත් තියෙනවා. කොහොම වුණත් දිගටම එක එක විදියේ ගීත දාන්න තමයි බලාපොරොත්තුව. ඊට අමතරව මගේ Octave with Theekshana Anuradha (Acostic Band) බෑන්ඩ් එකේ වැඩ ටිකකුත් තියෙනවා ඉස්සරහට එන්න. ඊට අමතරව මගේ ස්ටුඩියෝ එකේ වැඩ සහ ක්ලෝතින් වැඩක් කරන්න සැලසුමක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට කියන්නම්.

පොඩ්ඩෝ දෙන්නා එක්ක ගත කරන ජීවිතේ කොහොමද?

ඒ ජීවිතේ නම් එක වෙලාවකට හරි සුන්දරයි. තව වෙලාවකට ත්‍රාසජනකයි. තව වෙලාවකට තරහා යනවා. කොල්ලෝ දෙන්නෙක්නේ මට ඉන්නේ. කොල්ලෝ දෙන්නාගේ රණ්ඩු බේරන්න ගියාම පොඩ්ඩක් තරහා යනවා. හැබැයි එයාලා පාසලේ විවිධ අංශවලින් ජයග්‍රහණය කරපු දේවල් අරන් එද්දී හිතට ලොකු සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා. අවසානයේ ඉතින් මේ හැම දෙයක් එක්කම අපි හරි සතුටින් ඉන්නේ.

ඔබේම ගී ඇතුළත් ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

මගේම ගීත ඇතුළත් ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා. හැබැයි ඒක කරන්න තව අවුරුද්දක් විතර යයි. මොකද තව මට ගීත අවශ්‍ය කරනවා. මට ඕනේ ඒකාකාරී නොවන ප්‍රසංගයක් කරන්න. ඉතින් ඒකට තව විවිධ ශානරවල ගීත එකතු කර ගනිමින් ඉන්නේ. ඒක 2025 නම් වෙන එකක් නැහැ. 2026 හෝ 2027 නම් අනිවාර්යයෙන් වෙයි.

වයස් භේදයකින් තොරව ලබන රසික ආදරේ ගැන කියන්න දෙයක් ඇති?

පොඩි දරුවාගේ ඉඳන් වැඩිහිටි අය දක්වා මගේ ෆෑන් බේස් එකේ ඉන්නවා. විශේෂත්වය ඒ අය මට විතරක් නෙවෙයි ආදරේ කරන්නේ මගේ බිරිඳට, මගේ දරුවෝ දෙන්නට අපේ මුළු ෆැමිලි එකටම ආදරේ කරනවා. එහෙම ආදරයක් ලැබීම මගේ භාග්‍යයක්. ඒ ලැබෙන ආදරේ එක්ක මට වගකීමක් තියෙනවා. මොකද මගේ ෆෑන් බේස් එකේ අය ආස මගේ සින්දුවලට විතරක් නෙවෙයි. මගේ කතාවට මගේ ජීවන රටාවට මගේ ෆැමිලි එකට මේ හැමදේටම එයාලා ආදරෙයි. ඒ ආදරේට මම ගරු කරනවා. මම මේ ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ඒ ආදරේ නිසා. මේ ආදරේ නම් පිස්සුවක් තමයි.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division