Home » මැලේසියාවේ හාල් අස්සෙන් කටුනායක ආ අයිස්

මැලේසියාවේ හාල් අස්සෙන් කටුනායක ආ අයිස්

ඇල්ලූ තිදෙනාම රිමාන්ඩ්

by Mahesh Lakehouse
November 30, 2024 12:30 am 0 comment

– හාල් බෑගය ඇතුළේ සඟවාගෙන ගෙනා රුපියල් කෝටි හතක අයිස් කිලෝ 5ක් අල්ලයි
– සැකකාර ව්‍යාපාරිකයා ගෙන යන්නට ආ ටැක්සි රියැදුරෙක් සහ කතකුත් අත්අඩංගුවට
– වැටලීම කටුනායක මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ගෙන්

ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකි. හෙතෙම සුපුරුදු පරිදි පසුගියදා උදෑසනක කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුමක නිරත වී සිටියේ විමසුම් නෙතිනි. හදිසියේම ඔහු අත වූ ජංගම දුරකතනයට රහසිගත තොරතුරක් සිය ඔත්තුකරුවෙකු විසින් ලබා දී තිබුණි.

එයින් කියැවුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ‘එයාර් ඒෂියා’ ගුවන් සේවයේ ඒ.කේ. – 047 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ගුවන් මගියෙකු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද රැගෙනවිත් ඇති බවයි. ඔහු මේ වන විට රේගු පරිස්‍රය ද පසු කරමින් ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීම සඳහා ගමන් කරමින් සිටින බවද එම තොරතුරෙන් කියැවිණි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරන්නේ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසිනි.

ඔවුන් වෙතින් ‘ගිලිහෙන’ මෙවන් ගුවන් මගීන් අනතුරුව කොටුකර ගන්නට අවස්ථාව ලැබෙන්නේ ගුවන්තොටුපොළ පිටත ලොබි ශාලාවේදීය. විශේෂයෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් ද මෙම වැටලීම් සිදු කරමින් සිටිති.

ඔවුන් විසින් මෙසේ සිදු කරන අත්අඩංගුවට ගැනීම් ද මේ වන විට රේගු නිලධාරීන් විසින් සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් පරයා ඉදිරියට ගොස් ඇති බව බැලු බැල්මට පෙනෙන්නට ඇත.

ඒ අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා වඩාත් වැඩි අවධානයකින් පසු වන්නට වුයේ මැලේසියාවේ ක්වාලාම්පූර් නුවර සිට ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් තෝරා බේරා ගැනීමටය.

මඳ වේලාවක් ගත වත්ම ඔහු මෙතෙක් බලා සිටි ‘ගොදුර’ ඔහු පසුකර කඩිනම් ගමනින් ගුවන් තොටුපොළෙන් පිටතට ගමන් කරමින් සිටියේය.

වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා එම පුද්ගලයා නවතා තමන් කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු බව තම නිල හැඳුනුම්පත පෙන්වමින් ඔහුට දන්වා සිටියේය.

එම ප්‍රකාශයත් සමඟ එම පොලිස් නිලධාරිවරයාට අවනත වීම හැර අන් විකල්පය නොවූයෙන් මේ පුද්ගලයා සිය ගමන්මලු ද රැගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාර්යාලය වෙත පිය මනින්නට වූයේ භීතියට පත්වය.

එම කාර්යාල සංකීර්ණය වෙත පිවිසි වහාම යළිත් වතාවක් තම ජංගම දුරකතනය වෙත පැමිණ තිබු තොරතුරු සහ රුව මොහුම ද යන්න මෙම උපපොලිස් පරීක්ෂකවරයා සොයා බලන්නට විය.

ඒ අනුව මෙම ගුවන් මගියා විසින් රැගෙනවිත් තිබු බඩුබාහිරාදිය එකිනෙක ඉතා සියුම් ආකාරයට පරීක්ෂා කරන්නට වූයේ ඉතාමත් නිවැරැදි පිළිවෙළකට අනුවය.

ගුවන් මගියාගේ සියලුම ගමන්මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු සිය පිටේ එල්ලාගෙන සිටින “බැක්පැක්” ගමන්මල්ල වෙත අවධානය යොමු කරමින් පරීක්ෂා කරන්නට විය.

එහෙත් ඒ සඳහා වැඩි වේලාවක් ගත කිරීමට අවශ්‍ය නොවූයේ ඔත්තුකරු සඳහන් කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 05 සහල් මල්ලක් තුළ සහල් ඉවත්කර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබෙන අයුරු මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධරයන්ට නිරීක්ෂණය වීම නිසාය.

මෙසේ සහල් මල්ලක් භාවිත කරමින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය මොහු විසින් රැගෙනවිත් තිබුණේ යම් මොහොතක ඔහු අත්අඩංගුවට පත් වුවහොත් විමර්ශකයන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය.

ඒ අනුව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතු කිරුම් මිනුම් උපකරණ මඟින් මෙම මත්ද්‍රව්‍ය තොගය කිරා මැන බලන ලද අතර එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 026ක් තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් හත්කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් බවට හෙළි විය.

ඒ මොහොතේම වහා අත්අඩංගුවට ගත් මේ පුද්ගලයා කලක් කුරුණෑගල ප්‍රදේශයේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන ගිය දැනට ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට තොරතුරු අනාවරණය විය.

ඉන් පසුව තවදුරටත් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මේ වන විට මොහු ගුවන්තොටුපොළේ සිට රැගෙන යාම සඳහා 31 හැවිරිදි වෑබොඩ ප්‍රදේශයේ පදිංචි ටැක්සි රථ රියැදුරෙකු පාණදුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තම අනියම් බිරියද සමඟ පැමිණ සිටින බවට කරුණු අනාවරණය වීමත් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ලවා ඔවුනටද දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන් දෙදෙනා සමඟ මෝටර් රථය ද ගුවන්තොටුපොළ වෙත ගෙන්වා අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධරයන්ට හැකි විය.

මෙසේ අත්අඩංගුවට ගත් තිදෙනා සහ ඔවුන්ට ගමන් කිරීමට රැගෙනවිත් තිබූ මෝටර් රථය ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ අනතුරුවය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත යොමු කර ඇත.

ටී. කේ. ජී. කපිල - කටුනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division