ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි සමර්ටන් වෙරළ තීරයේ තිබී මළ සිරුරක් හමු විය. මිය ගිය පුද්ගලයා, ටයි කෝට් පැලඳ සිටි, වයස අවුරුදු පනහට ආසන්න වූ අයෙක් බව බාහිරෙන් පෙන්නුම් කළේය. ඔහුගේ සාක්කුවේ බස් සහ දුම්රිය ප්‍රවේශපත්‍ර, චුයින්ගම්, ගිනිකූරු කිහිපයක්, පනා දෙකක් සහ සිගරට් පැකට්ටුවක් විය. ඔමාර් ඛයියාම්ගේ රුබයියාට් පොතේ අවසන් පිටුවේ, ඉරා ගත් කොටසක් ඔහුගේ සාක්කුවේ විය. එහි මුද්‍රණය වී තිබුණේ ටමාම් සද් යන වචනයය. පර්සියානු භාෂාවෙන් ‘නිමි’ යන්න එහි අර්ථයය. මේ මිනිසාගේ නෑ සිය හිතවතුන් කිසිවෙක් පිළිබඳව සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඔහුගේ ඇඟිලි සලකුණු ලෝකය පුරා යවා සොයා බැලුව ද, එය කිසිදු ස්ථානයකදී සැසඳුණේ නැත. අවසානයේ ඔහුගේ දේහය ඇඩිලේඩ් සුසාන භූමියේ මිහිදන් කරන ලදි: ‘ සමර්ටන් වෙරළේ හමු වූ නාඳුනන මිනිසා’ ලෙස ගල් පුවරුවක සටහන් කොට ඔහුගේ මරණයේ සිහිවටනය නිමැවූවේ වුවද, හෙතෙම තවම ලෝකයේ අබිරහස් මිනිසෙක් වන්නේය.
1948 දෙසැම්බර් 1 වන දින සොයාගත් මේ මළ සිරුර සම්බන්ධයෙන් විවිධ කතා ඇත. ගවේෂණ කණ්ඩායම් ඔහු විදුලි කාර්මිකයෙක් ලෙස වසර හැත්තෑ තුනකට පසු හඳුනාගත් බව එක් කතාවකි. මේ ආකාරයේ කතා ගොන්නක් අතරේ, ඔහුගේ මිනිය තවම ජීවත් වන්නේය.
ශ්‍රී ලංකාව බංකොලොත් වීම ද මේ ආකාරයේ සිද්ධියකි. නිල වශයෙන් එය බංකොලොත්භාවය ප්‍රකාශ කරන ලද්දේ, 2022 අප්‍රේල් 12 වැනිදාය. රට බංකොලොත් වීම සඳහා පළමු සංඥාව ලැබෙනුයේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවේ තත්ත්වය පහත වැටීමෙනි. මේ ආකාරයට රටේ ආර්ථිකය පහළට වැටීම සඳහා අවසාන වගකිව යුත්තා කවුදැයි සොයා ගැනීමට තවම නොහැකි වී ඇත්තේය. සෑම අයෙක්ම අනෙකාට, ඒ සමඟ ක්‍රමයට ද ලෝක තත්ත්වය ආදියට ද දෙස් දෙවොල් තබන්නේ මිස, ආර්ථිකය බංකොලොත් ආස්ථානය කර ගියේ කෙසේදැයි නිශ්චිත ලෙස සඳහන් නොකරන්නේය. බංකොලොත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ද නියත ලෙසම ‘නිමිය’ යන සටහන ගැබ් වී තිබුණේය.
මූඩිස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළන ලද්දේ, 2018 නොවැම්බර් මස 20 වැනිදාය. ඊළඟ අයවැය ඉදිරිපත් කිරීම සඳහා ආසන්න මොහොතක රට, එම කාලයේ පසු විය.
ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (ඍණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙළු විට, ආර්ථිකය සඳහා මූඩි ලබාදුන් සංඥාව පැහැදිලි විය.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මහ බැංකුව විරෝධය දක්වන ලද්දේ මුත් දිගින් දිගටම සෑම ශ්‍රේණිගත කිරීමකම ශ්‍රී ලංකාව පහළට රූටා ආවේ මිස ඉහළට නොගියේය. රටේ ආර්ථිකය ස්ථාවරයි කියා අප මොන තරම් යශෝ ගීත ගායනා කළ ද ලෝකයා එය පිළිගන්නේ ආත්ම වර්ණාවක් ලෙස පමණය. එසේ නම් රටක හෝ සමාගමක ඇත්ත තත්ත්වය පිළිබඳව මිනුමක් ලබා ගත හැකි ආකාරයක් ඇත්තේය. ශ්‍රේණිගත කිරීම් යනු ඒවාය. මේ ශ්‍රේණිගත කිරීම වන්දනය කළ යුතු තත්ත්වයක නැත. ඒ සඳහා ද වාද මතවාද තිබිය හැකිය. එසේ වුවත් සමස්තයක් ලෙස බැඳුම්කර මිලදී ගැනීම, ආයෝජන සම්බන්ධයෙන් සලකා බැලීම ආදිය සඳහා ලෝක සම්මත මානය වන්නේ ශ්‍රේණිගත කිරීම්ය.
පෙරේදා දහවල් මූඩිස් සිය නවතම ශ්‍රේණිගත කිරීම් හිදී ශ්‍රී ලංකාව විෂයෙහි සුබවාදී චිත්‍රයක් මතු කර ඇත්තේය. වසර දෙකකට ආසන්න කාලයක් මේ රටේ ස්වෛරී බැඳුම්කර සඳහා මුදල් නොගෙවිය හැකි තත්ත්වයක් තිබුණි. මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාව ප්‍රකාරව, එම සියලු ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ලක් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය. මෙම අදියර සම්පූර්ණ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට මූඩීස් තීරණය කර තිබුණි. ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම Ca දක්වා පියවර තුනකින්, මූඩීස් ඉහළ නංවන ලද්දේ ඒ අනුවය.
විදේශ ණය නැවත ගෙවීම පැහැර හැරීමේ අවදානමක් පවතින බව පවසමින් 2022 වසරේදී, ශ්‍රී ලංකාව B 2 මට්ටමේ සිට C aa 1 මට්ටම දක්වා පහත දමන ලද මූඩීස්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය මතුව ඇති හෙයින් ඒ සඳහා නව සහතිකය නිකුත් කර ඇත්තේය.
මේ රට බංකොලොත් වූයේ කෙසේද යන්න සඳහා පැහැදිලි පිළිතුරක් හෝ වගකිව යුත්තෙක් හඳුනා නොගත්තේ වුවද මේ රටේ ඉරණම එම පිහි පහරින් සපුරා අවුලකටම ගියේය. සමර්ටන් වෙරළ තීරයේ මළ සිරුර සමඟ එය සංසන්දනය කරන ලද්දේ එබැවිනි. තවත් වසර ගණනාවක් ගෙවී ගිය ද ඒ සඳහා පිළිතුරු හමු නොවනු ඇත්තේය. ඒත් ආපදාව නිසා අප තනි තනිව ද රටක් ලෙස ද අපමණ පීඩා වින්දේය.
වසරක අවසානයේ ආරම්භය සටහන් කරමින්, දැන් දෙසැම්බර් මාසය පැමිණ තිබේ. මේ මාසය වූ කලී රටේ ඊළඟ වසර සඳහා වූ න්‍යාය පත්‍රය සුදානම් කර ගැනීමේ කාලය වන්නේය. සියල්ල එක් පක්ෂයකට හෝ පුද්ගලයකුට පවරන පටු ආස්ථානයෙන් ඉවතට පැමිණීමේ මොහොත දැන් පැමිණ තිබේ. ජාතික ජන බලවේගය යනු තනි අභිප්රායක් නොවේ. එසේම පරාජිත පක්ෂ වුව ද තළා පෙළාගෙන මේ රටේ ගමන යා යුතු නැත්තේය. මේ වනාහි රටේ ආර්ථිකය සඳහා දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා එකතු විය යුතු මොහොතය.
2019 වසරේ අදවැනි දිනක කොරෝනා වයිරසය පිළිබඳව චීනයේ වූහාන් නුවරින් වාර්තා විය. එය ද මේ ආර්ථික බිඳ වැටීමේ එක් ස්ථානයක් ලකුණු කළේය. එසේම ණය තිරසරභාවය සම්බන්ධයෙන් අවශ්‍ය දැක්ම නොමැතිව ගිය ගමන ද ඒ සඳහා මුහුව තිබුණි. දැන් රටේ ආර්ථික න්‍යාය පත්‍රය වී ඇත්තේ, මුල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව ප්‍රකාරව ගමන් කිරීමය. එය එක්තරා සිරකුටියක් විය හැකිය. එහෙත් දැනට එහි ජීවත් වෙන ලෙස අපට බලකෙරී ඇති හෙයින් එතැන් සිට ස්වාධින ආර්ථිකයක් වෙනුවෙන් අප වෙහෙස දැරිය යුතුය. නවතම ශ්‍රේණිගත කිරීම් හි ඉහළට යෑම, ඉඳුරාම ජයග්‍රහණයකි. එසේ වූ පළියට සියලු රටේ සිහින සැබෑ වන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා මුද්‍රාව සහිත න්‍යාය පත්‍රයක් මත සිදු කරන කැපකිරීමය.