පසුගියදා පැවති 25 වැනි රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි විවෘත අංශයේ හොඳම ළමා නාට්‍යය ලෙස දුලාන් වීරසිංහගේ DREAMS OF WINDER සම්මානයට පාත්රවිය. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම රංග වින්‍යාසය, හොඳම පසුතල නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම පිටපත දෙවැනි ස්ථානය ලෙස ඔහු සම්මානිත වෙද්දී ඒ සඳහා තවත් සම්මාන 5ක් සහ කුසලතා සම්මාන 2ක් හිමි වීම ද විශේෂත්වයකි. මෙවර සම්මාන 13කින් පිදුම් ලැබූ DREAMS OF WINDER දෙසැම්බර් මස ඉන්දියාවේ කල්කටාහි පැවැත්වෙන ජාත්‍යන්තර ළමා නාට්‍ය උලෙළ නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබීම ද ඔවුන් ලැබූ තවත් ජයග්‍රහණයකි. අධ්යක්ෂවරයකු මෙන්ම නීතීඥයකු ද වන දුලාන් වීරසිංහ තම සතුට අප හා බෙදා ගත්තේ මෙසේය.
“මෙවර 25 වැනි වරට පැවති රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි විවෘත අංශය නියෝජනය කරමින් මම ඉදිරිපත් කළ DREAMS OF WINDER ළමා නාට්‍යය සඳහා හොඳම සම්මාන 11ක් සමඟින් කුසලතා සම්මාන 2ක් හිමිකර ගත්තා. ඒත් එක්කම ලබන දෙසැම්බර් 29, 30, 31 ඉන්දියාවේ කල්කටාහි පැවැත්වෙන ජාත්‍යන්තර ළමා නාට්‍ය උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාවත් ලැබුණා. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම රංග වින්‍යාසය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම ආලෝකකරණය, හොඳම නළුවා, හොඳම නළුවා දෙවැනි ස්ථානය, හොඳම නිළිය තෙවැනි ස්ථානය, හොඳම පිටපත දෙවැනි ස්ථානය වගේම පද්මිණී දිසානායක සහ චමුක ඉඳුවර කුසලතා සම්මාන හිමිකර ගත්තා. සම්මාන 11ක් සහ කුසලතා සම්මාන 2ක් ඇතුළුව සම්මාන 13ක් හිමිකර ගන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. අධ්‍යක්ෂණය, තිරපිටපත වගේම නවෝදි ජයසේන සමඟින් නිෂ්පාදනයත් මගේ.
මේක ළමයින්ගේ ආදරය, ඔවුන්ගේ හීන ගැන කතා වෙන නිර්මාණයක්. දෙවැනි ලෝක යුද්ධය සමයේ යුද්ධයෙන් බේරන්න මවුපියන් තමන්ගෙ ළමයි වෙනත් අයට භාර දුන්නා. ඒ වගේ ලොකු වංශවත් පවුලකට භාර දුන්න ළමයි 8 දෙනෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. එයාලව බලාගන්න ඉන්නෙ නපුරු පාලිකාවක්. ඒ වගේම වත්ත බලාගන්න ඉන්න හැරී අංකල් කියන්නෙත් විශේෂ චරිතයක්. මේ ගේ ඇතුළේ ඒ ළමයින්ගේ හීන ගැන තමයි ලොකුවටම කතා වෙන්නේ. වයස අවුරුදු 6 – 30 දක්වා වයස් කාණ්ඩවල ළමයි දොළොස් දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. විවෘත තරගයක් නිසා වයස් සීමාවක් නැහැ. ඒ වගේම මේක විනාඩි 45ක කාල පරාසයක් සඳහා නිර්මාණය වුණත් තරග කාලය විනාඩි 30කට සීමා කළා. මේ ළමයින්ම ගීත ගායනා කරමින් නර්තනයේ යෙදීමත් විශේෂයි. බලපු හැමෝම වගේ කිව්වේ මේක ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් කියලා. දෙසැම්බර් ඉන්දියාවේ කල්කටාහි පැවැත්වෙන ජාත්‍යන්තර ළමා නාට්‍ය උලෙළ සඳහා ලංකාව ඇතුළු රටවල් 11ක් විතර සහභාගි වෙනවා. පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, ඉරානය, හොංකොං වගේ ප්‍රබල රටවල් සමඟ තරග කරන්න ලැබීම අපිට අභියෝගයක්.“
මෙවර ළමා නාට්‍ය අංශයෙන් තරග කළ ඔහු ළමා නළුවකු ලෙසින් පාසල් වේදිකාවෙන් ලැබූ පන්නරය සිහිපත් කළේ ද ස්තුතිපූර්වක හැඟීමකිනි.
“2014 වසරේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය නියෝජනය කරමින් රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ ඉංග්‍රීසි අංශයෙන් මගේම පිටපතක හොඳම නළුවා බවට පත්වුණා. ඊට අමතරව ඒ නාට්‍යයට සම්මාන 6ක් හිමිවුණා. හරියටම ඊට අවුරුදු 10කට පස්සේ මගේම අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් හොඳම නළුවා සහ හොඳම නාට්‍යය බවට පත්වෙන්නෙත් මගේම පිටපතක්. මේක මගේ කලා ජීවිතේ විශේෂ සංධිස්ථානයක්. මං කලාවට පිවිසෙන්නෙත් ළමා නළුවෙක් විදිහට පාසල් වේදිකාවෙන් ලැබුණු ඒ පන්නරයත් එක්ක. ඒ වගේම හොඳම ළමා නළුවා, හොඳම සහාය ළමා නළුවා විදිහට කිහිපවරක්ම සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසාම අදටත් මට ළමා නාට්‍ය කියන එක ගොඩක් වැදගත්.“
වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරමින් දුලාන් වීරසිංහගේ කුලුඳුල් වේදිකා නිර්මාණය ලෙස ‘රැඩිකල් ප්‍රේමයක්‘ සම්මාන 13කින් පිදුම් ලබන්නේ 2016 වසරේදීය. හොඳම නාට්‍යය, හොඳම අධ්යක්ෂ, හොඳම අංග රචනය, හොඳම සංගීතය, හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළුව සම්මාන 13ක් හිමිවීම ඔහු මෙතෙක් ආ ගමනට පන්නරයකි. වසර 8කට එය නැවත ප්‍රතිනිර්මාණය කළ ඔහු 2023 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම අංග රචනය සහ හොඳම පසුතල සඳහා ජූරියේ සම්මානය මෙන්ම යෞවන සම්මාන උලෙළ නියෝජනය කරමින් හොඳම නිළිය සහ ජූරියේ හොඳම නාට්‍ය නිෂ්පාදනය සහ රංගන කුසලතා සම්මානවලින් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත විය. “ඊඩිපස්, ගුත්තිල කාව්‍ය, ජුලියස් සීසර්” වැනි ප්‍රබල වේදිකා නිර්මාණවල ප්‍රධාන නළු භුමිකාවන්ගේ වේදිකාව අතික්‍රමණය කළ ඔහු මේ වනවිට අධ්යක්ෂවරයාගේ භූමිකාව හරහා ද වේදිකාවේ නමක් දිනා ගනිමින් සිටීයි.
නාමලී ගමගේ