Home » කොරියානු ජනප්‍රිය නළු ලී මින්-හෝ ගැන පැතරෙන කටකතා ඇත්තද…

කොරියානු ජනප්‍රිය නළු ලී මින්-හෝ ගැන පැතරෙන කටකතා ඇත්තද…

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

දකුණු කොරියානු ටෙලි නාට්‍ය නරඹන රසික රසිකාවියන්ට ලී මින්-හෝ යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක ඉතා අපූරු චරිත නිරූපණය කර ඇති ඔහු ලොව පුරා විශාල පිරිසකගේ ආදරයට පාත්‍ර වී සිටින නළුවෙක්. කලකට පෙර ලංකාවේ රූපවාහිනි නාළිකාවක ද විකාශය වූ Boys Over Flowers නමැති කොරියානු ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ ගු ජුන්-පියෝගේ චරිතය තවමත් බොහෝ දෙනෙකුට මතක ඇතුවාට සැකයක් නැහැ.

මේ දිනවලත් ඔහු රඟපාන ටෙලි නාට්‍යයක් ස්ටීර්මිං සේවා ඔස්සේ විකාශය වෙනවා. එහි නම ‘පචින්කෝ’ (Pachinko). මේ නිසා ලී මින්-හෝ නැවතත් මාධ්‍ය තුළ මාතෘකාවක් බවට පත්ව සිටිනවා. ‘පචින්කෝ’ කොරියානු පවුලක පරම්පරා හතරක් පිළිබඳ කතාවක් කියන ටෙලි නාට්‍යයක් බවයි සඳහන් වන්නේ. එය 1915 සිට 1989 දක්වා කාලය පසුබිම් කරගත් නිර්මාණයක් බවත් සඳහන් වෙනවා.

ලී මින්-හෝ ගේ වයස මේ වනවිට අවුරුදු 37 ක්. නමුත් ඔහු තවමත් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. මේ නිසා ඔහු තරුණ රසිකාවියන් විශාල පිරිසකගේ සිහින කුමරා බවට පත්ව සිටින බවත් රහසක් නොවෙයි. කෙසේ නමුත් තමා දැන් විවාහයක් ගැනත්, දරුමල්ලන් හදාගෙන පවුලක් හැටියට ජීවත් වීම ගැනත් කල්පනා කරමින් සිටින බවක් ටික දිනකට පෙර ඔහු පවසා තිබුණා. සමහරුන් මේ කතාවට සතුට පළ කර තිබුණත් ඔහුට මනසින් ආදරය කරන තරුණියන් නම් ඒ ගැන වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැහැ.

“අනේ බඳින්න නං එපා. හැමදාමත් ඔය විදියට ඉන්න. ඔයා තව ගැහැනු කෙනෙක් එක්ක ඉන්නවා මට බලන්න බැහැ” එක් රසිකාවියක් එසේ සඳහන් කර තිබුණා.

“මේ ආරංචියෙන් මගේ හදවත සුනුවිසුනු වුණා. ඔහු තමයි හැමදාමත් මගේ ක්‍රෂ් එක” ඒ තවත් රසිකාවියක් දක්වා තිබූ අදහසක්.

ලී මින්-හෝ පවසා තිබුණේ වසර 18කට කිට්ටු තමාගේ නළු දිවිය තුළ දැන් තමා ස්ථාවරත්වයක් අත්කරගෙන ඇති බවයි. ඒ නිසා ජීවිතයේ ඊළඟ අදියර ගැන සිතන්නට තමා කැමැති බවකුයි ඔහු පවසා තිබුණේ.

ලී මින්-හෝ පෙම්වතියක් ඇසුරු කරනවාද යන්න ගැන තහවුරු කළ තොරතුරක් නැති බවයි කොරියානු මාධ්‍ය සඳහන් කරන්නේ. නමුත් ඔහු සහ තවත් ජනප්‍රිය නිළියක වන සොංග් හයි-කියෝ අතර සම්බන්ධයක් ඇති බවට කටකතා පැතිරෙනවා. ඔවුන් දෙදෙනා එකට කාලය ගත කරන ආකාරය දැක්වෙන ඡායාරූප පැපරාසි ඡායාරූප ශිල්පීන් මාධ්‍යයට නිකුත් කිරීමත් සමඟයි මෙම කටකතා පැතිරෙන්නට පටන් අරන් තියෙන්නේ.

ලී මින් හෝ මෙයට කලකට පෙරත් සොංග් හයි-කියෝ ගැන ප්‍රසාදයෙන් කතා කර තිබූ නිසා මෙම කටකතාවලට තවත් වලංගුභාවයක් ලැබී තිබෙනවා. වරක් ඔහු පවසා තිබුණේ සොංග් තමා කැමතිම ආකාරයේ තරුණියක බවයි. ඇය කලක් විවාහ වී සිටි තරුණියක්. ඈ විවාහ වී සිටියේ සොංග් ජූන්-කි සමඟයි. ඔහුත් ජනප්‍රිය නළුවෙක්. නමුත් මේ දෙදෙනා 2019 වසරේ දික්කසාද වුණා.

ලී මින් හෝ සහ සොංග් හයි-කියෝ ගැන පළවෙන කටකතාවලින් පැවසෙන තවත් කාරණයක් වන්නේ ඔවුන් දෙදෙනා ලබන වසරේ විවාහ වීමට ඉඩ ඇති බවය. ලී මින්-හෝ 2002 වසරේ පටන්ම විවිධ ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපා තිබුණත් ඔහුගේ රංගන දිවියේ ආරම්භක ටෙලි නාට්‍යය ලෙස නිල වශයෙන් සැලකෙන්නේ 2006 වසරේ විකාශය වූ Secret Campus නාට්‍යයයි. නමුත් 2009 වසරේ විකාශය වූ Boys Over Flowers ටෙලි නාට්‍යයත් සමඟ තමයි ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යන්නට පටන් ගත්තේ.

එක් අවස්ථාවක ඔහුගේ රංගන දිවියට පමණක් නොව ජීවිතයටත් දැවැන්ත තර්ජනයක් එල්ල කළ සිදුවීමක් වුණා. එනම් 2006 වසරේ සිදු වූ මාරක රිය අනතුරක්. එයින් ලී මින්-හෝගේ ජීවිතය බේරුණේ අනූ නවයෙන්. මෙම රිය අනතුර සිදුව තිබුණේ ඔහු තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ මෝටර් රියකින් ගමන් කරමින් සිටියදීයි. ඉතා වේගයෙන් පැමිණි තවත් රථයක් ඔවුන්ගේ රථය සමඟ මුහුණට මුහුණ ගැටී තිබුණා. එයින් ලී මින්-හෝගේ මිතුරන් දෙදෙනකු එම ස්ථානයේම මියගියා. ලී මින්-හෝගේ ජීවිතය බේරුණේ ඔහු සිටියේ රථයේ පිටුපස ආසනයේ වීම නිසායි. නමුත් බරපතළ තුවාල ලැබූ ඔහුට දිගු කලක් රෝහල්ගතව සිටින්නට සිදු වුණා. මාස කිහිපයක් යනතුරු ඔහුට ඇඳෙන් බසින්නටවත් පුළුවන් වුණේ නැහැ. ඔහුට නැවත රංගනයට එක්වීමට ලැබුණේ වසරක පමණ කාලයකට පසුවයි.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division