Home » අලුත්ගම කාලවිල ගෙදරක කුඩු පැකට් කළ ‘ත්‍රිබල’

අලුත්ගම කාලවිල ගෙදරක කුඩු පැකට් කළ ‘ත්‍රිබල’

by thanushika
December 7, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාරගත වන ඇතැම් පුද්ගලයන් දඬුවම් කාලය සම්පූර්ණ කර හෝ ඇප මත මුදා හැරීමෙන් අනතුරුව බන්ධනාගාරවලින් පිටතට පැමිණීමෙන් පසු ද නැවත නැවතත් සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්ය. එවැනි පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වන විට නැවතත් සිටින්නේ ‘ඇතුළේය’.

පොලිසිය සහ විමර්ශන නිලධාරීන් සඳහන් කරන අන්දමට මෙලෙස මොවුන් නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීමට හේතුව ඉන් ලැබෙන අසීමිත ධනස්කන්ධයයි. මුදල් කන්දරාවකට ලොබ බඳින මේ ජාවාරම්කාරයෝ බන්ධනාගාරගත වෙමින්, නැවත එළියට එමින් ජාවාරම්වල නිරත වන්නේ පුරුද්දට මෙනි.

ඇතැම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඉතා සූක්ෂ්මව බන්ධනාගාර ඇතුළේ සිට සිය ජාවාරම් සිදුකරගෙන යති. ඒ එළියේ සිටින සිය ගෝලබාලයන් ලවාය. ඇතැම් මහා පරිමාණ ජාවාරම්කරුවන්ට බන්ධනාගාරගතව සිටීම එළියේ සිටිනවාට වඩා ආරක්ෂිතව ඇත්තේ ඔවුන්ට සෙසු ජාවාරම්කාර පාතාල කල්ලි කණ්ඩායම්වලින් මරණ තර්ජන පැමිණෙන නිසාය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමේ චෝදනාවට කලක් බන්ධනාගාරගතව දඬුවම් ලැබු ජාවාරමෙකු එළියට පැමිණ නැවත මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටියදී අලුත්ගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධරයන්ට කොටුවීමේ පුවතක් පසුගියදා වාර්තා විය. සුවිශේෂී සිද්ධිය වූයේ මේ ජාවාරමා සමඟ ඊට සම්බන්ධවූ අරක්කැමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත්වීමයි. තිදෙනාටම අනතුරුව සිදු වන්නේ සිරගෙදරින් කල්දේරම් බතේ රස විඳීමටය.

අලුත්ගම, කාලවිල ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට අලුත්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධරයෙකුට රහසිගත තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය. මේ ගැන ඉතාම සූක්ෂ­්මව සොයා බලන පොලිස් නිලධාරීන් සොයා ගන්නේ එලෙස ලැබුණු තොරතුර සත්‍ය බවයි.

මේ පිළිබඳව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අලුත්ගම පොලිස් ස්ථානාධිපති රමේෂ් රත්නසිංහ සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර යන නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව වැටලීමේ කටයුතු සැලසුම් කෙරිණි. පොලිස් නිලධාරීන් ඒ වන විට සොයාගෙන තිබුණ තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් තිබුණේ අලුත්ගම, කාලවිල සූරියවිමන ප්‍රදේශයේ නිවෙසකය.

දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊළඟට සිදු කරන්නේ අදාළ නිවෙස පසුගියදා උදෑසන වැටලීමයි. ඒ ක්ෂණික වැටලීමක් ලෙසිනි. පොලිස් කණ්ඩායම එම නිවෙස වටලන අවස්ථාවේ එහි පුද්ගලයන් තිදෙනෙකු සිටි අතර සුවිශේෂී සිද්ධිය වූයේ මේ තිදෙනාම ඒ වනවිට නි‍ෙවසේ කාමරයක අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටීමය.

පොලිස් කණ්ඩායම අදාළ නිවෙස මුළුමනින්ම සෝදිසි කරද්දී රුපියල් දොළොස් ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක් සොයා ගැනීමට හැකි විය. අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීම පිණිස යොදාගන්නා තවත් උපකරණයක් ද පොලිසිය විසින් මෙහිදී සොයා ගන්නා ලදි. සැකකරුවන් සතුව තිබී රුපියල් දහතුන් දහසක මුදල් සොයා ගැනුණු අතර ඔවුන් ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරේ.

ජංගම දුරකතන භාවිත කරමින් විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් මොවුන් මේ ජාවාරම කලක් තිස්සේ සිදු කරගෙන යන්නට ඇති බවට සැක කෙරේ. එවැනි ජංගම දුරකතන 06ක් පොලිසිය සිය භාරයට ගන්නේ සැකකරුවන් සන්තකයේ තිබියදීය. එම ජංගම දුරකතන දත්ත වාර්තා උපයෝගී කරගෙන මේ ජාවාරමුන් සමඟ සම්බන්ධ වූ සෙසු ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීන්ගේ විශ්වාසයයි.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතරින් මේ ජාවාරමේ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඔහු මෙම මත්ද්‍රව්‍ය පාණදුර ප්‍රදේශයේ අයකුගෙන් ලබාගෙන අලුත්ගම ප්‍රදේශයට ගෙන එන බවයි. අලුත්ගම දර්ගා නගරය සහ ඒ ආශ්‍රිතව ඔහු මෙම මත්ද්‍රව්‍ය බෙදාහැර ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයටය. දීර්ඝ කාලයක් තිස්සේ ඔහු මේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු මේ වනවිට හෙළි වී ඇත.

දුරකතන ඇමතුම්වලින් එන ඇණවුම්වලට අනුව අලුත්ගම සහ අවට ප්‍රදේශවල සමහර දුරකතන සහ ලයිට් කණුවලත් ඇතැම් පොදු ස්ථානවලත් මත්ද්‍රව්‍ය පැකට් සඟවා ගැණුම්කරුවන්ට අදාළ ‘ලොකේෂන්’ ලබා දෙමින් මේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ ඉතා රහසිගතවය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වයස අවුරුදු 34 කි. සැකකරු මීට පෙර ද අයිස් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාරගතව දඬුවම් ලැබූ අයෙකි.

ප්‍රධාන සැකකරු සමඟ අල්ලා ගත් සෙසු දෙදෙනා ගාල්ල සහ බෙන්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝය. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඔවුන් බෙන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හලක අරක්කැමියන් බවය. ප්‍රධාන සැකකරු සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී අත්තේ ඔහු දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ­්මව සහ සැලසුම් සහගත ලෙස සිදු කරන ලද මේ ජාවාරමෙන් සැලකිය යුතු මුදලක් උපයාගෙන ඇති බවයි. සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සහ ඔවුන් සතුව තිබෙන ජංගම දුරකතනවල විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමෙන් මොවුන් කොතරම් මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇත්දැයි සහ ඔවුන් ඇසුරු කළ සෙසු ජාවාරම්කාරයන් මෙන්ම මත්ලෝලීන් රැසකගේ තොරතුරු ද හෙළි වනු ඇතැයි විමර්ශන නිලධරයන්ගේ බලාපොරොත්තුවයි.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂගේ අධීක්ෂණයෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් රත්නසිංගම්ගේ මෙහෙයවීමෙන් අලුත්ගම පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, සැරයන්වරුන් වන (44899) දුමින්ද, (51907) අනුප්‍රිය, කොස්තාපල්වරුන් වන (323219) විජේසිංහ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division