“හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගහ ගාවා
වට පිට ඇහැ ලෑවා
කොළ දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා
ඉතින් ඇතැයි කීවා…“
ආදි වශයෙන් හාවා ගැන ලියැවුණ මේ කවි පෙළ අපට හමුවන්නේ ‘හාවාගේ වග‘ කෘතියෙනි. මේ කෘතිය ලියනුයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගැන පෘතුල දැනුමක් ඇති කුමාරතුංග මුනිදාසයන් විසිනි. ළමා ලෝකයේ හාවා ගැන ලියැවුණු අපූරුම කවි පෙළ මෙයයැයි කීමේ වරදක් නැත.
ශ්‍රේෂ්ඨ පඬිවරයකු වන කුමාරතුංග මුනිදාසයන් උපන්නේ 1887 ජූලි 25 දා දික්වැල්ල ඉඳිගස්ආර ගම්මානයේය. දික්වැල්ල බෞද්ධ පාසල, මාතර සෙන්තෝමස් විද්‍යාලය, මෙන්ම වැව්රුකන්නල පිරිවෙනෙන්ද ඉගෙනුම ලැබු එතුමන් පසුව 1907 වර්ෂයේදී කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා ගුරු සේවයට එක් වුයේය. 1909 වසරේදි බෝමිරිය ද්විභාෂා පාඨශාලාවේ උපගුරුවරයකු ලෙස සේවය ඇරඹි එතුමන් ඉන් අනතුරුව කඩුගන්නාව ද්විභාෂා පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළේය. 1929 වසරේ බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරමින් කලක් එහි විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
හෙළ භාෂාව පිළිබඳ විශේෂ ඇල්මකින් හා උනන්දුවකින් කටයුතු කළ කුමරුතුඟුවන් ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළේය.
ළමා සාහිත්‍යය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ එතුමන් දරුවන් වෙනුවෙන් ලියූ කෘති අද ද භාවිතයේ පවතී. ඒ අතර ශික්ෂා මාර්ගය, කියවන නුවණ, මඟුල් කෑම, හීන් සැරය, හත්පණ ආදී කෘති විශේෂ වේ.
එතුමන් විසින් ලියන ලද අනෙකුත් කෘති අතර පහන් කටුවෙකි, කවි ශික්ෂාව, විරිත් වැකිය, ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය, පිය සමර, නුවණ පොත් පෙළ ආදිය විශේෂය.
සිංහල භාෂාවට ඉමහත් සේවාවක් ඉටු කළ එතුමන් අවුරුදු පනස් හයක් ආයු වලඳා 1944 මාර්තු 02 වැනිදා සිය දිවි ගමන නිමා කළේය.
ඉසවි