Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
December 7, 2024 12:29 am 0 comment

කිඳුරු විමානෙට එහායින්…..

කර්තෘ- ස්වර්ණසීලී සමරසිංහ
ප්‍රකාශනය- සමයවර්ධන පොත්හල

ස්වර්ණසීලී සමරසිංහගේ නවතම නවකතා සංග්‍රහය කිඳුරු විමානෙට එහායින් කෙටිකතා හයක එකතුවෙන් සම්පාදනය වූවකි. කිඳුරු විමානෙට එහායින්, එකවගේ දූලා, බෝනික්කෝ, මහත්තයෙක් වෙන දා, කඳුළක් ළඟ හිනැහෙන්නට, අවසානයම නොවන්නේය යන කෙටිකතා මෙහි අන්තර්ගතය.

සමාජයේ පවතින විවිධ අත්දැකීම් විෂයය කරගනිමින් ලියැවුණු මේ කෙටිකතා කතුවරිය විසින් සරල බස්වහරකින් යුතුව පාඨක ප්‍රිය ආකාරයෙන් ඉදිරිපත් කරන්නීය.


විමලරත්න කුමාරගම කාව්‍ය විමර්ශන 

කොත්මලේදී රචනා කළ කවි පිළිබඳ විග්‍රහයකි
කර්තෘ- මල්දෙණියේ ජයතිස්ස
ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි

කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවියකු ලෙස ජනහද මන බැන්දූ විමලරත්න කුමාරගම කවියා සිය දිවියේ අවසන් කාලය ගෙවූ කොත්මලේදී රචනා කරන ලද කවි එකතු කරමින් සංගෘහිත කාව්‍ය සංග්‍රහයකි. ඔහු 1958 සිට 1962 දක්වා අවුරුදු පහක කාලයක් කොත්මලේ සේවය කර ඇති අතර, ඒ කාලය යටත් විජිත ක්‍රමය යටතේ ජනතාව බොහෝ පීඩාවට පත්වූ යුගයක් වශයෙන් හැඳින්විය හැකිය. මේ කාලය ඇතුළත කුමාරගම කවියා ලියූ කවිවල ආකෘතිය පවා වෙනස් බැව් මේ ලේඛකයාගේ කවි එකතුව පිරික්සීමේදී පෙනී යයි. මේ කෘතිය මඟින් කුමාරගම කවියා ලියූ කවිවල සුවිශේෂිතා හඳුන්වාදීමටත්, පාඨකයන්ට කුමාරගමි කවි ශෛලියේ නව ඉසව් පෙන්වා දීමටත් මේ කෘතිය ඔස්සේ මල්දෙණියේ ජයතිස්ස ලේඛකයා උත්සාහ දරා තිබේ. මෙතෙක් ජනගත නොවූ බොහෝ කරුණු ඇතුළත් මේ කෘතිය විමලරත්න කුමාරගම කවියා වෙනස් මානයකින් කියවා ගැන්මේ ඉඩහසර විවර කරයි


රන්දිය වරම

කර්තෘ- රේණුකා කරුණානායක
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ

රජරට ප්‍රදේශයේ ජීවත් වීමට පැමිණි දරු පවුලකට මුහුණ දීමට සිදුවෙන ගැටලු ගැන කම්පනයට පත් පුද්ගලයකුගේ ක්‍රියාකාරීත්වය වස්තු විෂයය කර ගනිමින් ලියැවෙන රන්දිය වරම කතුවරියගේ දෙවන යොවුන් නවකතාවයි. මීට පෙර ඇය ලියූ මේඝ දිනූ ලොව නම් යොවුන් නවකතාව වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානය හා ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේ නිර්දේශිත නාම අතරට එක්විය.

වකුගඩු රෝගය රජරට ආක්‍රමණය කරගෙන ඇති ආකාරය ගැන බොහෝ දැනුම් සම්භාරයක් නිර්මාණශීලී ලේඛනයේ දවටා ඉදිරිපත් කරන ලේඛිකාව එකී ව්‍යසනයට හේතු කාරක වූ කරුණු පිළිබඳව ද සිය අවධානය යොමු කරන්නේ නිර්මාණකරුවාගේ භූමිකාව පිළිබඳ වන අවබෝධයෙන් යුතුවය. ඉතිහාසයට ද එබිකම් කරමින් ඒවායේ අදාළ කරුණු ද මනාව කෘතියට ආලෝකයක් ලෙස අන්තර්ගත කරමින් සරල හා සුගම බස්වහරකින් ලියැවුණු කෘතියකි.


නිම්නයක දෝංකාරය

කර්තෘ- කිත්සිරි අබේධීර
ප්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

නිදහස ලැබීමට ආසන්න යුගයක ගැමි පරිසරයක ජීවත් වූ සොබනා නම් දිරියවන්ත ගැහැනිය මූලික කර ගනිමින් ලියැවුණු නිම්නයක දෝංකාරය සමාජ සාධාරණත්වය පිළිබඳ සියුම් ලෙස ප්‍රශ්න කරයි.

ගැහැනිය සතු ශක්තිය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුත් ලේඛකයා සිය කතාව ගොඩනඟන්නේ කරුණාව පිළිබඳ අර්ථකථනයක් දෙමිනි.

මාතෘත්වයේ සෙනෙහස ඉපැදීමට දරුවන් ප්‍රසූත කිරීමම අවශ්‍ය නොවන බැව් කතුවරයා අත්දැකීමක් අනුසාරයෙන් සිය කතාවේ හරය බවට පත් කරන්නේ මාතෘත්වය පිළිබඳ වෙනස් මානයක් කරා පාඨකයා රැගෙන යමිනි. මේ කෘතිය පේරාදෙණියේ ගැටඹේ රාජෝපවනාරාමයේදී දෙසැම්බර් 15 වැනිදා ජනගත වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division