Home » සෞඛ්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් රකිමින් ඖෂධ ගෙන්වීම දැන් හරි පාරේ

සෞඛ්‍යයත් ප්‍රජාතන්ත්‍රවාදයත් රකිමින් ඖෂධ ගෙන්වීම දැන් හරි පාරේ

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

නතාවට වගකියන ආණ්ඩුවක් ලෙස හිතුමනාපේ නීතියට පිටින් ගොස් ඖෂධ හෝ ඖෂධ නමින් ඇල්වතුර මිලදී ගැනීමට හැකියාවක් රජයට නැත. දේශීය ඖෂධ නිෂ්පාදකයන් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමැතිය දී ලබා දි තිබේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් සහ දැනට ගිවිසුම්ගත වී නොමැති දේශීය නිෂ්පාදකයන් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 04ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් සකස් කර ඇත. ඒ, දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙතින් ඉදිරි වසරක කාලයක් සඳහා මිල දී ගැනීම පිණිස ඉකුත් ඔක්තෝබර් 14 වැනිදා පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීමෙන් පසුය.

එම ලැයිස්තු 04 පරීක්ෂා කර, ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව ඖෂධ වර්ග 42ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 5,398.83ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත පිරිනැමීමටත් ඖෂධ වර්ග 131ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 16,611.42ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙත පිරිනැමීමටත් නියමිතය.

ඖෂධ වර්ග 36ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 9,022.10ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයන් වෙත පිරිනැමීමට සහ ඖෂධ වර්ග 130ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයන් 24ක් වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නිවැරැදි මාර්ගයේ නිවැරැදි ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ප්‍රමිතියෙන් යුතු අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට යළි පණදෙන්නට මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නට කටයුතු කළ හැක්කේ ද මේ රජයට පමණි.

අතීතයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණ

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වී ඇති මහා පරිමාණ වංචා හා දූෂණ තවමත් සහමුලින් තුරන්ව ඇතැයි පැවසිය නොහැකිය. මන්දයත් ඉහළ පුටු කිහිපයක හැරුණු විට තවමත් සිටින්නේ සිටිය නිලධාරින්ම වන බැවිනි. මේ මොහොත වන විට ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම් වෙත ලබා දෙන බවට චෝදනා කරමින් එම අධිකාරියට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති, තුෂාර රණදේව මෙලෙස අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගත් බව, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඔහුට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ඉමියුනෝග්ලොබියුලින් නඩුකරයට අදාළව සාක්ෂි සපයමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරින්ට බාධා කරමින් නඩුව වෙන අතකට යොමු කිරීම සඳහා තුෂාර රණදේව විසින් විවිධ පාර්ශ්ව වෙත තොරතුරු සපයන බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් බව බව වාර්තාවේ. එනයින් ඖෂධ නියාමන ආධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීම වැළැක්වීම සඳහා තුෂාර රණදඅනිවාර්ය නිවාඩු යැවූ බවත් ඔහු විසින් ලබා දී ඇති තොරතුරු පිළිබඳව හෙළිදරව් කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂාවට ලක් කරමින් තිබෙන බවත් වාර්තා වේ. එහෙත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ මෙවැන්නකි.

“මේක අපිට සැක සහිතයි. සමහරවිට ඉමියුනෝග්ලොබියුලින් වගේ තව හොරකමක් වෙමින් තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ තර්ජන ගැන සහ එසේ කිරීමේ බරපතළ වුවමනාව ගැන විමර්ශනය කරන්න කියලා අපි අද අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිත පැමිණිල්ලකින් ඉල්ලා සිටියා.“

විමර්ශන ක්‍රියාත්මකයි

එකී පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශන සිදු කරනු ඇත. ඉකුත් පාලන සමයන්හි මෙන් විමර්ශන අංශ වෙත හෝ අධිකරණයට දේශපාලන ඇඟිලි ගැසීමක් නොමැති හෙයින් මෙම සිදුවීම් පිළිබඳ නිසි විමර්ශන සිදු කිරීම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද යහපත්ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් පසුගියදා අධිකරණයට කළ ප්‍රකාශයක මෙසේ සඳහන් විය.

“ස්වාමීනි…. රට තුළ ඖෂධ වර්ග 182 ක හිඟයක් පවතින බවත් ඒවා හදිසි මිලදී ගැනීමක් නොකළොත් මාස තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිය හැකි බව සඳහන් කරමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් ඖෂධ වර්ග 182ක් පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් යටතේ සිදු කිරීමට 2022 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ පිළිබඳව අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. එම ප්‍රකාශයෙන් අපට අනාවරණය වුණා සැකකාර අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට යෝජනා කළ ඖෂධ වර්ග 182ක එම අවස්ථාව වන විටත් රට තුළ ප්‍රමාණවත් තොග පැවැති බව. ඒ අනුව පැහැදිලි වෙනවා සැකකාර අමාත්‍යවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් මෙම හදිසි මිලදී ගැනීම සිදු කර ඇති බව.”

මෙම නඩුකරයට පාදක වන ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීම්වලට අදාළ කැබිනට් පත්‍රිකාවේ මුල්ගොනු, සටහන් හා ලේඛන සියල්ල ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි. එහෙත් එම මුල් ගොනු නොමැති බව එම අමාත්‍යාංශය විසින් පෙරලා දැනුම් දී තිබිණි. හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ මොනවාද කියා මේ දක්වා විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මේ දක්වා සොයා ගැනීමට ද නොහැකි වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිලදී ගැනීමේ විශේෂ පටිපාටියක් ඇති නමුත් සැබවින්ම එකී නිල පාටිපාටිය ක්‍රියාත්මක වී නොතිබිණි. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙසේද පවසා තිබුණාය.

“මෙම නඩුකරයට අදාළ විමර්ශනවලදී අනාවරණය කර ගත් ප්‍රශ්නගත ඖෂධ වර්ග 182ක් හදිසි මිලදී ගැනීමක් යටතේ ලබා ගෙන තිබෙන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරයි. එම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ නොවන බවත් අනාවරණය වී තිබෙනවා. මේ හරහා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 1444කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණයක් සිදු කර තිබෙනවා. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්සිජන් මිලදී ගැනීමේ වැය ශීර්ෂය තුළ තිබූ මුදල් ප්‍රතිපාදන යොදාගෙන තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වුණා. යම් ඇමැතිවරයෙක් ඇමැති මණ්ඩලය හමුවට ගොස් යම් අනුමැතියක් ලබා ගතහොත් එහි වගකීම අදාළ ඇමැතිවරයා වෙත පැවරෙනවා.”

මෙම විමර්ශනයට අදාළව ඖෂධ ඇගයීම් කමිටුවේ සිටි ජයනාත් බුත්පිටිය සහ ටී.ආර්.සුදර්ශන යන වෛද්‍යවරු දෙදෙනා මෙම විමර්ශන ආරම්භ කිරිමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා රාජකාරි නිවාඩු මත විදේශගත වී තිබේ. වෛද්‍ය ජයනාත් බුත්පිටියගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගත් දිනට පෙර දිනයේම ඔහු විසින් විදේශගතවී තිබීම විශේෂ කාරණයකි. එහෙත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08 වැනි සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 07 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත්, 12 වැනි සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය මේ වන විට සිටින්නේ අධිකරණයෙන් ඇප පිට නිදහස්වය.

මේ අයුරින් රටේ රෝගී ජනතාවගේ ජීවිතවල වටිනාකම ගැන තඹේකට හෝ මායිම් නොකොට මළ මිනී විකුණා හෝ මුදල් ගසාකන තත්ත්වයකට ඇදවැටුණු කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී අද දවසේ කිඹුල් කඳුළු හෙළන බොහෝදෙනෙකු විශ්වාසභංගයට එරෙහිව කෙහෙළියට පක්ෂව ඡන්දය ලබා දුන්නේ කෙහෙළිය ඇතුළු එවක සෞඛ්‍ය බලධාරීන් කළ නිහීන ක්‍රියාව අනුමත කරමිනි. එනම්, ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින අතරේම එකී ජනයාට ලෙඩක් දුකක් සෑදුණු අවස්ථාවක ඒ සඳහා නිදහස් සෞඛ්‍යයේ පිහිට හෝ ආරක්ෂාවක් නැති බව ඒත්තු ගන්වමිනි. දැන් තත්ත්වය වෙනස්ය. ජනතාව දෑස් බලා හිඳින්නේ එම වෙනස භුක්ති විඳීමටය.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division