වර්තමාන දේශපාලන පසුබිම හා එය නිවැරදිව කියවා නොගැනීම හේතුවෙන් මාධ්‍යකරණයේ ඇති වී තිබෙන ගැටලුකාරී ස්වභාවය පිළිබඳ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ සමඟ කළ සංවාදාත්මක සාකච්ඡාවේ සම්පිණ්ඩනයකි.
නව දේශපාලන තත්ත්වය ඔබ කියවා ගන්නේ කොහොමද?
2024 ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් සිදු වූ මේ බල පෙරළිය නිදහසින් පසුව සිදු වූ අනෙකුත් බල පෙරළිවලට වඩා ගුණාත්මක වශයෙන් වෙනස් තත්ත්වයක්. මීට පෙර බොහෝ අවස්ථාවලදී සිදු වූයේ යම් යම් අසමානකම් තිබුණ ද එකම පන්ති පදනමකින් යුතුව පිහිටුවාගත් ප්‍රධාන පක්ෂ දෙක ලෙස පෙනී සිටි ධනේෂ්වර පන්තිය අතර බලය විටින් විට හුවමාරු වීමයි. තවත් විදියකින් කියනව නම්; එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය අතර බලය හුවමාරු වීමයි. එජාපය සඳහා විදේශීය ධනේෂ්වර සම්බන්ධතා සමඟ බිහිවූ දේශීය ධනේෂ්වර පන්තිය නායකත්වය දුන් අතර; 50 දශකය වන විට එයින් ඉවත් වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ප්රමුඛ කිසියම් ආකාරයක දේශීය නැඹුරුවක් සහිත දේශීය සුළු ධනේෂ්වර පන්තීන් ශ්‍රීලනිපයට නායකත්වය දුන්නා. මේ අය පන්තිමය වශයෙන්, දෘෂ්ටිවාදීමය වශයෙන් සහ සමාජ සංවර්ධනය පිළිබඳ කාරණාවලදී යම් යම් වෙනස්කම් මත හිඳිමින් වුවත් එකම ආකෘතියක් තුළ කටයුතු කළ පිරිසක්. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දය මඟින් විටින් විට බලයට පත් වුණා. එය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මෙවර ජයග්‍රහණය මීට හාත්පසින්ම වෙනස්.
එයට හේතුව වන්නේ 1965 පමණ වන විට මාක්ස් ලෙනින්වාදී මූලධර්ම පදනම් කොටගත් මතවාදී ආස්ථානයක් සහිතව දේශීය ජාතිකවාදී මතවාදය නියෝජනය කරමින් පහළම පන්තීන් නියෝජනය කළ තරුණයන්ගෙන් නිර්මාණය වුණු පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමයි. ඔවුන් 20 වන සියවස ආරම්භයේ සිට පවතින කලාපීය සහ ගෝලීය තත්ත්වය අනුව ප්‍රතිනිර්මාණය වෙමින් කිසියම් දෘෂ්ටිවාදීමය පරිවර්තනයක් අත්කරගෙන තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය ලෙස සියයට 3ක ජනප්රසාදය හිමි කරගෙන තිබූ පක්ෂයක් සියයට 60 ඉක්මවා ජනප්රසාදය හිමි කරගෙන මේ සුවිශේෂ ජයග්‍රහණය ලබා තිබෙනවා.
මෙහි තිබෙන එක් වැදගත් ලක්ෂණයක් වන්නේ පන්ති ස්වභාවය සහ ඔවුන් විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ හා එය මීට පෙර පැවති ආණ්ඩු විසින් අනුගමනය කළ සමාජ ආර්ථික වැඩපිළිවෙළින් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණයයි.
දෙවැන්න ඔවුන් බලයට පත් වන්නේ ලාංකේය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක. ඒ නිදහසින් පසුව මේ රට මුහුණ දීපු තියුණුම ආර්ථික හා තියුණු දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවක. ඒ වගේම මිනිසුන්ගේ ජීවන අර්ථය පිළිබඳ තියුණු අර්බුදයකට ගමන් කළ මොහොතක වීම. අනෙක් අතට ලාංකේය සමාජ පරණාමය කිසියම් අර්බුධයකට මුහුණ පා ඇති අභියෝගාත්මක අවස්ථාවක. ඒ නිසා මීට පෙර ආණ්ඩු මාරු වීමෙන් බලය ලබාගත්ත තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් මේ. ඒ අනුව අභ්‍යන්තරික වශයෙන් අභියෝගාත්මක සහ ප්රතිවිරෝධී දේශපාලන වටපිටවක් තුළයි මේ ජයග්‍රහණය අත්කර ගන්නේ. සියයට 3 සියයට 60 දක්වා ජාජබ වර්ධනය වෙන්නේ මේ අභියෝගය ජය ගන්න පැවති පාලනය අසමත් වූ තැනයි. එනිසා ජනතාව කිසියම් ආකාරයකට මතවාදීව නැතිනම් දෘෂ්ටිවාදීව මේ සඳහා විසඳුමක් ලෙස දැක්කේ ජජබ පමණයි. ඊට ජාතික ජන බලවේගයේ පූර්ව දේශපාලන ප්රචාරක කටයුතු සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ගොඩනැඟුණු දෘෂ්ටිවාදී මැදිහත් වීම හේතු වී තිබෙනවා. එය ඉතාම වැදගත් කාරණයක්. එනිසා මේ බල පෙරළිය සිදු වූ අවධිය ජාතික වශයෙන් පමණක් නොව මානව වර්ගයාගේ ගෝලීය පරිණාමයෙත් සුවිශේෂී අවස්ථාවක්.
ඔබ එලෙස සඳහන් කරන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද?
පළමු සහ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ ඇති වූ සමාජ දේශපාලන ක්‍රමය; ඒ වගේම ගෝලීය මූල්‍ය පද්ධතිය; ඒ වගේම තාක්ෂණික ව්‍යුහය මේ වන විට සම්පූර්ණයෙන්ම අර්බුදයට ගමන් කර තිබෙනවා. එය නව ලෝක සැකැස්මකට පරිවර්තනය වෙමින් පවතින අවධියකයි අප මේ ඉන්නේ. සෑම වසර සීයකට වරක්ම ලෝක ආර්ථික මොඩලය වෙනස් වීමකට බඳුන් වෙනවා. සෑම වසර 50කට වරක් ලෝක තාක්ෂණික ව්‍යුහය වෙනස් වෙනවා. ඒ වගේම සෑම වසර සියයකට වරක් ලෝක මූල්‍ය ඒකකයේ ආධිපත්‍ය වෙනස් වෙනවා. මේ කියන කාරණා තුනම එකවර මේ මොහොතේ සිදු වෙමින් තිබෙනවා. එනම් මුළුමහත් ලෝකයම සමාජ ආර්ථික දේශපාලන, ජීවන අර්ථය පිළිබඳ මානවීය සහ සමාජ පරිණාමය පිළිබඳ අර්බුදයක් පවතින අවස්ථාවකයි අප මේ ජීවත් වන්නේ. වෙනත් විදියකින් කිව්වොත් අප මේ ජීවත් වන්නේ ගෝලීය වශයෙන් මානව සමාජ පරිණාමීය සංක්‍රාන්තික අවස්ථාවකයි.
මේ නිසා නව ලිබරල්වාදී ක්‍රමයට තවදුරටත් පවතින්න බැහැ. එය අවලංගු වෙමින් තිබෙනවා. එහි තිබෙන සමස්ත ශක්‍යතාව බිඳ වැටෙමින් තිබෙනවා. අද ලෝක නායකයන් හැමදෙනෙක්ම මේ තත්ත්වය පිළිගන්නවා. නමුත් කවුරුත් මෙහි ස්වභාවය කුමක්ද කියා පවසන්නේ නැහැ. නව ලිබරල්වාදී ආර්ථිකයට මින් එහාට වර්ධනය වීමට විභවතාවක් නැහැ. ඒ නිසා ලෝකය පුරාම මේ වන විට විවිධාකාරයේ යුද ගැටුම් නිර්මාණය වී තිබෙනවා.
මේ යුද ගැටුම් හුදු වාර්ගික හෝ දේශ සීමා පදනම් කරගෙන ඇති වී තිබෙන ඒවා නොවෙයි. මේ පරිවර්තනීය අවස්ථාවේදී ඒකට එරෙහිව මතුවන කිසියම් ප්‍රතිචාරයක් ලෙසයි අප මෙය විශ්ලේෂණය කරගත යුතු වන්නේ. මං පෙර සඳහන් කළාක් මෙන් මීට වසර සීයයකට කලිනුත් මේ තත්ත්වය ගෝලීයව ඇති වුණා. පළමු සහ දෙවන ලෝක යුද්ධය නිර්මාණය වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අධිපත්‍ය පවත්වා ගෙන යාමේ වුවමනාව සඳහා. නමුත් එය බිඳ වැටුණා. ඉන් අනතුරුවයි අප මෙතෙක් පැමිණි ලෝක තත්ත්වය නිර්මාණය වුණේ. දැන් එයත් වසර සීයක් ගෙවෙන තැන බිඳවැටෙමින් තිබෙනවා.
මේ නිසා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය එක් පැත්තකින් ලාංකේය සමාජ පරිණාමයේත් ලෝක සමාජ පරිණාමයෙත් සුවිශේෂි සන්ධිස්ථානයකයි සිදුව ඇත්තේ. මේ පිළිබඳ ඓතිහාසික තක්සේරුව මේ කාරණා දෙක පදනම්ව සිදු විය යුතු බවයි මගේ අදහස. මේ ජයග්‍රාහී මොහොත තුළ ලෝකයේ බොහෝ රටවල මෙවැනි විපරිවර්තනය සිදුවෙමින් තිබෙනවා.
මේ ජයග්‍රහණය ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේම සාම්ප්‍රදායික දේශපාලනයේ අර්බුදයක් මතු කර තිබෙනවා.
ලංකාවේ වුවත් නිදහසින් පසුව දේශපාලන බලය බොහෝවිට කේන්ද්‍රගත වුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වටා. ඒ එජාපය හා ශ්රීලනිපය ප්රමුඛ සන්ධානය අතර. ඔවුන්ගේ පාලන කාලයන් තුළ ගෙන ගිය දේශපාලන කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පක්ෂ දෙකම මේ වන විට බිඳ වැටී තිබෙනවා. එම පක්ෂ ලාංකේය දේශපාලනය තුළ කිසිදු බලපෑමක් කළ නොහැකි ආකාරයට අඩපණ වී තිබෙනවා. මේ සඳහා නායකත්වය දුන් දේශපාලන නායකත්වය පවා අර්බුදයකට ගමන් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වැනි හෙජමොනික ප්රතිරූපයන් තවදුරටත් නඩත්තු කරගෙන යාමට නොහැකි තත්ත්වයක්; නව විපරිවර්තනයක් සිදුව තිබෙනවා. දේශපාලන අර්බුදය ලෙස අප විග්රහ කර ගන්නේ මේ තත්ත්වයයි. එය මින් පෙර ලාංකේය දේශපාලනය තුළ අප අත්නොදුටු අලුත් තත්ත්වයක්. එවැනි පන්ති නියෝජනයක් සහිත නායකයකු අතට මෙවර බලය මාරු නොවුණේ ඒ නිසයි. මෙය ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සටහන් වන්නේ මේ තත්ත්වය නිසයි.
මේ තත්ත්වය තුළ මතු විය හැකි ප්‍රධාන ගැටලුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
සාම්ප්‍රදායික ධනේෂ්වර දේශපාලන බලවේග මේ ජයග්‍රහණය අබියස කිසියම් ආකාරයක ක්ෂණික නිශ්ශබ්දතාවකට ගමන් කළා. එය ජනාධිපතිවරණයෙන් පසුව අපට හොඳින්ම පෙනෙන්න තිබුණා. ජජබ මහමැතිවරණය ජයග්රහණයෙන් පසුව මේ නිශ්ශබ්දතාව තවත් තීව්ර වුණා. මේ නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ එම පක්ෂ තුළ සහ පක්ෂ නියෝජනය කරමින් සිටි ජන පදනමේ ඇති වී තිබෙන ගැඹුරු අර්බුදයයි. ඔවුන්ගේ නායතකත්වය තුළ මේ නිසා ඇති වූ ගැඹුරු අර්බුදය තුළ නිර්විකල්පීය තත්ත්වයකට ඇදවැටුණා. මීට පෙර ඔවුන් ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙළවල් දේශපාලන ප්‍රතිසංස්කරණ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යථාර්ථය තුළ පිළිනොගන්නා තත්ත්වයකට පත් වුණා. ඒ අනුව මේ අලුත් තත්ත්ව නිර්මාණය වුණා. මේ අලුත් තත්ත්වයට නායකත්වය දීම සඳහා ඒ පැරණි පන්තියට කිසිදු හැකියාවක් පැවතුණේ නැහැ.
ඒ නිසා ඓතිහාසික දේශපාලන විඥානය විසින් මේ සඳහා වෙනම පාලකයෙක් ඉල්ලා සිටියා. ඒ අනුවයි ජාතික ජන බලවේගයේ නැඟී සිටීම සිදු වූයේ.
නව ආණ්ඩුවට අත්දැකීම් නැහැ කියන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?
ජනතා පරමාධිපත්‍ය මත විශාල බලයක් ලැබීම නිසා පැරණි කණ්ඩායම විසින් ගොඩනඟමින් තිබෙන දෘෂ්ටිවාදය වන්නේ මේ අයට අත්දැකීම් නැහැ කියන කාරණයයි. එනිසා වැඩිදුර මේ ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකියි කියන මතය ඔවුන් ගොඩනඟමින් තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ එමඟින් ජනතාවගෙන් මේ අයට ලැබුණු දේශපාලන සුජාතභාවය අවතක්සේරු කිරීමයි. මේ හරහා ප්රතිවිප්ලවයක් ගොඩනැඟීම සඳහා ඔවුන් උත්සාහ දරමින් සිටිනවා. එය සාර්ථක කර ගැනීමට මේ වන විට ඔවුන් අසමත්ව සිටිනවා. මේ නිසා පවතින ආණ්ඩුවට මින් පෙර දේශපාලන බලයේ සිටි අයට නොවූ විරූ අභියෝගයකට හා තර්ජනයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
එය ජයගැනීම සඳහා පත් වූ ජාතික ජන බලවේගය දේශපාලන බලයේ පදනම නියෝජනය කරන මහජන පදනම නිවැරදිව කියවා ගත යුතු වෙනවා. මක්නිසාදයත් මේ ආණ්ඩු පෙරළිය සඳහා දායක වූ ඡන්ද පදනම දිහා බැලුවොත් මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. මීට පෙර ආණ්ඩු බලය ලබාදීමට මුල් වූ ජනපදනම මේ තුළ ගැබ්ව පවතිනවා. යහපාලනය වගේම ගෝඨාභය ආණ්ඩු පත් කළේ මේ ජන පදනමමයි.
එය සාපේක්ෂ වශයෙන් බලන කල අස්ථාවර ජන පදනමක්. නමුත් ඔවුන් මෙවර පත් කළ පිරිස සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූත්වය සහ ඒ පක්ෂ නියෝජනය කළ මතවාදයන්ට වඩා වෙනස් ස්වරූපයක් උසුලන ගුණාත්මක වශයෙන් වෙනස් කොටසක්. ඒ නිසයි මෙය ලාංකේය දේශපාලනයේ නවමු අත්දැකීමක් බවට පත්ව තිබෙන්නේ.
මෙවැනි පන්තියක් මින් පෙර මෙවැනි බලයක් හොබවා නැහැ. ග්‍රාමීය ප්‍රදේශවලින් ජාතික සංස්කෘතික අනන්‍යතා සහිත දේශීයත්වය පිළිබඳ යම් නැඹුරුවක් සහිත දේශපාලනය පිළිබඳ යම් හැදෑරීමක් තිබෙන උදවියයි.
මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මේ ජයග්‍රහණය මූලික කර ගත් කියැවීමකට යාමයි. මේ වන විට බලයට හිමිකම් කියන සමාජ ප්‍රවාහය විසින් මෙතෙක් පැවති දේශපාලන ඉතිහාසය ප්‍රති අර්ථකථනයකට ලක් කර තිබෙනවා.
නිදහසින් පසුව බිහි වූ කොම්ප්රදෝරු (kompraḍōr) දේශපාලන බලය ප්‍රතිස්ථාපනය කළේ ඒ අයට ආවේණික අර්ථකථනයි. ඒ මාර්ගයෙන් මේ අලුත් තත්ත්වය අර්ථකථනය කර ගන්න බැහැ. මේ සඳහා වෙනම කියැවීමක් අවශ්‍යයි. එහිදී ආණ්ඩු සමස්ත ඉතිහාස ක්‍රියාවලිය නැවත කියැවීමකට ලක්කළ යුතුයි. එහිදී විශේෂයෙන් තමන් පත් කළ අස්ථාවර ජන පදනම සැලකිල්ලට ගත යුතුයි. එය ස්ථාවර ජන පදනමක් බවට පත් කර ගැනීම සඳහා පවතින තත්ත්වය පිළිබඳ ජනතාව සවිඥානික කිරීම ආණ්ඩුකරණයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කළ යුතුයි. මෙහිදී නව රජය තම දෘෂ්ටිවාදය කුමක්ද යන්න උත්කර්ෂයට නැංවිය යුතුයි. නැතිනම් මේ ආණ්ඩුවටත් පෙර තිබූ ඉරණම අත්වීම කිසිවකුටත් වළක්වන්න බැහැ.
ආණ්ඩුවට ඉදිරියට යාමට නම් දෘෂ්ටිවාදී ස්ථාවර භාවයක් අවශ්‍ය කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඕනෑම දේශපාලන පක්ෂයක අරමුණ වන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමයි. ඒ සඳහා තිබෙන අසීරු හා බැරෑරුම් කාර්යය වන්නේ ඒ ලබා ගත් බලය රැකගනිමින් පවත්වගෙන යෑමයි. ඒ සඳහා අවශ්‍ය ඉතාම වැදගත්ම දේ වන්නේ දෘෂ්ටිවාදී යන්ත්‍රණයයි.
ඒ සඳහා ජනතාවගේ ලැදියාවන් අභිලාෂයන් කිසිදු භේදයකින් තොරව ඉටුවන ආකාරයෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කිරීමයි. ඒවා ඉටු කිරීමට යෑමේදී ඇතිවන දුෂ්කරතා අභියෝග සාධාරණ ඒවා බව ජනතාව නිරන්තරයෙන් දැනුම්වත් කර සවිඥානිකව තබා ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා වන සමාජ දෘෂ්ටිවාදයක් අත්‍යාවශ්‍යයි. ආණ්ඩුවට මේ මොහොතේ තිබෙන ලොකුම රික්තය හා තර්ජනය වන්නේ මේ සියල්ලම ඒකාබද්ධ කිරීමට පවතින සමාජ දේශපාලන දෘෂ්ටිවාදය අපොහොසත් වීම. එය තවම නියමාකාරයෙන් හැඩ ගැසී නැහැ.
ආණ්ඩු බලය ලබා ගැනීමට ප්‍රථම ගොඩනැඟූ වංචාව, දූෂණය, 76 වසරක සාපය, ජාතික ධනය මංකොල්ල කෑම වැනි ආකර්ෂණීය සටන් පාඨ මඟින් සිදු වූයේ දේශපාලන දෘෂ්ටිවාදයක් නිර්මාණය වීමට වඩා මහජන මතය කිසියම් ආකාරයකට දිනා ගැනීමක් පමණයි. ඒ මතයට වැඩිකල් පවතින්න බැහැ. දැන් උත්සාහ කළ යුතු වන්නේ එය පවත්වාගෙන යාම නෙමෙයි; මේවනවිට ජාතික වශයෙන් හා ගෝලීය වශයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ එයට මුහුණ දීමේදී අපේ රටට ඇති විය හැකි ගැටලුකාරී තත්වයන් හා දුෂ්කරතාවයන් පිළිබඳ සවිඥානික ජනතාවක් නිර්මාණය කිරීමයි.
ඒ සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදී මැදිහත් වීම සියලු මාධ්‍යයන් යොදාගෙන කළ යුතු වෙනවා. ඒ වගේම එයට විසඳුමක් ආණ්ඩුවට ඇති බව ජනතාවට පෙනී යා යුතුයි.
එහිදී මීට පෙර පැවති ආණ්ඩු විසින් අත්හදා බලපු ක්‍රමවල තිබූ අසාර්ථකභාවය සහ එය ජාතික දේශපාලන දේහයට තිබුණු ආගන්තුකභාවය මේ දෘෂ්ටිවාදය තුළින් ජනතාවට පැහැදිලි වෙන්න ඕන.
නිදසුනකට විවෘත ආර්ථිකය ගත්තොත්; අප විවිධ කාලවල ඊට පැලැස්තර බොහෝමයක් යෙදුවා. එක කාලෙක මානුෂික මුහුණුවරක් දෙනවා කිව්වා. නමුත් ඒ සියල්ලක්ම අසාර්ථක වූණා. මේ පිළිබඳ තුලනාත්මක විග්රහයකට යන්න අවශ්‍යයි. නමුත් එවැනි ඉඟියක් හෝ තවම පෙනෙන්නට නැහැ. ඒ සඳහා ප්රබුද්ධ පිරිසක් මේ කඳවුර තුළ වැඩ කරන්න ඕන. ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා ඒ දෘෂ්ටිවාදීමය බලය ඉතාම වැදගත්. ඒ සඳහා ජනතාව මේ මොහොතේ මුහුණ පා සිටින ගැටලු වගේම ගෝලීය හා කලාපීය වශයෙන් භූ දේශපාලනික, භූ ආර්ථික, භූ සංක්‍රාන්තික, භූ උපායමාර්ගික වශයෙන් අප මුහුණ පා සිටින ගැටලු පිළිබඳ ජනතාව දෘෂ්ටිවාදීව සවිඥානික කළ යුතුයි. ආණ්ඩුවේ ස්ථාවර පැවැත්ම සඳහා එය ඉතාම වැදගත්.
මේ ලැබුණු දේශපාලන බලය මෙතනින් එහාට පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩ පිළිවෙළ කුමන්ද?
මෙහිදී සාර්ථක කර ගත යුතු ප්‍රධාන අභියෝග තුනක් මේ රජයට තිබෙනවා.
එකක් නිදහසින් පසුව ලාංකේය සමාජයේ ජීවත් වෙන විවිධ ජනවර්ග, ජාතීන් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් සහ ඒ අනන්‍යතාවයන් තුළ පවතින දේශපාලන ක්‍රියාකාරකම්, දේශපාලන ව්‍යූහ, දේශපාලන පක්ෂ ආදී සමස්තය නියෝජනය වන ආකාරයේ රාජ්‍ය ව්‍යූහයක් අපට ගොඩනඟා ගැනීමට නොහැකි වීම. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී අවධානය යොමු කිරීම. දෙක නිදහසින් පසුව ලාංකේය සමාජයේ සැබෑ ජීවන ප්රතිනිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන වර්ධනය කරන, සමාජ ආර්ථික වැඩපිළිවෙළක් ලාංකේය නිෂ්පාදන මාදිලියක් නිර්මාණය නොවීම. මොකද අප මෙතෙක් පවත්වා ගෙන ආවේ උත්තරාරෝපිත ආර්ථික මොඩලයක්. ඒ සඳහා නව ආර්ථික මොඩලයක් නිර්මාණය කිරීම. එහිදී ලංකාවට අවශ්‍ය බහු ව්‍යුහීය ආර්ථික මොඩලයක් සකස් කර ගැනීම අවශ්‍යයයි.
එහිදී කුඩා, සුළු, මධ්‍ය හා මහ පරිමාණ කර්මාන්ත සහ නිෂ්පාදන ක්‍රියාවලියකින් සමන්විත ආර්ථික ව්‍යූහයක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා මහබැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මේවා දිරිගැන්වෙන හා උත්තේජනය වන ආකාරයෙන් සකස් කළ යුතු වෙනවා.
මෙහිදී මතුවන ප්‍රධාන අභියෝගය වන්නේ පැවති ආණ්ඩුව විසින් අනුගමනය කළ මූල්‍ය ප්රතිපත්තිවල බලපෑමයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා. නමුත් ඒ එකඟතා තුළ ඇත්තේ දේශීය ආර්ථිකය හෝ අපේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම නොවේ.
එයාලගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමයි. මෙහිදී දේශපාලන නායකත්වය වඩා උපායශීලීව ක්‍රියා කළ යුතු වෙනවා. එනිසා මේ දෙක තුලනාත්මකව කළ යුතු වෙනවා. මෙය ඉතා සාර්ථකව චීනය හා ඉන්දියාව සිදු කළා. තෙවැනි කාරණය වන්නේ වාර්ගික අර්බුදයන් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට පියවර ගැනීමයි. එය නිදහසින් පසුව දිගටම සිදු වූ දෙයක්. ඉකුත්දා ඒ සඳහා මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා යම් මැදිහත් වීමක් සිදු කරන බව පෙනුණා. එය ඉතාම සාධනීය තත්ත්වයක්.
මේ ජනපදනම ආරක්ෂා කිරීමට වගේම රටේ ජාතික සමගිය ස්ථාපිත කිරීමට උරදීම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ගේ ද යුතුකමක් වෙනවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ මේ සඳහා පවතින පදනම අහෝසි කිරීමට උත්සාහ ගැනීමයි. ඒ සඳහා ඒකීය ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය දෘෂ්ටිවාදීමය මැදිහත්වීම වගේම දේශපාලන මැදිහත්වීමක් සිදු කළ යුතු වෙනවා.
රසික කොටුදුරගේ